දේශීය

රෝහිතගේ රොකට් එක සොයා ‘රාවනා 01’ උඩු ගුවනට

හිටපු ජනාධිපතිවරයා ගේ බාල පුත් රෝහිත රාජපක්ෂ නායකත්වය දුන් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව චීනයේදී සාර්ථකව කක්ෂගත කළ බව සුප්‍රීම් සමාගම් සමූහය පවසන බව 2012 නොවැම්බර් 27 වෙනිදා මෙරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

එම සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 320 ක් වැයවී තිබෙන බව මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් එජාප ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එවකට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“මේ චන්ද්‍රිකාව සඳහා චීන ආණ්ඩුවෙන් ණය මුදලක් ගත්ත නම්, ආණ්ඩුවට ගත්තත්, සමාගමට ගත්තත්, සමාගම යම්කිසි ඇපයක් සමාගම වෙනුවෙන් දීල තියෙන්න ඕනේ. භාණ්ඩාගාර බැඳුම්කර අරගෙන තියෙන්න ඕනේ. එහෙම අරන් තියෙනවා නම් සමාගම, කොහොමද ආණ්ඩුව ඒ සමාගමට ඒ සහතිකය දුන්නේ….?” ඔහු ප්‍රශ්න කර තිබිණි.

කෙසේ නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ එවක ආණ්ඩුව චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉදිරි පියවරක් ලෙසින් බව පාර්ලිමේන්තුවට පැවසීය.

“ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නෑ. රුපියල් කෝටි 5000 ක ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම්, ඒ ගනුදෙනුව ගැන අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනේ” යැයි එවකට එජාප ලේකම්, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව කරුණු දක්වමින් එවකට තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ මෙය කිසිසේත්ම මහජන මුදල් යොදාගෙන කෙරෙන කටයුත්තක් නොවන බවයි.

“දැන් රෝහිත රාජපක්ෂ කියන තරුණයා මේකට සම්බන්ධ වෙලා නොහිටිය නම් මොකක්ද අද කියන්නේ?” අලහප්පෙරුම ඇමතිවරයා පෙරලා ප්‍රශ්න කළේය.

ආරක්ෂක අමාත්‍යංශයේ, විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය නොමැතිව රුපියල් කෝටි 5000 ක ගනුදෙනුවක් සිදුවෙලා තිබෙනවා නම් එම ගනුදෙනුව පිළිබදව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව එවකට පාර්ලිමේන්තු විපක්ෂය පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

ශ්‍රී ලංකාවේ සම්බන්ධයක් ඇතිව අභ්‍යවකාශ ගතකළ බව කියන සුප්‍රීම් සැට් වන් නමැති චන්ද්‍රිකාවට කුමක් සිදුවූයේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස 2016 නොවැම්බරයේදී පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කර තිබේ. එවැනි චන්ද්‍රිකාවක් ගැන හෝ එවැනි ව්‍යෘපෘතියකට සම්බන්ධ වූ බව කියන සමාගමේ පළපුරුද්ද පිළිබඳව හෝ තමන් නොදන්නා බව අමාත්‍ය මලික් සමරවික්‍රම පිළිතුරු දෙමින් කියා සිටියේය.

රෝහිත රාජපක්ෂ එවකට මෙම චන්ද්‍රිකාව උඩු ගුවනට ගෙන යෑමේ නියමුවා ලෙස කටයුතු කරනු ලැබූ බව සඳහන් වූ අතර චීනයේ සහය ඇතිව එය සිදුකරන බවයි ප්‍රකාශ කෙරුණේ.

එහි ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් බීබීසී එකල පවසා සිටියේ ‘ශී චැන්ග්’ යානය යොදා ගනිමින් ‘සුප්‍රීම් සැට් – 1’ චන්ද්‍රිකාව චීනයේදී සුරක්ෂිතව කක්ෂගත කෙරුණු බවයි.

“එයා අපේ ටෙක්නිකල් ටීම් එකේ ප්‍රධාන ඉංජිනේරු හැටියට වැඩ කරනවා. එයා ඇත්ත වශයෙන්ම අපිට ඒ පැත්තෙන් නායකත්වයක් දුන්නා….” බවයි ඔහු බීබීසී සංදේශයට කියා තිබිණි.

වෙනකක් තබා ජනාධිපතිවරයාගේ පුතා තම සමාගමේ ප්‍රධානියෙක් වීම නිසා සිය සමාගමට විශේෂ වරප්‍රසාද හිමිවන බවට එල්ලවන චෝදනාවද ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රතික්ෂේප කළේය.

සුප්‍රීම් සැට් ශ්‍රී ලංකාවේ ‘පළමු චන්ද්‍රිකාව’ ලෙසින් සමාගම හඳුන්වන නමුත් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අනූෂ පැල්පිට නිවේදනයක් කරමින් ප්‍රකාශ කොට තිබුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව එම ව්‍යාපෘතියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවයි.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ බැංකුවලින් කිසිදු ණය මුදලක් ලබාගෙන නොමැති බවද සමාගම පැවසීය.

“අපේ සේවාව වෙන්නේ කෙලින්ම නිවසට සපයන රූපවාහිනී සේවා. ඒවා ඉතාමත් අඩු මුදලකට ශ්‍රී ලංකා සමාජයට දෙන්න පුළුවන් වේවි අපෙන් සේවය ලබා ගත්තොත්….” බව විජිත් පීරිස් එකල පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික තරුණ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු නිර්මාණය කළ “රාවණා වන්” ලෙස නම් කළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද කක්ෂගත කර තිබේ.

‘රාවණා වන්’ චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය.

චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ භූමියේ පිහිටි නාසා ආයතන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ආරම්භ කර තිබේ. පැය 36ක කාලයක් ගමන් කිරීමෙන් පසු එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වූයේ ගෙවුණු අප්‍රේල් මාසයේදීයි.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය ‘රාවණා වන්’ චන්ද්‍රිකාව එම මධ්‍යස්ථානයේ සිට ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.45 ට කක්ෂගත කිරීමට නියමිතව තිබුණි.

‘රාවණා වන්’ පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් ඉහළින් කක්ෂගත කර තිබේ.

මෙම චන්ද්‍රිකාවේ අවම ආයු කාලය අවුරුදු එකහාමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා ක්‍රියා කළ හැකි බවට විශ්වාස කරයි.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15ක් පෘථිවිය වටා භ්‍රමණයවේ. චන්ද්‍රිකාවේ වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 7.6කි.

හිටපු ජනපති බාල පුත් රෝහිත රාජපක්ෂ මුලිකත්වයෙන් සුප්‍රීම් සැට් නම් වූ ශ්‍රී ලංකාවේ ‘පළමු චන්ද්‍රිකාව’ ලෙස නම් කළ ව්‍යාපෘතිය පිළිබදව දෙරණ රුපවාහිනිය ඔහුත් සමඟ 2012 නොවැම්බර් 23 සාකච්ඡාවක් කර තිබිණි. එය පහත දැක්වේ.


සිසිර යාපා

One Comment

  1. නෙදකිං රට කාපු පකයෝ. මුං යවපු රොකට් එකක් නෑ. තනිකර බොරු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button