දේශීය

පාසල් දරුවන්ට යකඩ සමඟ ෆෝලික් ඇසිඩ්

පාසල් දරුවන්ගේ ඇති පැවසෙන යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් දරුවන් වෙත ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමඟ මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ දිවා ආහාරය සකස් කරන කණ්ඩායමට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සඳහන් කළේය.

අදාළ ද්‍රව්‍ය සහල් සමග මිශ්‍ර කරන කර්මාන්ත ශාලාවක් අනුරාධපුර කලංකුටිය ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන අතර, ලෝක ආහාර වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
අදාළ සහල් බෙදා දීම අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙන අතර, ඉදිරියේදී මොණරාගල හා මහනුවර දිස්ත්‍රික්කවල පාසල්වලට ලබාදීමට සැලසුම් කර ඇත.

දරුවන්ගේ යකඩ ඌනතාව සොයා බැලීම සඳහා සමීක්‍ෂණ කණ්ඩායමක් පත්කර තිබෙන අතර, එම සමීක්‍ෂණ කණ්ඩායමේ දත්තවලට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම සමීක්ෂණයට අනුව යකඩ ඌනතාවෙන් පෙළෙන දරුවන් යකඩ පෙති හෝ ෆෝලික් ඇසිඩ් බීමට මැලිකමක් දක්වන බව අනාවරණය වී තිබේ. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හා පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සහල්වලට මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර ලබා දීමට තීරණය කර ඇත.

මෙම ආහාර වේල තුළින් රක්තහීනතාව, මතක ශක්තිය දුර්වල වීම හා ශරීර වර්ධනය අඩු වීම සඳහා විසඳුම් ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button