දේශීය

රවී කරුණානායකට නඩු

මහ බැංකු බැඳුම්කර වංචා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම්දී තිබෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය එහිදී අධිකරණයට දැනුම් දුන්නේ, එලෙස අසත්‍ය ප්‍රකාශ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 189 වැනි වගන්තිය යටතේ ගැනෙන වරදක් බවයි.

රවී කරුණානායක මහතා, ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක සහ තව ත් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව රවී කරුණානායක මහතාට එරෙහිව එලෙස චෝදනා ගොනු කරන බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නා.

ඇය සඳහන් කළේ, රවී කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් සමාගමට අයත් බැංකු ගිණුම් ආදායම් වාර්තා ඇතුළු විස්තර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ලබාදෙන ලෙසට පසුගිය පෙබරවාරී 28 වැනි දා අධිකරණය නියෝග කර ඇතත් මේ දක්වා එකී නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් විමර්ශන සම්පූර්ණයෙන් අඩපණ වී ඇති බවයි.

අධිකරණ නියෝගය අනුව කටයුතු කිරීමට ඔනෙලා කරුණානායක කිසිදු උනන්දුවක් නොදැක්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අනුව ඔනෙලා කරුණානායක සහ රවී කරුණානායක මහතා ලබන 6 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව දන්වා ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය ප්‍රකාශ කර තිබෙනවා.

ඇය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ, ඔනෙලා කරුණානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි විට අධිකරණ නියෝගය අනුව අවශ්‍ය ලේඛන ලබානොදීම සම්බන්ධයෙන් විමසන ලෙසයි.

ඉන් අනතුරුවත් එකී නියෝගය චේතනාන්විතව මගහැර සිටින බවට තොරතුරු ඇත්නම්, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172 වැනි වගන්තියට අනුව අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව යටතේ ඔනෙලා කරුණානායකට එරෙහිව චෝදනාවක් ගොනුකරන ලෙසට ලංකා ජයරත්න මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියට නියෝග කළා.

එහිදී මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ, එම විමර්ශනවල ප්‍රගතිය ලබන අගෝස්තු 29 වැනි දා අධිකරණයට වාර්තා කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button