විශේෂාංග

“කරුණාකර හැමෝම ලාංකික වෙන්න”

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදු වී දැනට සති දෙකක් ගෙවී ගොසිණි. මේ ගතවෙමින් පවතින්නේ කුණාටු අවධියකි. මේ කාලය තුළ සමාජයේ විවිධ මතවාද සංසරණය වෙමින් පවතී. බිය සැක බැහැර කොට සියලු දෙනාම

ශ්‍රී ලාංකිකයන් වශයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශ ප්‍රධානි ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අපි සමඟ සංවාදයක නිරත වුණෙමු.

පාස්කු ඉරිදා සිදුවුණු අවාසනාවන්ත සිදුවීම් සමඟ දැන් සමාජය සංහිඳියාව වැරදියි කියන තැනට පත් වෙලා ති‍ෙයනවා. ඇයි එහෙම තැනකට සමාජය වැටිලා තියෙන්නේ?

සංහිඳියාව කියන වචනේ දේශපාලනික මුහුණුවරක් අරගෙන තියෙනවා. සංහිඳියා ආණ්ඩුව කියනවා. සංහිඳියා රජය කියනවා. ඒ වගේ විවිධ වචනාර්ථවලට දේශපාලනික මුහුණුවරක් ආවම මේ වගේ සිදුවීම් එක්ක විවිධ විවේචන එන එක ස්වභාවික දෙයක්. මේ රජය සංහිඳියා රජයක් නෙමෙයි. නමුත් මේ රජය ජාතිවාදය අවුස්සන වැඩේ කළේ නැහැ. ඒ වගේම ගැටුමකට පාත්‍ර වුණු සමාජයක ඉන්න හැම මනුස්සයෙක්ම හදවතේ තුවාල සහිත මිනිස්සු. ඒ තුවාල සුව නොවුණොත් ගැටුම්වලට නැඹුරු වෙනවා වැඩියි. ඒ හදවත්වල තුවාල සුව කරන්න වැඩපිළිවෙළක් තිබුණෙත් නැහැ. යුද සමයේ තුවාල ඇති වුණු හදවත් තියෙන මිනිස්සුන්ගේ තුවාල මේ සිද්ධියත් එක්ක බරපතළ විදිහට පෑරුණා.

ඒ තුවාල පෑරීම නිසාද සමාජය සංහිඳියාව විවේචනය කරන්න තරම් දුර්වල මට්ටමකට වැටුණේ?

අපේ සමාජයේ නිතරම පවතින දෙයක් තමයි බෙදීම කියන එක. කොහෙත් කරන්නේ බෙදන එක. ඒ බෙදීම් මානසිකත්වයෙන් මිදිලා ලාංකේය ජාතියක් හැටියට ගොඩනැඟෙන එකයි වැදගත් වෙන්නේ. නිදහස ලැබිලා වසර 70ක් ගත වෙලත් අපිට එක ජාතියක් හැටියට ලෝකය ඉදිරියේ පෙනී ඉන්න බැරි වෙලා තියෙනවා. දේශපාලනයත් මේකට වගකිව යුතුයි. බෙදීම් සහිත සමාජයක් නිතරම වැඩ කරන්නේ, හිතන්නේ පතන්නේ ඒ බෙදීම් ඔස්සේ. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි එකතු වෙන්න ඕනේ. මේ සිදුවීමත් එක්ක ඉස්ලාම් ජන කොටස වඩ වඩාත් අපි එකතු කරගන්න ඕනේ. එකම පිරිසක් තව තවත් බෙදන්නේ නැතුව චෝදනා එල්ල කරන්නේ නැතුව අපි පිරිසක් ලෙසට එකතුවෙන්න ඕනේ. මේ වෙලාවේ අපි 83 කළු ජූලිය සිහිපත් කරගන්න ඕනේ. ඒ වැරැද්ද නැවත නැවත අපි නොකළ යුතුයි. ඒ නිසා ඉස්ලාම් ප්‍රජාව අපි ප්‍රධාන ධාරාවට එකතු කරගත යුතුයි.

ප්‍රධාන ධාරාව කියලා ඔබ වහන්සේ අදහස් කළේ මොකක්ද?

ශ්‍රී ලාංකිකයෝ හැටියට එක ජාතියක් විදිහට හිතන එක තමයි ප්‍රධාන ධාරාව වෙන්නේ. අපි හැමෝම ලාංකිකයෝ හැටියට කටයුතු කරන්න ඕනේ. එකට එකතුවෙලා වැඩ කරන එක තමයි ප්‍රධාන ධාරාව කියන්නේ.

ඒත් ළඟ ඉන්න මනුස්සයා දිහාත් මිනිස්සු සැකෙන් බලන්නේ. කොහොමද එකට වැඩ කරන්නේ?

පාස්කු ඉරිදා ප්‍රහාරය තර්කයට ගෝචර වෙන්නේ නැති දෙයක්. එල්ටීටීඊ ප්‍රහාරයට හේතුවක් තිබුණා. ඔවුන් ඉල්ලුවේ වෙනම රාජ්‍යයක්, වෙනම භූමියක්. මේ වෙලාවේ අපි මුහුණ දුන්නු සිදුවීම තර්කයට ගෝචර වෙන්නේ නැහැ. ඒ අය පුපුරවා ගත්තේ දිව්‍යලෝකයට යන්න කියලයි කිව්වේ. මේ බෝම්බ පුපුරවා ගත්ත ළමයි අතරේ උගත් ධනවත් අය හිටියා. ඒ නිසා තර්කානුකූලව කිසිම දෙයක් කියන්න බැහැ. තර්කානුකූලව කතා කරන්න බැරි මොහොතක හැමෝම වික්ෂිප්තයි. ඒ නිසා සියලුදෙනා සැක කිරීම ස්වභාවිකයි. ඒත් ඒක නෙමෙයි කළ යුතු වෙන්නේ. නමුත් මේ මොහොතේ සැකය කියන එක ස්වභාවිකයි. මේ මොහොතේ මිනිස්සුන්ට අවශ්‍ය චින්තනමය දියුණුවක්. එතකොට එකට වැඩ කරන්න බැරි නැහැ.

ඒ සැකයෙන් සමාජයට විශාල හානියක් වෙනවා නේද?

මේ වගේ ව්‍යසනයක් වෙලා තියෙන මොහොතක ඉස්ලාම් ජනතාව වුණත් මේ සිදුවීම තුළ කවුද හොඳ කෙනා, කවුද වැරදි කෙනා කියලා හිතාගන්න බැරි නිසා සැකයක් මතු වෙනවා කියන එක. ඒකයි මම කිව්වේ මිනිස්සු මේ මොහොතේ චින්තනමය වශයෙන් දියුණු වෙන්න ඕනේ කියලා. මනසින් පේනවාට වඩා යමක් ගැඹුරින් දකින්න ඕනේ. ඒ තැනට චින්තනය රැගෙන යන්න පෙලඹෙන්න ඕනේ.

මේ හැම ප්‍රශ්නයක්ම එකම ජාතියක් ඉලක්ක කරගෙන චෝදනා කිරීමේ සහ කොන් කිරීමේ අවසන් ප්‍රතිඵලය මොකක්ද?

එතකොට ඉතාම භයානය අනාගතයක් උරුම වෙයි. මේ වෙලාවේ සිද්ධ වුණු සිදුවීම නිසියාකාරව අපි කළමනාකරණය කරගත්තේ නැත්නම් විශාල ප්‍රශ්නයකට රට මුහුණ දෙයි. ඉස්ලාමය හරහා එන අන්තවාදය ත්‍රස්තවාදය කියලා අරගෙන මේ රටේ අනෙක් ජනකොටස සහ මුස්ලිම් ජනතාව බෙදුවොත් ඒකෙන් වාසි ගන්නේ ජාත්‍යන්තරය. මේකට බරපතළ ජාත්‍යන්තර මැදිහත් වීමක් තියෙනවා. චීනය සහ ඇමරිකාව යන බලකඳවුරු දෙකේ ඝට්ටනය ලංකාව කියන භූමියේදී සිදුවෙන්න නියමිතයි. මේ තත්ත්වය කළමනාකරණය කර නොගත්තොත් මුළු ලංකාවම, ලාංකිකයන්ම විනාශ වෙනවා. මේ මොහොතේ අපේ හර පද්ධතිය කියලා දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒ සියල්ල විනාශ වෙලා යනවා. මේකෙන් සියල්ල කඩා වැටුණු අවිචාරවත් සමයකට යාමට නියමිතයි. එල්ටීටීඊ ප්‍රශ්නේ තරම් මේක සරල නැහැ. ඒකට මේ තරම් ජාත්‍යන්තර අතපෙවීමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නය දිහා අපිට සරලව බලන්න බැහැ.

හැමදාම විටින් විට අර්බුදවලට අපි රටක් ලෙස මුහුණ දෙනවා. වරද කාගෙද? කොතැනද?

ඒකට හේතු ගණනාවක් තියෙනවා. පැති ගණනාවක් තියෙනවා. මේකෙදි ලංකාවේ පිහිටීම කියන සාධකය වැදගත්. මීට වසර තිහකට පෙර උතුරේ අවි ගත්තු කුඩා කණ්ඩායම් පුහුණු කළේ, ඔවුන්ට ආයුධ සැපයුවේ ළඟම ඉන්න ඉන්දියාව. මේ රට භූගෝලීය වශයෙන් මරමස්ථානයක පිහිටලා තියෙන්නේ. පෙරදිග අපරදිග ඕනෑම කෙනෙකුට ඉතාම ලේසියෙන් මේ රටට එන්න, බලපෑම් කරන්න පුළුවන්. එහෙම පරිසරයක අභ්‍යන්තර වශයෙන් තියෙන ගරා වැටීම මේ ප්‍රශ්නවලට හේතුවක්.

ඒ කියන්නේ දේශපාලනික වශයෙන් පවතින ගරා වැටීමද?

දේශපාලනය තුළිනුත් පිළිබිඹු වෙන්නේ සමස්ත සමාජයේ ගරා වැටීම. සමාජයේ ඉන්න පුරවැසියන් තමයි දේශපාලකයන්ව තෝරගන්නේ. ගරා වැටුණු සමාජයක් කවදාවත් සාර්ථක දේශපාලකයන්ව තෝරගන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ආගමික ආයතනවල බලපතළ ගරා වැටීමකුත් පේනවා. ඒකෙන් පිළිබිඹු වෙන්නේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ගරා වැටීම. මේ එකකට එකක් අනුපූරක වශයෙන් සම්බන්ධයි. ඒ නිසා ලංකාවට දිනෙන් දින අර්බුද එල්ල වෙනවා.

ආගමික ආයතනවල සමහර නායකයන් පවා මේ මොහොතේ හැසිරෙන්නේ ජාතිවාදය අවුස්සනසුලු ආකාරයට. මේ ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ?

ඒ අයට උත්තර දෙන්න මම කැමති නැහැ. එහෙම පාර්ශ්වයක් ඉන්නවා කියලා හිතන්නේ නැතුව වැඩ කරන එක තමයි හොඳම දේ. ඒ අය නොතකා හරින්න. මම සියලු මාධ්‍යවලටත් කියන්නේ මේ අයට ප්‍රචාරය දෙන්න එපා කියලා. මේ අයව වීරයෝ කරන්න එපා. ඕලෙවල්වත් නැති මිනිස්සු වීරයෝ කරන්නේ මාධ්‍ය. ඒ අයට භූමිකාවක් හදලා දෙන්න එපා. ඔහේ කෑගහන්න ඉඩ දෙන්න.

විශාල ව්‍යසනයක් වී හමාරයි. දැන් මෙතනින් එහාට මිනිස්සු වැඩ කරන්න ඕනේ කොහොමද? යළි නැඟී සිටින්නේ කොහොමද?

මම හිතනවා පාස්කු ඉරිදා අපිට එල්ල වුණු ප්‍රහාරය රටක් විදිහට අපි ඉතාම බරපතළව ගත යුතුයි. මේ ප්‍රහාරයෙන් මියගිය තුන්සියදෙනාගේ ලේවලට අර්ථයක් දීමේ අභියෝගය තියෙන්නේ අපේ අතේ. ඒක අපි හැමෝම බාරගත යුතු අභියෝගයක්. ඒකෙදි මෙතෙක් කල් අපි අවදි වුණේ නැත්නම් අවදි වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ විවිධ කණ්ඩායම්වලට එකතුවෙන එක නෙමෙයි. ආධ්‍යාත්මිකව මිනිස්සුන්ගේ ඇති විය යුතු අවදි වීම. ඒ වගේම මම ඉස්ලාම් ආගමික ආයතනවලට යෝජනා කරනවා ශ්‍රී ලාංකික වෙන්න කියලා. ලංකාවේ අවුරුදු දාහක විතර ඉඳන් මුස්ලිම් ප්‍රජාව ඉන්නවා. ඒ හැමෝම ශ්‍රී ලාංකික. නමුත් වසර පහළොවක පමණ කාලය තුළ ඉස්ලම් භක්තිකයන් අරාබි ඉස්ලාම් බවට පත් වුණු බව පේනවා. බුර්කාවත් ඒකෙන්ම කොටසක්. ඒ නිසා මම ඒ හැමෝටම ආරාධනා කරනවා නැවත ශ්‍රී ලාංකික වෙන්න කියලා. ඒ වගේම යළි හැමෝම එකට නැඟී ඉන්න නම් තර්කානුකූල චින්තනය වර්ධනය කරගන්න ඕනේ. මේක ලොකු ගමනක ආරම්භයක ඉඟියක්. අපිට එකතු වුණොත් ලොකු ගමනක් යන්න පුළුවන්.


නිර්මාණි බණ්ඩාරනායක

රැස පුවත්පත ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button