දේශීය

“පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව ඇත්ත හංගනවා….” – කාදිනල් කියයි

පුද්ගලයන් 250 කට වැඩි පිරිසකගේ ජීවිත අහිමි කරමින් පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සත්‍ය තත්වය රජය විසින් තවමත් වසන් කරමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාප් වහන්සේ මුණ ගැසීමට වතිකානුව වෙත පැමිණ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් කාදිනල්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරයේදී රජය වගකීම් සහගතව කටයුතු නොකළ බවත්, එකිනෙකාට චෝදනා කර ගැනීම හැර වෙනත් කිසිවක් සිදු නොවන බවත් කාදිනල්වරයා පවසා තිබෙනවා. විවිධ කමිටු, කොමිෂන් සභා පත් කර තිබුණද ඉන් සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බව ද ඔහු පවසනවා.

කාදිනල්වරයා පැවසුවේ ඉන්දීය බුද්ධි අංශ විසින් අප්‍රේල් 04 වැනිදා, ඉදිරියේදී එල්ල වියහැකි ප‍්‍රහාරයක් පිළිබඳව ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවත් ඊට අනතුරුවත් 03 වතාවක් මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත්ය. ගපසුව පිපිරුම සිදු වූ දින එනම් අප්‍රේල් 21 වනදා උදෑසන 6.45ට දුරකථන ඇමතුමක් ද ලබා දී ඇති බවත් කාදිනල්වරයා සඳහන් කර සිටියා.

“නමුත් කිසිවෙකු බැරෑරුම් ලෙස මේ ගැන සැලකුවේ නැහැ. මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබුණා. මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කර ඇති බව මා දැන සිටියා නම් මම සියලුම පල්ලි වසා දමා ජනතාවට ගෙදර යන්න කියනවා.” ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් කියා සිටියා.

“සෑම කෙනෙක්ම උත්සාහ කරන්නේ අනෙක් අයට දොස් පැවරීමටයි. රජය කරුණු සැඟවීමට උත්සාහයක් දරනවා.”

රජය පැත්තෙන් සහ ආරක්ෂාව සඳහා වගකිව යුතු විවිධ ආයතනවල මේ සම්බන්ධයෙන් පූර්ණ උනන්දුවක් නොමැති බවයි කාදිනල්වරයා වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button