දේශීය

අධිවේගී මාර්ගයේ වැට ගලවා පරණ යකඩවලට විකුණූ සන්ධාන අපේක්ෂකයා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ විතාරන්දෙණිය බැදිගම සිට කසාගල දක්වා ඇති කොටසේ 38 හා 39 වන සැතපුම් කණු අතර සවිකර තිබූ ආරක්ෂිත වැටෙහි ගැල්වනයිස් තහඩු ගලවා පරණ යකඩ එක්රැස් කරන ස්ථානයකට අලෙවි කර තිබියදී වීරකැටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් චීන ඉදිකිරීම් සමාගමේ නියෝජිතයින් වීරකැටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් අයගෙන් තිදෙනෙක් වීරකැටිය බැදිගම පදිංචිකරුවන් වන අතර ඉන් එක් අයෙක් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වීරකැටිය ප‍්‍රාදේශීය සභාවට තරග කරන ලද අයෙකි. අනෙක් සැකකරු යකඩ එක්රැස් කළ ස්ථානයේ හිමිකරු වේ.

සැකකරුවන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අගුණකොළපැලැස්ස හඳුන්කටුව ප‍්‍රදේශයේ පරණ යකඩ එකරැස් කරන ස්ථානයකට එම යකඩ අලෙවි කර තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.

ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ මෙම කොටස කාපට් කර අවසන් කර ඇති අතර එහි දෙපස මෙම ආරක්ෂිත වැට සකස් කර ඇත්තේ මීට දින කිහිපයකට පෙරය. මෙම පරණ යකඩ එකතු කරන ස්ථානයේ තිබී 2018 වර්ෂයේදී සොරකම් කරන ලද යකඩ කම්බි, යකඩ කූරු හා කොන්ක‍්‍රීට් ඇතිරීමේදී යොදා ගන්නා යකඩ තහඩු රැසක්ද සොයා ගන්නා ලදී.

සොයා ගන්නා ලද යකඩ තොගය පොලීසිය වෙත රැගෙන ඒම සඳහා එම ස්ථානයට ගිය ලොරි රථයේ පිටුපස දොරද කළකට පෙර සොරකම් කර තිබිණ. ලොරි රථයේ රියැදුරා එම ස්ථානයේ ඇවිද යන අවස්ථාවේ තම ලොරියේ පිටුපස දොර එම ස්ථානයේ තිබී හඳුනා ගන්නා ලද අතර එය මෙයට පෙර මෙම ස්ථානයට අලෙවි කර ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙ තිබේ.

චීන සමාගමට අයත් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් යකඩ මෙහි තිබූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් සැකකරුවන් වලස්මුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button