විශේෂාංග

“වර්තමාන භික්ෂුන් වහන්සේලා භික්ෂුවකගේ කාර්යභාරය අමතක කරලා”

මහනෙළුබෑවේ අනුරුද්ධ හිමි

අද වෙනකොට රටේ දේශපාලන ක්‍රියාකාරිත්වය තුළ භික්ෂුන් වහස්සේලාගේ විශාල මැදිහත්වීමක් දකින්න තියෙනවා. එය ඔබවහන්සේ දකින්නෙ කොහොමද?

ඒක ඇත්ත. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් භික්ෂුන් වහන්සේලාගේ දේශපාලනයට විශාල මැදිහත් වීමක් දකින්න තියෙනවා. හැබැයි ඒ අයගෙනුත් බහුතරයක් තමන් දේශපාලනයක නිරත වෙලා ඉන්නවා කියලා දන්නේ නෑ වගේම දකින්නේ නෑ. ඔවුන්ගේ එම දේශපාලනය ජාතිවාදී, ආගම්වාදී හා අවස්ථාවාදී දේශපාලනයක් කියලා තමයි මට හිතෙන්නේ. එම දේශපාලන ක්‍රියාකාරකම්වලට පණපොවන මූලිකයෝ විතරයි ඔවුන් කරන්නේ දේශපාලනයක් කියලා දන්නේ. ඒ වගේම මෙම ක්‍රියාදාමය එකක් වගේ පෙනුණාට මට පෙනෙනවා මේකෙන් එකිනෙකා මේ ප්‍රවාහය එකිනෙකා සතුකරගන්න යත්න දැරීමක්. ගලගොඩ අත්තේ හාමුදුරුවෝ මේ ජාතිවාදී, ආගම්වාදී ජනතා නැඟිටීම තමාගේ ගැලවුම්කරුවන්ට වාසිසහගත ලෙසින් යොදාගන්නට මහන්සි ගන්නවා. එසේම අතුරලියේ ස්වාමීන් වහන්සේ තමන්ට අහිමි වෙච්ච නායකත්වය නැවත ලබා ගැනීම සදහා පෙරුම් පුරනවා. ඇතැම් විටක මේ ජාතිවාදී, ආගම්වාදී, අන්තවාදී බලවේග අවස්ථාවාදීව ප්‍රයෝජනයට අරගෙන එයා ලොකු ගමනක් යන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. මේ වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය බිදවැටිලා තියෙන්නේ. රට අවුරුදු 71ක සාපයෙන් ගලවා ගන්න සූදානම් විය යුතු මොහොතක රතන හාමුදුරුවෝ ඇතුළු ඇතැම් භික්ෂුන් අවස්ථාවාදී ධනපති පැලැන්තියේ පිල්ලියක් දෝ කියලත් මට හිතෙනවා. හැබැයි, ඔය කියන එකක්වත් රටේ ඉන්න බහුතර භික්ෂුන් වහන්සේ දන්නේ නෑ. ඔවුන් අදහන්නේ සිංහල බෞද්ධ පමණක් වෙච්ච මනඃකල්පිත රාජ්‍යයක් පිළිබඳවයි.

බුදු දහම තුළ වෛරය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා. ඒත් වර්තමානයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා වෛරී ප්‍රකාශ සිදු කරමින් සිටින බව පෙනෙන්න තියෙනවා. මේක තේරුම් ගන්නෙ කොහොමද?

ශ්‍රී ලංකාවේ තිඛෙන ආගම් දහම් අතර බුදු දහම තරම් අවිහිංසක ආගමක් වෙන නෑ. බුදුදහමේ මූලිකම කාරණාවක් නේ මෛත්‍රිය කියන්නෙ. සිව් බඹ විහරණ කියලා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා හතරක් ගැන කියනවා නේ. ඒවා තරම් සමාජයක ශ්‍රේෂ්ඨත්වය ගොඩනඟන්න උදවු වන වෙනත් දහමක් නෑ. ඒකයි ඒවාට බ්‍රහ්ම විහරණ කිව්වේ. බ්‍රහ්ම කියන්නේ අති උසස් කියන එකයි. එම පදයෙන් හැඳින්වූවාම ඊට ඉහළින් වෙන එකක් නෑ. එබඳු උතුම් සාරධර්ම අගයන බුදුදහමට අනුව ඔබ කියපු වෛරය ප්‍රචණ්ඩත්වය එතැනින්ම ප්‍රතික්ෂේප වෙනවා. ”නහි වේරෙන වේරානි සම්මන්තීධ කුදාචනං – අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ….” වෛරයෙන් වෛරය කිසිදාක සන්සිෙඳන්නේ නැති බවත්, අවෛරයෙන්ම වෛරය සංසිඳවන බවත් එය සනාතනික දහමක් බවත් බුදුහාමුරුවෝ පිළිගත්තා. ඒක අපි පිළිගන්නේ නැති නම් අපි කවු ද….? අපි කොහොම ද කියන්නේ අපි බුද්ධ ශ්‍රාවකයෝ කියලා….? වර්තමානයේ භික්ෂුන් වහන්සේලා ආගම්වාදී, ජාතිවාදී දෘෂ්ටිගතව භික්ෂුවගේ කාර්යභාරය හා ශ්‍රමණ ස්වරූපය අමතක කරලා. එහි දී භික්ෂුන් වහන්සේට ඓතිහාසිකව සමාජමය වශයෙන් ගොඩනැගුණු තත්ත්වය හා පැවරුණු කාර්යභාරය වරදවා තේරුම්ගෙන තියෙන බවක් පෙනෙනවා. ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් හා වෛරී ප්‍රකාශන නිසාම සමස්ත භික්ෂු සමාජය හෑල්ලුවට ලක්වෙමින් තියෙනවා බුද්ධිමතුන් අතර. ජාතිවාදී, ආගම්වාදී රැල්ලේ ඉන්න අයට නම් ඔය වෛරී ප්‍රකාශ හරි වගේ පේනවා ඇති. ඒ නිසා ඔවුන් ඒවාට හුරේ දානවා. එතකොට ඒ කථිකයන් හෝ ඊනියා නායකයන් තව තවත් වල්මත් වෙනවා. ඒකයි මේ වෙන්නෙ. මේ තත්ත්වය මෙසේ දිගින් දිගට ආගම්වාදී, ජාතිවාදී රැල්ලේ ජයග්‍රහණයන් ලෙස තහවුරු වීම තුළින් මහ භයානක තත්ත්වයක් තමයි ඇති වන්නේ. එහෙම වුණොත්, සහජීවනය හීනයක් විතරයි.

මේ තත්ත්වය සමනය කර ගන්න මුස්ලිම් සමාජය සහ දේශපාලන නායකයන් ප්‍රමාණවත් මැදිහත් වීමක් කරනවා කියල ඔබවහන්සේ හිතනවද?

මේ ඇති වෙලා තියෙන එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, භීතිය හා ඒ තුළින් ගොඩනැගුණු ආවේගාත්මක අසහනකාරී තත්ත්වය අමූලික කාරණාවක් නොවෙයි නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග එය අන්තවාදී කණ්ඩායමක ක්‍රියාවක් බව තහවුරු කරවන්න හා තහවුරු කර ගන්න බැරිවුණ බවක් තමයි මේ කියැවෙන්නේ. මුස්ලිම් ප්‍රජාවට නායකත්වය සපයන පූජක පක්ෂය හා දේශපාලන නායකයන් ඔවුන්ගේ කාර්යභාරය හෘදය සාක්ෂියට එකඟව කළා කියලා සෑහීමකට පත් වෙන්න බෑ. ඒක ලොකු වගකීමකින් ඔවුන් ගත්තේ නැති බවයි පෙනුණේ. ඇතැම් මුස්ලිම් නායකයන් සමාජය තුළ මතු වෙන ප්‍රශ්න සමච්චලයට ගත් බවක් අපි දැක්කා. ඔවුන්ට ඕන වුණේ නෑ මේ ප්‍රශ්නයට මුල් වුණු අන්තවාදීන් වෙන් කරලා පහර දෙන්න. ඔවුන්ගේ ප්‍රකාශ අන්තවාදීන්ට උඩගෙඩි දෙන ප්‍රකාශ බවයි හැගුණේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් ජන මනස ගිනි දල්වන්නට ඇතැම් විට සමත් වුණා.

තවමත් ඔවුන් නියම ක්‍රමවේදයකට ඇවිත් නෑ කියලයි හිතෙන්නේ. මොකද දේශපාලකයන් තුන් දෙනෙක් ඉවත් කිරීමට බලපෑම් එන විටම සිය කැමැත්තෙන් පරීක්ෂණ නිමාවන තෙක් ඔවුන් තනතුරු අතහැරියා නම්, ඔවුන් පිළිබඳ විශ්වාසයක් ගොඩනැෙඟන්න තිබුණා. එසේ නොකොට බලපෑම් දැඩි වන තෙක්ම සිට සියලූදෙනා තනතුරුවලින් ඉවත් වීම තව තවත් ඔවුන්ගේ ජාතිවාදී ස්වභාවය කුළුගැන්වෙනවා. එය බිඳුණු සිත් නිවන්න උදවු වන්නේ නැහැ. වාර්ගිකයන් අතර බිය, සැකය හා අවිශ්වාසය තව තවත් වැඩි වෙන බවක් මිස සංහිඳියාවක් තහවුරු වන්නේ නැහැ. මුස්ලිම් සාමාන්‍ය ප්‍රජාවට සංහිඳියාව වුවමනා වුවත්, ඔවුන්ගේ නායකයන්ට ඒ පිළිබඳ වගකීමක් ඇති බවක් නම් පේන්න නෑ නේ.

රටේ දේශපාලකයනුත් මේ ප්‍රතිවිරෝධතා තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කළමනාකරණය කරමින් සිටින බවක් පේන්න තිඛෙනවා. එවැනි තත්ත්වයක් තුළ රටේ අනාගතයට එය මොන විදිහට බලපානු ඇති කියල ද ඔබ වහන්සේ හිතන්නෙ?

දේශපාලකයෝ තම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව මේ ආගම්වාදී හා ජාතිවාදී රැල්ල හසුරුවන නිසා තමයි, මේ තරම් මෙය දුර දිග ගිහින් තියෙන්නේ. ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්නෙත්, රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ගෙනෙන්නෙත්, රතන හාමුදුරුවෝ උපවාස කරන්නෙත්, එකිනෙකාගේ බල තණ්හාවට හදා ගත් තම තමන්ගේ න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කිරීමම තමයි, අවස්ථාවාදීව මේ ජාතිවාදී, ආගම්වාදී අන්තයන් පෝෂණය කරමින් කරන මේ සූදුව රටේ අනාගතයක් ගැන හිතලා කරන එකක් නෙවෙයි. එකිනෙකාගේ තියෙන බල පොරය තමයි මේකෙනුත් මේ පෙනෙන්නේ. රටේ බිහිවන්න ඉන්න දරුවන්ගේ අනාගතය තමයි මොවුන් මේ බිල්ලට දීලා තියෙන්නේ. අනාගතයේ මීටත් වඩා ගෝත්‍රවාදී ප්‍රජාවක් බිහි කරමින් එකිනෙකා කුලල් කා ගන්නා මහා යුද බිමක සාපයක් උරුම කරවන බවක් තමයි ඉඟි කරන්නේ.

මේ තත්ත්වයට මුහුණ දෙන්න කරන්න ඕනෑ මොනවද?

විශාල වැඩකොටසක් කරන්න තියෙනවා. ජාතික සමගිය හදන්න නම් එකිනෙකාගේ ජාතිකත්වය අමතක කරවන්න ඕනේ. ජාතිකත්වය කුළුගැන්වෙන ඉඩ ප්‍රස්ථා අවුරන්න ඕනේ. රටේ තියෙන්නේම ජාතිකත්වය ඉස්මතු කරවන ඒවාම නේ. ජාතිකත්වය අමතක වෙන්න නම්, එක් එක් ජාතිකයන්ට වෙන් වෙන් වශයෙන් ඛෙදල දීලා තියෙන ඒවා පොදුවේ දෙන්න ඕනේ. සැමට සම අයිතිවාසිකම් ලැඛෙන පොදු ක්‍රම හදන්න ඕනේ. අධ්‍යාපනය හා නීතිය සැමට සම ලෙස සැලැකෙන තත්ත්වයකට ගෙන ආ යුතුයි. ජාතිකත්වයන් හා ආගම් පදනම් කර ගත් රජයේ පාසල් ක්‍රමය ඉවත් කළ යුතුයි. ඕනෑ ම පාසලකට ඕනෑ ම සිසු සිසුවියකට ඇතුළත් වීමේ හා ඉගෙන ගැනීමේ අයිතිය තහවුරු කරන පාසල් පද්ධතියක් ඇති කළ යුතුයි. එසේම නීතිය ජාතිකත්වයන් මත හෝ ප්‍රාදේශිකත්වයන් මත පදනම් නොවිය යුතුයි. මේ සියල්ල කර ගත හැක්කේ රටට හිතැති පාලනයක් පත් කර ගැනීමෙන් පමණයි. අවුරුදු 71ක්ම පිළිතුරු දීගන්න බැරිවුණු පාලකයන්ට මේ ඇතිවන හා ඇත ිකරවන තත්ත්වයන්ට පිළිතුරු දිය නොහැකි බව පැහැදිලිවම පෙනෙනවා නේ. ඒ නිසා ම මේ ජාතිකවාදී, ආගම්වාදී අන්තවාදීන්ට උඩගෙඩි දෙමින් ඔවුන් මතින් ගොඩ යන්න මාන බලන පාලකයන්ගෙන් රටට ජනතාවට මොන සෙතක් ද….?


චතුර දිසානායක

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button