විශේෂාංග

ජනතාවගේ මුහුණට කෙළ ගැසීම

දඩයම් යුගයේ පටන් මිනිසා සිය අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා දඩ බල්ලන් යොදා ගත්තේය. මිනිසා දියුණු වෙමින් පැමිණියද ඒ හුරුව මත විටින් විට මිනිස්සු දඩ බල්ලෝ සිය විවිධ අවශ්‍යතා ඉටුකර ගැනීමට යොදා ගත්හ. මේ වන විට ආලේපිත ශිෂ්ට සමාජයද ඔවුන්ගේ අවශ්‍යතා උදෙසා දඩ බල්ලාගේ සේවය උපකාරී කරගනිමින් සිටී. ඒ බල්ලන් යොදා ගනිමින් නොව බල්ලන්ගේ හැසිරීම් ඇති පුද්ගලයන් යොදා ගනිමිනි. ලංකා දේශපාලනයේ සිටි පාලකයෝ සෑම කෙනකුම පාහේ ඒ දඩ බලු හැසිරීම් ඇති පුද්ගලයන් තමන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් යොදා ගත්හ. ඒ අතුරින් ලංකා ඉතිහාසය තුළ මේ ක්‍රමය වඩා සාර්ථක ලෙස යොදා ගනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසිනි. තමන්ගේ මතවාදය බිඳ හෙළන, නොඑසේ නම් ඊට අභියෝග කරන හෝ කිසියම් ආකාරයකින් තමන්ගේ දේශපාලන දෘෂ්ටිවාදයේ පැවැත්මට අහිතකර ලෙස ක්‍රියාත්මක වන ඕනෑම ක්‍රියාකාරීත්වයක් මර්දනය කිරීම සඳහා ඔවුහු මේ ක්‍රමය යොදා ගත්හ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම වැනි සිදුවීම් වලදී ඔවුන් යොදවා ගත්තේ ආරක්ෂක අංශ වල සිටි දඩ බල්ලන් බව මේ වන විට තහවුරු වෙමින් තිබේ. ඔවුහු යුධ කාලසීමාව තුළ සහ යම් පමණකට පශ්චාත් යුධ කාලසීමාව තුළ හමුදා සෙබලුන් යොදවාගෙන, ජනතාව තුළ පැලපදියම්ව තිබූ මිලටරි ඇබ්බැහිකාරකය හරහා ස්වකීය අවශ්‍යතා ඉටුකරගනු ලැබූහ. එළිපිට මහ දවාලේ පුද්ගලයන් පැහැරගන්නා සුදු වෑන් සංස්කෘතියක් පැවතියද මිනිසුන් ඊට එරෙහිව හඬක් නොනැගූවේ රාජපක්ෂලාට පවතින බිය නිසා නොව, බහුතර ලාංකිකයන් තුළ අවිඥානිකව නිදන්ගතව ඇති මිලිටරි ප්‍රේමය හෙවත් ඇබ්බැහිය නිසාය. එය පැහැදිලි ලෙසම සනාථ වන්නේ රාජපක්ෂලාගේ ඒ ක්‍රියාවන්ට එරෙහිව හඬ නැගූ පිරිස අතරින් සැළකිය යුතු බහුතරයක් යුධ විරෝධී, මිලිටරි ක්‍රමය හෙළා දුටු පිරිසක් වීම ඔස්සේය.

කෙසේ හෝ රාජපක්ෂවාදීහු එකී දඩබලු පරිච්ඡේදයේ බලය යම් පමණකට හීන වන තැන තමන්ගේ උවමනා එපාකම් ඉටුකර ගැනීම උදෙසා වෙනත් ස්වරූපයකින් දඩ බල්ලන් පිරිසක් පෝෂණය කරමින් බලාකියා ගත්තෝය. පෙර උපක්‍රමයේදී මිලිටරි ආලය යොදා ගත් මොවුන් දෙවනවර ක්‍රියාත්මක වූයේ එහිම සහෝදරයකු වන ආගමික අන්තවාදය සහ එය වසාගත් ජාතිවාදය යොදා ගනිමිනි. රාජපක්ෂවරුන් එහිදී අපූරුවට දෙපැත්තම බැලන්ස් කරමින් ක්‍රියාකර ඇතිවග මේ වන විට හෙලිවෙමින් පවතී. ඔවුහු බෞද්ධාගමික සිංහල ජාතිවාදය බිහිකිරීම උදෙසා ඥානසාර ඇතුලු පිරිසටද ඉස්ලාම් ආගමික මුස්ලිම් ජාතික අන්තවාදය උදෙසා තවුහිද් ජමාද් සංවිධානයටද එකම ගිණුමකින් මුදල් ලබා දී ඇති වග පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වාර්තා වල පළවිය. එහෙත් ඒ පිළිබඳව තවමත් පරීක්ෂණයක් ආරම්භ නොවී තිබීම විශ්මය ජනකය.

කෙසේ හෝ මෙවැනි ක්‍රෑර, අධම වෙහෙසකර පාලනයකින් හෙම්බත් වී සිටි ජනතාව නිදහස සහ විශ්වාසය රැඳි රාජ්‍යක් බිහිකර ගැනීම උදෙසා 2015 වසරේ යහපාලන රජය පත්කර ගත්තේය. එහෙත් පත් කරගත් රජයද නමට යහපාලන වූයේය.

ඔවුහු තමන්ට පෙර සිටි පාලක නඩය මෙන්ම සොරකමද, දූෂණයද වංචාවද අඩුවක් නැතිව සිදු කරති. එයින් නොනැවතී රාජ්‍ය පාලනයට ඇති ලෝබකම ඉවවහා ගොස් ක්‍රෑර, අසික්කිත, අධම ක්‍රියාවලින් නැවත වතාවක් තමන්ගේ බලය තහවුරු කර ගැනීම උදෙසා යත්න දරති. ශිෂ්ටසම්පන්න සමාජයක් පිළිකෙව් කරන ආගමික අන්තවාදය සහ ජාතිවාදය පළිහක් කරගැනීමට මාන බලති. කොටින්ම ජනාධිපති ප්‍රමුඛ යහපාලනයට මේ මොහොතේ උවමනා කරන්නේ කුමන ක්‍රමයකින් හෝ බලය ලබා ගැනීමයි.

යහපාලන ජනපති මෛත්‍රීපාල සිරිසේනට සිය අශිෂ්ට අභ්‍යාසය අත්හැරිය නොහැකි බව මේ මොහොතේ නැවත වතාවක් තහවුරුකර ඇත. ඡන්ද පිපාසාවෙන් පෙළෙන ඔහු මෙවර අන්තවාදය තමාගේ ඉත්තා බවට පත්කරගෙන ඇත. සිරගතකර සිටි අන්තවාදී භික්ෂුවක වූ ඥානසාර හිමි නිදහස් කරගනු ලබන්නේ ඒ වුවමනාවටය. තමන්ගෙන් මහින්ද රාජපක්ෂ පිළ පැහැරගෙන ඇතැයි ඔහු සිතනා සිංහල බෞද්ධ ඡන්ද කොටස තමන් වෙත ඩැහැගැනීමටය. ඔහු ලේ, මළමිනී මතින් තමන්ගේ අනාගත ජනාධිපති සිහිනය දකී. කලක් රාජපක්ෂ පිළේ දඩ කෙළියේ නිරත වූ ඥානසාර හිමි දැන් තමන්ගේ දඩ කෙළි භූමිකාවට පත්කර ඇත. මෙම අන්තවාදින්ට ලැබෙන මස් කුට්ටියේ ප්‍රමාණය විශාල නම් ස්වාමියාගේ ගැටලුවක් නැත. ඔවුහු නොකඩවා ලේ වලට ඉව අල්ලති.

ඥානසාර හිමි සිරෙන් නිදහස් කරගැනීමට පටු දේශපාලන වුමනාව හැරුණු විට වෙනත් කිසිදු උවමනාවක් මේ මොහොතේ නැත. ඥානසාර හිමි සිරබත් කෑවේ රටට හෝ ජනතාවට වැඩක් වෙන යමක් සිදු කිරීම නිසා නොව, අධිකරණයේ කටයුතු වලට බාදා කිරීම සහ අධිකරණයට අපහාස කිරීම නිසාය. එහිදී මේ භික්ෂුව සිය ස්වාමියා සොයා දෙන ලෙස ඉල්ලා යුක්තිය පතනා සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදී අපහාස කළේය. මෛත්‍රී ජනාධිපති සමාව දී මේ නිදහස් කරන්නේ අධිකරණයට අපහාස කළ පුද්ගල නිදහසට පරිභව කළ ඥානසාර හිමිය.
ජනාධිපතිවරයාගේ මේ හැසිරීම අසික්කිතය, ජුගුප්සාජනකය. ඔහු බලයට පත්වීම උදෙසා ඉත්තන් බවට පත්කරගත් සාධක මේ මොහොතේ නොසලකා හරිමින් සිටී, එයින්ද නොනැවතී යුක්තිය ඉල්ලා සිටි ඒ මානව විරෝධී සිදුවීම් සිය බලය යොදා යටපත් කරමින් සිටී. මෙවර ඔහු තමා ජනාධිපති සිහිනයට ඇවිද ආ පලසේ කඳුලු හෙලූ සන්ධ්‍යාගේ මුහුණට කෙල ගසා ඇත.

ඥානසාර හිමි පිළිබඳව රටේ ජනතාවට සුබ සිහින දකින්නට නොහැකිය. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනාශකාරයෙකි. ඔහු පතුරන්නේ හිංසාව, භීෂණය, වෛරය වැනි හැගීම්ය. ඔහු ඉස්ලාම් අන්තවාදය මත සිට මුලුමහත් ඉස්ලාම් සමාජය මතම ජාතිවාදය වැපිරවීය. කොටින්ම ඔහු කළක් සිංහල බෞද්ධ ජනසමාජයේ නොනිළ පාලකයා විය. දර්ගා නගරයේ සිදුවීම, දිගන නගරයේ සිදුවීම, බෙන්තොට, තෙල්දෙණිය වැනි බොහෝ විනාශකාරී සිදුවීම් මොහු මෙහෙය වීය. ඒවා හරහා මිනිස් ලේ වුමනා කළ පිරිසට අවැසි මඟ හෙළි පෙහෙළි කර දුන්නේය. ඔහුගේ ඉතිහාසය තුළ සිංහල මුස්ලිම් සංහ`ිදියාව සඳහා ඔහු කළ යමක් නැත. ඔහු සිදු කළේ තිබූ සංහ`ිදියාව විනාශ කිරීමයි. තවුහිද් ජමාද් වැනි සංවිධාන වලට මූල බීජ සැවයුවේ ඥානසාරලාගේ අන්තවාදය මිස අනෙකක් නොවේ. රට තුළ ඇවිලුණු ජාතිවාදී ගිණිදැල් තවමත් නිවී නොමැති මේ මොහොතේ ඥානසාර හිමි නිදහස් කිරීම ඒ ගින්නට පෙට්‍රල් වත්කිරීමක් වැනිය.

රාජපක්ෂලා දඩ බල්ලන් යොදා ගන්නා විට බහුතරය ඊට එරෙහි නොවූ ආකාරයටම මෙවර මෛත්‍රී දඩ බල්ලන් යොදා ගන්නා විටත් ජනයා ඊට එරෙහි නොවනු ඇත. එකක් ඥානසාර ඇතුලු පිරිස දඩ කෙළියේ නිරත වන බව නොපිළිගැනීමය. අනෙක දඩ බල්ලන් කියා විශේෂයක් සමාජයට නොපෙනීමය. මක්නිසාද යත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ මිනිසාගේ අවිඥ්ඥානික ඇබ්බැහිකාරකයන් මත පදනම්ව වන බැවිනි. ඥානසාර ඇතුලු අන්තවාදීන් හරහා කිසිවිටක ප්‍රසන්න දේශපාලන ව්‍යාපෘතීන් නොපෙනෙන අතර, පෙනෙන්නේ ජාතිය, ආගම රැකගැනීමේ නාමයෙන් කරන ප්‍රචණ්ඩ හැසිරීම්ය. එය තේරුම් නොගන්නා තෙක් ඥානසාර ඇතුලු පිරිසට පහසුවෙන් තමන්ගේ රාජකාරිය සිදු කළ හැක.
ජාතිවාදී ගිනි නිවී යාම දේශපාලකයන්ට කොහෙත්ම සුබ නැත. ඒ නිසා ඔවුන්ට වුවමනා ඒ ගිනි කෙසේ හෝ දල්වා තබා ගැනීමය. ඊට ජනාධිපතිවරයා ඥානසාරව පොර පිටියට දැමීය. මෛත්‍රීගේ අරමුණ මේ මොහොතේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරා ගැනීමයි.

කෙසේ හෝ මේ මොහොතේ පන්නා දැමූ, ප්‍රතික්ෂේප කළ මහින්දගේ සෙවනැළි මෛත්‍රී හරහා රටට වැටෙමින් ඇත. ඒ සෙවනැළි එන්නේ සියලු විනාශකාරීත්වයන් පෙරමුණෙහි තබාගෙනය. මෛත්‍රී ලේ පිපාසිත පාලකයකු බවට පත්වෙමින් සිටිති. ජනාධිපති සිය වුවමනා වෙනුවෙන් දඩ බල්ලන් මුදා හරින පසුබිමක ජනතාවට සිදු වන්නේ ඒ දඩ බල්ලන්නේ ගොදුරු බවට පත් වීමටද?


රසික ගුණවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button