විශේෂාංග

ලංකාවේ පළමු සම්මාන පුරවැසියා

1918 වසරේ දෙසැම්බර් මස පස් වැනිදා ඉන්දියාවේ උපත ලද මොහිදීන් බෙග් දරුවන් දොළොස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා විය. ගැහැනු දරුවන් එක් අයෙක් සහ පිරිමි දරුවන් එකොළොස් දෙනකු ජීවත් වූ බෙග් සේලම් නුවර ප්‍රාථමික පාසලකින් දෙමළ උර්දු හා ඉංග්‍රීසි භාෂාව මැනවින් ඉගෙන ගත්තේය.

බෙග්ගේ වැඩිමහල් සොහොයුරා වූ අසීස් බෙග් ඉන්දියාවෙන් ලංකාවට පැමිණ ලංකා යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙකි. ඒ වනවිටත් බෙග් ඇතුළු පවුලේ සියල්ලෝම ජීවත් වූයේ ඉන්දියාවේය. අසීස් බෙග් සේවය කරමින් සිටිනා අතරතුරේදී බෝට්ටු අනතුරකින් මිය ගියේය. මේ දුක්මුසු පුවත් සැලවීමත් සමඟ මොහිදීන් බෙග් ඇතුළු පවුලේ සියල්ලෝම ඉන්දියාවෙන් ලංකාවට පැමිණියහ. ඒ මිය ගිය අසීස්ට අවසන් ගෞරවය දැක්වීමටය.

බෙග්ගේ මෑණියන්ට මෙය ඉවසුම් නැති දුකක් විය. ඇය හඬා වැළපුණාය. “මගේ පුතා… මට නැතිවුණා… අපරාදේ… එයා මෙහාට ආවේ…” යැයි පවසමින් ඇය තම වේදනාව පිට කළාය. තම වැඩිමහල් සහෝදරයා පිළිබඳව බෙග්ගේ හිතේ වෙනස්ම හැඟීමක් ඇති විය. ඔහු අසීස්ගේ දෙණ ඉදිරියේ හිඳ “අයියේ… ඔයා මේ රට වෙනුවෙන් ජීවිතය පුද කළා… කවදාහරි මමත් මේ රටට එන්නම්.. හොඳ සේවයක් හොඳ නාමයක් මම මේ රටට දෙන්නම්…”කියා බෙග් අදිටන් කර ගත්තේය. අසීස්ගේ මළගමට පසුව බෙග් ඇතුළු පවුලේ සෑම දෙනකුම නැවත ඉන්දියාවට පිටත්ව ගියහ. නමුත් ඔහුගේ හිතේ නිතර නිතර ලංකාවට පැමිණ සේවය කිරීමේ සිහිනය පැළපැදියම් විය.

ඔහුගේ වයස අවුරුදු දහඅට වෙද්දී බෙග්ද ලංකාවට පැමිණ හමුදා සේවයට බැඳුණි. ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වූයේ එයයි. දිනක් ඔහු පිට්ටනියේ වාඩි වී සිටිනා විට හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ ගුරුතුමා (Band Master) බෙග් අසලට පැමිණ “You Can Sing” යනුවෙන් ඇසීය. ඒ වනවිටත් පාසල් අවදියේ දී සංගීතයට බෙග්ගේ තිබූ ආසාව මෙන්ම හැකියාව නිසාම බෙග් ද එයට කැමති විය. ඒ අනුව හමුදා බ්‍රෑන්ඩ් මාස්ටර් බෙග්ව යූ.ඩී. පෙරේරා මාස්ටර්ට බාර දුන්නේය. එතනින් නොනැවතුනු මේ ගමනේදී යූ.ඩී. පෙරේරා මාස්ටර් බෙග්ව එවකට ලංකාවේ ප්‍රසිද්ධ සංගීතඥයකු වූ මොහොමඩ් ගවුස් (ගවුස් මාස්ටර්ට) හඳුන්වා දුණි. 1931 දී මොහිදීන් බෙග්ගේ මුල්ම ගීත පටිගත කිරීම සිදුවුණි. ඒ “තුම් හෝ මුජිකෝ ප්‍රේම සිතායා” නම් හින්දී ගීතයේ තනුවට අනුව නිර්මාණය වූ”කරුණා මූදේ නාමු ගිලීලා – ප්‍රේම මනෝහර ගීත ගයාලා” නම් ගීතයයි. සිංහල භාෂාව හරිහැටි කතා කිරීමට නොහැකි වුණු බෙග් මෙම ගීතය ගායනා කරන ලද්දේ ගී පද උර්දු භාෂාවෙන් ලියා ගැනීමෙන්ය. ඔහු හරි අපූරුවට එම ගීතය ගායනා කළේය.

එම ගීතය ගුවන් විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වෙද්දී මේ අලුත් හඬ කාගේදැයි බොහෝ දෙනකු සොයන්නට පටන් ගත්හ. එකල රට තුළ සංගීත සංදර්ශන නොතිබුණි. ඒ වෙනුවට පැවතියේ සාජ්ජයකය. රෑපසිංහ මාස්ටර්, පොඩි අප්පුහාමි, සාදිරිස් මාස්ටර් වැනි අයට එකල සාජ්ජවලින් බොහෝ ඇරයුම් ලැබුණි. ඒ අතරතුරදී ලැබෙන මඳ විවේක කාලයේදී ගායනා කිරීමට ද මොහිදීන් බෙග්ටත් ආරාධනා ලැබුණි. ඒ වනවිටත් මොහිදීන් ගායනා කළේ”කරුණා මූදේ නාමු ගිලීලා”ගීතය වුවද හරි අපූරුවට හින්දි ගීත ගායනා කිරීමට ඔහුට හැකිවුණි. මේ නිසාම මෙවැනි සාජ්ජවලදී තම ගීතයට අමතරව බෙග් හින්දී ගීතද ගායනා කළේය. එකල සාජ්ජවලට පැමිණෙන ගායකයින්ට සල්ලිවලින් මල්මාලා පැළදීම සිදුවූ අතර එවැනි සාජ්ජවලදී බෙග්ට ද සල්ලි මල්මාලා වැඩිපුර පැළඳුණි. බෙග් සාජ්ජවල ගීත ගායනා කළේ හමුදාවේ සේවය කරනා අතරතුරේදීය. දිනෙන් දින සාජ්ජවලට ලැබෙන ඉල්ලුම වැඩිවෙද්දී බෙග් හමුදා සේවයෙන් ඉල්ලා අස්විය.

ශාන්ති කුමාර් සෙනවිරත්න විසින් අධ්‍යක්ෂණ කෙරුණු “අශෝක මාලා” චිත්‍රපටයේ ගී ගැයූ එකම ගායකයා ලෙස බෙග් එකම ඉතිහාස ගත විය. ඔහු චිත්‍රපටයේ ගීත හතරක් පමණ ගායනා කර ඇත. එහිදී වයලින් වාදක ශිල්පියකු ලෙස කටයුතු කරන ලද්දේ ඇල්බට් පෙරේරාය. පසුව (ඩබ්.ඩී. අමරදේව) නමින් කේෂත්‍රයට පැමිණියේ මේ ඇල්බට්ය. ඉතා කුඩා කොලු ගැටයෙකු වූ ඇල්බට්ට බෙග්ව දකින්නට ලැබුණේ අශෝකමාලා චිත්‍රපටය සංගීතවත් කරන මොහොතේදීය. එම චිත්‍රපටයේදී මොහිදීන් යාචකයෙකුගේ චරිතයක් ද රඟපෑවේය. එහිදී ඔහු ගැයු “ප්‍රීතී… ප්‍රීතී… චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවි…” ගීතය අතිශය ජනප්‍රිය වූ අතර එතැන් පටන් බෙග් මාස්ටර්ට චිත්‍රපටවල පසුබිම් ගායනය සඳහා ආරාධනා බොහෝමයක් එකදිගට ගලා ආවේය. ඔහු බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට බොහෝමයක ගීත ගායනා කළේය.

1956දී ඔහු”බුද්ධං සරණං ගච්ඡාමි.” ගීතය ගායනා කළේය. ඒ “අංගුලිමාල” චිත්‍රපටයටය. එම ගීතයෙන් මිනිසුන් ඔහු ගැන තවදුරටත් සොයන්නට උත්සාහ ගත්හ. ඉන්දියන් ජාතියෙකු වූ මොහිදීන් බෙග් ගැන සැවොම කතාබහ කරන්නට පටන් ගත්තේය. එහිදී එවකට අගමැති වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ද මේ ගීතය රසවිඳ”මේ ගීතය ගයන්නේ කවුදැයි” විමසීය. අවසානයේදී මොහිදීන් බෙග් ගැන ඔහුටද සැලවිය. එහිදී කරුණාරත්න අබේසේකරයන් “මෙයා… අපේ රටේ කෙනෙක් නෙමෙයි… ඒත්… මෙයාව කොහොම හරි ලංකාවේ තියාගන්න ඕනේ… සර්…” යනුවෙන් පැවසීය. කරුණාරත්න අබේසේකර මෙන්ම එවකට සිටි සංස්කෘතික ඇමති ඇතුළු බොහොමයක් මොහිදීන්ට ලංකාවේ පුරවැසිභාවය ලබාදෙන මෙන් ඉල්ලා සිටියහ. එවකට විපක්ෂයේ සිටි ඩඩ්ලි සේනානායක මහතාගෙන්ද මේ පිළිබඳව විමසූ විට ඔහුගේද අකමැත්තක් නොවීය. නමුත් ඒ වනවිට ලංකාවේ පුරවැසි භාවය වෙනුවෙන් විවිධ මතභේද හටගත් කාලයක් විය. පාර්ලිමේන්තුව තුළ ඇතැමුන් දෙමළ ජාතිකයින්ට පුරවැසිභාවය ලබාදෙන ලෙස හඬ නැගීය. එවන් යුගයක මොහිදීන් බෙග්ට පුරවැසිභාවය එකවරම ලබාදීමට එවකට අග්‍රාමාත්‍ය වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අකමැති විය.

අවසානයේදී සියල්ලන්ගේම ඒකමතිකව තීරණයකට අනුව මොහිදින් බෙග් සම්මානනීය පුරවැසිභාවය ලංකාවේ ප්‍රථම වරට ලබාදුණි. ඒ අනුව රටට සේවයක් කළ පුරවැසියකු ලෙස සලකා මොහිදීන් බෙග් මාස්ටර්ට “සම්මානනීය පුරවැසිභාවය” 1956දී හිමිවිය. එතැන් පටන් අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් ලාංකිකයෙකු විය. එම සම්මානනීය පුරවැසිභාවය දෙවන වරට හිමිවූයේ 1993 වසරේ දී ආචාර්ය ආතර් සී. ක්ලාක්ට නම් මහා විද්‍යාඥයාටය.

1991 නොවැම්බර් මස 04 වැනිදා මිය ගිය මොහිදීන් බෙග් ගායනා කළ ගීත රාශියකි. ඒ අතරින් බොහොමයක් අද ද ඉතා ජනප්‍රිය වන අතර ඒ අතරින් ඔහු බෞද්ධ ගීත බොහෝමයක් ද ගායනා කර ඇත. ඔහු ගැයූ සුදු සඳ රැස් ගලනා… බුදුන්ගේ අමා ධර්මේ, දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි, පාපේ ගැලීලා, දුප්පතාට කෝ සැපලෝකේ, ගිරිහෙල් මුදුණේ, කවුද මේ ලෝකේ, මේ ලෝක තලේ සුරකින, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ වැනි ගීත අතිශය ජනප්‍රිය ගීත වේ.

විශේෂ ස්තූතිය
ඉෂාක් බෙග් මහතාට


දිශානි ජයමාලි කරැණාරත්න

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button