දේශීය

අන්තවාදී චීවරධාරියෙකු නිසා ධර්මචක්‍රය සහ කුරුසිය සහිත වෙසක් කූඩු 500ක් පමණ ගිනි තබා විනාශ කරයි

‘ධර්ම චක්‍රය’ සහ ‘කුරුසිය’ ලකුණ සහිතව සකස් කර තිබූ වෙසන් කූඩු ප්‍රදර්ශණය කිරීම සාලියවැව පොලීසිය තහනම් කිරීමත් සමග එම වෙසක් කූඩු ගලවා ඉවත් කර ගිනි තබා විනාශ කිරීමට සංවිධායකයින් කටයුතු කරනු ලැබුවා.

ඊයේ 18 (වෙසක් දිනයදා) මෙම තත්ත්වය ඇති වී තිබෙනවා. සාලියවැව ප්‍රදේශයේ බෞද්ධ සහ කතෝලික තරුණයින් දෙපිරිස සතියක පමණ කාලයක් වෙහෙස වී වෙසක් කූඩු විශාල ප්‍රමාණයක් සකස් කර තිබුණා.

එම වෙසක් කූඩු වල එක් පසෙක ‘ධර්ම චක්‍රය’ සහ අනෙක් පසෙහි ‘කුරුසිය’ ප්‍රදර්ශණය කිරීමට එම තරුණයින් දෙපිරිස කටයුතු කර තිබුණා. ඒ අනුව සකස් කර තිබූ වෙසක් කූඩු සාලියවැව මංසන්ධියේ වෙසක් පොහොය දිනයේ ප්‍රදර්ශණය කිරීමට එම තරුණ පිරිස කටයුතු කර ඇත.

මේ බව දැන ගෙන ඇති කරුවලගස්වැව ප්‍රාදේශීය බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධීරී අළුත්ගම ශ්‍රී ලුම්බිණි විහාරයේ විහාරාධිපති මානාවේ පංඤ්ඤාරාම නම් චීවරධාරී තැන ඊට විරෝධය පළ කරමින් සාලියවැව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වී ඇති සාලියවැව පොලීසිය ධර්ම චක්‍රය සහ කුරුසිය සහිත වෙසක් කූඩු ප්‍රදර්ශණය තහනම් කිරීමට කටයුතු කළා. ඒ උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුවයි.

ඒ සමගම සාලියවැව ප්‍රදේශය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබුණා. කිසියම් කලහකාරී තත්ත්වයක් ඇති වන්නේනම් ඊට මුහුණ දීම සදහා අමතර පොලිස් කණ්ඩායම්ද සාලියවැව ප්‍රදේශයට ක්ෂණිකව කැඳවනු ලැබුවා.

පසුව වෙසක් කූඩු සකස් කරන ලද තරුණයින් විසින්ම ඒවා ගලවා ඉවත් කිරීමට කටයුතු කළා. ඉවත් කරන ලද වෙසක් කූඩු වලින් කොටසක් සාලියවැව බස් නැවතුම්පල ඉදිරිපිටදී ගිනි තබා විනාශ කළ ඔවුන් කොටසක් තම තමන්ගේ නිවෙස් වල රැගෙන යනු ලැබුවා.


කෙසේවෙතත්, වෙසක් කූඩුව නිර්මාණයට මුල පුරන්නේ ‘බකට්’ ඇසුරින්. බකට් කියන්නේ බටහිර සංස්කෘතියේ සංස්කෘතිකාංගයක්. අටපට්ටම සහ වෙසක් කූඩු යනු බකට් එකෙහිම දිගුවක්…. එමෙන්ම ශ්‍රී ලංකාවේ පළමු තොරණ නිර්මාණය වන්නේත් කතෝලික දේවස්ථාන ආශ්‍රිතව. ක්‍රම ක්‍රමයෙන් බෞද්ධ ජනතාව වෙසක් තොරණ නිර්මාණය කිරීමේදී, කතෝලික පල්ලිය විසින් තොරණ නිර්මාණය අත්හැර දමනවා. ඊට අමතරව දහම්පාසල, භක්ති ගීතවල ආභාෂයත් කතෝලික සම්ප්‍රදායන්…. එහෙව් සංස්කෘතික දෙමුහුම් කරණයක් තියෙද්දී, අන්තවාදී බෞද්ධයන් විසින් මේ කරනා නාඩගම් ගැන අපට ඇත්තේ පිළිකුලක්.

ලොව ඕනෑම සංස්කෘතියක් තවත් සංස්කෘතීන්ගෙන් පෝෂණය වී ඇත. එසේ නොවනා සංස්කෘතියක් ඇත්නම් ඒ ලෝකය නොදුටු හුදකලා ජනකොට්ඨාශ වලය. සංස්කෘතිය යනු බොහොම සුන්දර කතාන්දරයකි. එය තේරුම් ගන්නේ නම් මෙවැනි මිනිසුන් තවදුරටත් ළිං මැඩියන් සේ ජීවත් නොවනු ඇත.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button