පුරවැසි කොළම

“බුද්ධාගම….” රාජ්‍ය රාජ්‍ය ආගම ඉවත් විය යුතුමයි

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ බහු ආගමික ජනතාවක් ජීවත් වන රටක්. බෞද්ධ ජනතාවට හා සමානවම අනෙක් ආගම් අදහන ජනතාවටත් නිදහස සහ එක සමාන අයිතිවාසිකම් තියෙන්නම ඕනේ. රජයකට ආගමක් අවශ්‍ය නැහැ. රජයකට අවශ්‍ය දේශපාලනික රටාවක් විතරයි. බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක් කියන එක ඇත්ත. හැබැයි අපේ රටේ මිනිස්සු ඒක ආගමක් කරගෙන.

අපි කියන්නේ මේ ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් විය යුතුමයි කියන එක. බෞද්ධ ආගමට, මුස්ලිම් ආගමට, කතෝලික හෝ හින්දු ආගම් වලට වෙන වෙනම නීති අවශ්‍ය නැහැ. රටක් විදියට පොදු නීතියක් තියෙන්න ඕනේ. මුස්ලිම් සියලුම දෙනා ඉස්ලාම් ආගමීක වුනත්, ප්‍රධාන වශයෙන් බෞද්ධ, කතෝලික ආගම් දෙක ශ්‍රී ලංකාව තුල සිංහල ජාතිය නියෝජනය කරනවා. දෙමළ ජනතාව අතරත් කතෝලික, හින්දු සහ බෞද්ධ ආගමික ජනතාව ඉන්නවා. අන්න ඒ නිසයි අපි කියන්නේ ආගම්, ජාති භේදයකින් තොරව පොදු නීතියක් රට තුල තිබිය යුතුයි කියන එක.

උදාහරණයක් විදියට ගත්තම SLS කියලා තත්ත්ව සහතිකයක් තියෙනකොට, අමුතුවෙන් Halal කියලා තත්ත්ව සහතියකයක් අවශ්‍ය නැහැ. ඒ වගේම සිංහල විවාහ අවුරුදු 18න් පසුවත් මුස්ලිම් විවාහ අවුරුදු 12න් පසුවත් කියලා නීති දෙකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අනෙක් ජාතීන්ට එක් විවාහයක් පමණකුත්, මුස්ලිම් ජාතිකයන්ට බහු විවාහත් කියා නීති දෙකක් තියෙන්න බැහැ. මුස්ලිම් හැර අනෙක් සියලුම ජාතීන්ගේ දික්කසාද නීතිමය අයුරකින් සිදු වුවත්, මුස්ලිම් අයට හිතුනු ගමන් දික්කසාද කරන්න පුළුවන්. මේ තත්වය අනිවාරෙන්ම වෙනස් වෙන්න ඕනේ. රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය හැමෝටම එක සමාන වෙන්න ඕනේ.

අද ප්‍රවෘත්තියක අපි දැක්කා බෞද්ධ භික්ෂුන් වහන්සේලාට පමණක් වෙනම රක්ෂණ ක්‍රමයක් ඇතිකරන්න රජය සූදානම් කියන එක. ඇයි ඒ අයව විතරක් රක්ෂණය කරන්නේ? අනික බුදුන්වහන්සේගේ ධර්මයේම තියෙන්නේ රකින සංකල්පයක් නෙමෙයි. එහෙම රක්ෂණයක් ඕනෙම නම් ඇයි ඒක අනිත් ආගමික පූජකයන්ට වලංගු වෙන්නේ නැත්තේ? අන්න එතැන තමයි ගැටලුව තියෙන්නේ. එකක් විතරක් ලොකුයි, එකකට විතරක් ප්‍රධාන තැන දෙන්න ඕනෑය කියන විකාර මතයක එල්ලිලා කරන නාඩගම් තමයි මේ….

ලෝකයේ බොහෝ නිරාගමික රටවල් වල බොහොම සාමකාමී පරිසරයක් තියෙනවා. ඒ ආගමික කරන නොවීම නිසයි. හැබැයි ඔවුන් පල්ලි යනවා, පන්සල් යනවා…. නමුත් රජයට, රාජ්‍යයේ පාලනයට ආගම ගාවාගෙන නැහැ. නිරාගමික වෙනවා කියන්නේ අධර්මය රජ කරනවා කියන එක නෙමෙයි. රටට ගහලා තියෙන ලේබල් කෑල්ල ගලවලා හැමෝටම සම අයිතිවාසිකම් දෙන එකයි. මොකද රට ආගම් අදහන්නේ නැහැ. ආගම් අදහන්නේ රට තුල ජීවත් වෙන මිනිස්සු…. ඒ නිසා තමයි රට නිරාගමික වෙන්නම ඕනේ.

මොකද ලංකාව බෞද්ධ කියලා ලොකුද?
යුරෝපීය රටවල් කතෝලික කියලා පොරවල්ද?
පකිස්තානය, අරාබිය, මැදපෙරදිග මුස්ලිම් කියලා අනිත් උන් බය වෙන්න ඕනෙද?

ලංකාවයි, පකිස්තානය, අරාබිය, මැදපෙරදිග රටවල් කිහිපයක් හැරුනම යුරෝපීය රටවල් බහුතරයක් නිරාගමිකයි. අන්න ඒ නිරාගමික කම නිසාම තමයි ඒ මිනිස්සු දියුණු. මොකද ආගම්, ජාති ලොකු කර ගැනීම නිසා ඇතිවෙන ප්‍රශ්න ඒ මිනිස්සුන්ට නැහැ. ආගම් ජාති වලට හිර වෙලා, සීමා සහිත ආකල්ප ගොඩ නැඟිලා නැහැ…. අන්න ඒ නිසයි අත් හරින්න කියන්නේ. එතකොට තමයි දියුණුවක් තියෙන්නේ…. නිතරම ඇඟිලි ගහලා, අඩුපාඩු හොයලා අමුතුවෙන් රකින්නේ නැති නිසා තමයි, ඒ මිනිස්සු සහ ඒ රටවල් රැකිලා තියෙන්නේ….

මේ කියන්නේ පුද්ගලිකව ආගම් ඕනේ නැහැ කියන ඒක නෙමෙයි. මේ රට ඇතුලේ ඕනෑම ආගමක් නිදහසේ අදහන්න ඉඩ තියෙන්න ඕනේ. ඒක පුද්ගලයන්ගේ අයිතිවාසිකමක්. හැබැයි මේ රට නාමිකව හෝ ව්‍යවස්ථානුකූලව ආගමකට යට කරන්න බැහැ. නිවන් දකින්න හෝ ස්වර්ගයට යන්න රටක් ආගමික විය යුතු නැහැ. රටක් ආගමික වුන පලියට කවුරුත් නිවන් යන්නේ හෝ ස්වර්ගයට යන්නෙත් නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ මේ අහවල් රාජ්‍යයක් කියලා ආගමික කරලා තියෙන රට, නිරාගමික විය යුතුමයි කියන එක.


රෝවන් ප්‍රසාද්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button