ක්‍රීඩා

“මටත් සැකයක් තියෙනවා…. ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණ්තිලි ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි….”

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග….

දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීමේ වැදගත්කම හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි. ඊයේ (16) මව්රට සංවිධානයේ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරයකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් තණතිලිවල ස්වභාවය ගැන තමන්ටද සැකයක් ඇති බවයි. එහෙත් වත්මන් පරිපාලනය ඒ කිසිවක් කථා නොකර සිය මුනිවත රකිනු ඇතැයිද අර්ජුන රණතුංග මහතා අවධාරණය කළේය.

“ක්‍රිකට්වල දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. නමුත් අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න ගෝඩාක් තියෙනවා. මේ පහුගිය කාලේ සුදු කාරයෝ කී‍්‍රඩාවට ඇවිල්ලා තම තමන්ට හිතවත් අය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු කරලා කි‍්‍රකට් කී‍්‍රඩාව විනාශ කරලා තියෙනවා. ඒ වගේම අසන්ත ද මෙල් මහතා තණතිලි ගැන කියූ කථාව ගැන මමත් හිතනවා. ශ්‍රී ලංකාවට තණතිලි ලබා දීමේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා ලෝක කි‍්‍රකට් කවුන්සිලයට ලියලා බලන්න ඕනි. නමුත් එවැනි ක්‍රියාමාර්ගයකට යන්න කි‍්‍රකට් පරිපාලනයේ අද ඉන්න අයට කි‍්‍රකට් දැනුම තියෙනවද කියලා මම දන්නේ නැහැ. මොකද ඒ අය දන්නේ අශ්වරේස් යන්න විතරයි. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යවරයා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට ලියලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න ඕන…”යිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේ පරාජයට හේතු වූ තාක්ෂණික කරුණු ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් එක කණ්ඩායමක් ලෙසට ක්‍රීඩා නොකරන බවයි.

“ඕස්ට්‍රේලියාට එරෙහි තරගයේදී අපේ කණ්ඩායම සෑහෙන්න දුරට හොඳින් ක්‍රීඩා කළා. අපේ ආරම්භක පිතිකරුවෝ විශාල සේවයක් කළා. නමුත් අපේ කණ්ඩායමට එකට සෙල්ලම් කරනවද කියන ප‍්‍රශ්නය දකින්න තිබුණා. මැද පෙළ පිතිකරුවන්ගේ විශාල අඩුපාඩුවක් තිබුණා. විශේෂයෙන්ම ඇතැම් පිතිකරුවන් හොඳට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයින්ට පීඩනය වැඩි කරනවා. අනවශ්‍ය ලෙස ඇති කළ එම පීඩනය නිසා තමයි හොඳට ක්‍රීඩා කරන කී‍්‍රඩකයා පවා අනවශ්‍ය පහරවල් ගහන්න ගියේ. නමුත් සමහර වෙලාවට ඒ වගේ කී‍්‍රඩා කරන්න සිද්ධ වෙනවා. සනත් ජයසූරියට අපිට කියන්න බැහැ මාවන් අතපත්තු වගේ කී‍්‍රඩා කරන්න කියලා. ඉතිං එක එක පිතිකරුවන් එක එක විදිහට කී‍්‍රඩා කරනවා. නමුත් අපිට සැලස්මක් තියෙන්න ඕන සනත් දැවී ගියාම තරගය ඉදිරියට ගෙනියන්න. එවැනි සැලැස්මක් අපේ කණ්ඩායමට නැති මට පෙනුණා. විශේෂයෙන්ම දිමුත් කරුණාරත්න වගේ කී‍්‍රඩකයින්ට පන්දුවාර 50ම ගහන්න දීලා අනිත් පැත්තෙන් තමයි ලකුණු ගහන්න ඕන. තමන්ට දැනට තියෙන සම්පත් එක්ක ජයග‍්‍රණය කරන්න අපි දැන ගන්න ඕන. ඒ කලාව අපේ කණ්ඩායමට දැන් නැහැ. පරිපාලනය දන්නේ නැහැ කී‍්‍රඩකයින්ගේ මනස හදන්න. අපි දැක්කා මේ තරගාවලිය නරඹන්න පරිපාලනයේ තිස්ගාණක් එංගලන්තයට යනවා. විනෝද චාරිකාවක් වගේ. මේ රටේ සල්ලි. මේවා විනාශ කරනකම් අපි බලාගෙන ඉන්නවා. ආණ්ඩුවත් බලන් ඉන්නවා. කී‍්‍රඩා ඇමතිතුමත් බලන් ඉන්නවා. ඉතිං මේවට මං හිතන්නේ මහජනතාව ඉදිරියේදි දඩුවම දෙයි…”යිද හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.


තමීර මංජු,
අමාත්‍ය අර්ජුන රණතුංගගේ මාධ්‍ය ලේකම්,
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button