විශේෂාංග

එදා රණබිමේ වීරයින් අද දවසේ කියන කතාව

රුදුරු ත්‍රස්තවාදයෙන් මුළු රටම ඇලලී තිබුණු යුගයක පුපුරණ බෝම්බයක් බෝම්බයක් ගානේද, නැතිවෙන ජීවිතයක් ජීවිතයක් ගානේද අපි සාමයේ සුබ සිහින දුටුවෙමු. ජාතිය බේදයක් නොමැතිව, ආගම් බේදයක් නොමැතිව, පක්ෂ බේදයක් නොමැතිව, ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එක් වී කළ දැවැන්තම ප්‍රාර්ථනාව සාමය වූවේය. දකුණේ එම ප්‍රාර්ථනාවට පණ දෙන්නට, දිවි හිමියෙන් කැප වූ අපේ රණවිරුවන් ත්‍රස්තවාදීන් ඉදිරියේ, තම මාතෘ භූමිය බේරාගැනීමට, ලේ දහඩිය, කඳුළු සෙලූහ. අවසන 2009.05.18 වන දින වසර 30ක් පුරාවට පැවති එම යුද්ධයේ සියලු අඳුරු සෙවණැලි ඉවත් කරමින් සාමයේ නැවුම් අරුණළු මේ මිහිතලයට ළඟා කරදීමට ඔවුන්ට හැකිවිය. එයින් උදම් වූ ජාතිමාමකයින් හන්දියක්, හන්දියක් ගානේ අපේ රණවිරුවන්ගේ ගුණ වැයූහ. ඔවුන්ගේ ඡායාරූපයන්, කඩපිල්වලද, රථවාහනවලද, මුද්‍රණය වී ප්‍රදර්ශනය විය. දෙවියන්ද වීරයන්ද ඔවුන් පමණක්ම විය. ඒ මීට වසර 9කට එපිටදීය. අද දවසේ ඔවුන් ඉන්නේ කොහේද? කුමක් කරන්නේද? මාධ්‍යයක් ලෙස අපේ විමසිලිභාවයට පණ ආවේ පසුගිය සතියට යෙදී තිබූ රණවිරු උපහාර දිනයට සමගාමීවය. නමුත් එය සිතූ තරම්ම ලේසි වූයේ නැත. අවසන් සටනේදී ජනප්‍රියම රණවිරුවන් සිටියේ යුදහමුදා විශේෂ බලකායේය. ඔවුන් කිසිදිනක මාධ්‍යකට විවෘත නොවන නිසාම එය තවත් අසීරු විය. අපි එයින් හතර දෙනෙක් පිළිබඳ මතකය නැවත අලුත් කරගැනීමට මහන්සි ගත්තෙමු.

ලලිත් ජයසිංහ
සාජන් මේජර් සාගර රණසිංහ
ස්ටාෆ් සාජන් රංජිත් වීරවර්ධන
සාජන් අනිල් ශාන්ත

යුද්ධයේදී දැයට අහිමි වූ අභීත රණවිරුවා ලලිත් ජයසිංහගේ බිරිඳත්, සාගරත්, අනිල් ශාන්තත් හමුවූවත් රංජිත් වීරවර්ධනගේ තොරතුරක් සොයාගැනීමට අසීරු වූයේ ඔහු මේ වනවිට යුදහමුදාවෙන් විශ්‍රාම ගොස් ඇති නිසාවෙනි. නමුත් කෙසේ හෝ අපි ඔවුන් සොයා ගියෙමු.


සාජන් මේජර් සාගර රණසිංහ

1980 වසරේ ජූලි මස 08 වෙනිදා පේරාදෙණිය යටිනුවර සූරියගොඩ රෝහලේ ඒ.ජී.රණසිංහ පියාණන්ටත්, බේලිං චන්ද්‍රා නම් මාතාවටත් දාව උපත ලද සාගර උපන්ගෙයි දඟයෙකි. අඹතැන්න පුෂ්පදාන විදා්‍යලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ සාගර අධ්‍යාපනයට එතරම් දස්කම් නොදැක්වූවත්, පාසලේ බාහිර වැඩවලදී මුල්තැන ගත්තේය. බාලදක්ෂයෙක් ලෙසත් ක්‍රීඩකයෙක් ලෙසත් මුල්තැන ගත් සාගර, සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබුවේය. එයින් පසු තම එකම සිහිනය වූයේ යුද්ධ හමුදාවේ විශේෂ බලකායට එකතුවීමටය. එම සිහිනය මුදුන්පත් වනතුරු ඔහු මේසන් වැඩද, අත්වැඩද, තවත් විටෙක පෝසිලේන් කම්පැණි එකකද වැඩ කළේය. අවසානයේ තම වයස අවුරුදු 18 සපුරා දින පහක් ගිය තැන ඔහු යුද හමුදා විශේෂ බලකායට එකතු වූවේය. එයින් පසු යුද්ධයේ අතිශය බිහිසුණු අත්දැකීම්, ශාරීරිකවත්, අධ්‍යාත්මිකවත් විඳදරා ගනිමින් යුද්ධයේ අවසාන මොහොත දක්වා, සතුරා සමඟ මුහුණට මුහුණ සටන් වැදීමට ඔහු රණ ශූරයෙක් වූවේය. ඒ මීට වසර අටකට එපිටදීය. එදවස ඔවුන් වීර තාරකා විය. මෙතැන් පටන් දිග හැරෙන්නේ ඔහුගේ අද දවසේ කතාවයි.

යුද්ධය ඉවරවෙලා අවුරුදු අටක් ගෙවෙද්දී අද දවසෙ මොකද හිතෙන්නේ?

අකමැත්තෙන් වුණත් කියන්න ඕන දැන් ගොඩක් අයට අපිව අමතක වෙලා. නමුත් මම තවමත් ආඩම්බර වෙනවා මගේ මව්රටට මට සේවයක් කරන්න පුළුවන් වීම ගැන.

දැන් කොහේද ඉන්නෙ, මොකද කරන්නේ?

මම තවම යුද්ධ හමුදා විශේෂ බලකායේ සේවය කරනවා. මට විශ්‍රාම යන්න තව අවුරුදු තුනයි තියෙන්නේ. එතකන් මම මගේ සේවය යුද්ධ හමුදාවට ලබාදෙනවා. දැන් මම යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය කඳවුරේ, ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් විදියට සේවය කරනවා.

යුද්ධය නිමවුණ දවස්වල සාගරගේ ඡායාරූප රටේ සෑමතැනකම තිබුණා. ඒ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද?

ඔව්. ඇත්තටම මම හමුදාවට ආව කියල ගෙදර අයවත් දැනං හිටියෙ නෑ. මම ගෙදරින් ආවෙ සිකියුරිටි ජොබ් එකකට යනවා කියලා. මගේ බිරිඳ “නිලංජි” ඔය ෆොටෝ එක දැකල මට කතා කරලා කිව්වා ඔයාගේ ෆොටෝ එකක් පත්තරවල යනව කියලා. අම්ම, තාත්තත් දැනගත්තෙ ඒ ෆොටෝ එකෙන්. ඒත් මගේ බිරිඳ කවදාවත් මට ගෙදර එන්න කිව්වෙ නෑ. අම්ම තාත්තා වුණත් එහෙමයි. එයාල මම ගැන ආඩම්බර වුණා. විශේෂයෙන් මගේ බිරිඳට මම ස්තූතිවන්ත වෙනවා ඒ දවස්වල කරපු කැපකිරීමට.

ඔයත් එක්කම හිටපු අනිත් ඡායාරූපය, රංජිත් වීරවර්ධන දැන් මොකද කරන්නේ?

අවසන් සටනේ වීරෙයි, මමයි එකටමයි හිටියේ. වීරෙගෙ ගම රක්වානේ. වීරේ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගියා. ඉඳලා හිටලා මට කතා කරලා දුක සැප ඇහුවත්, අපිට මෑත දිනයකදී හමුවෙන්න බැරි වුණා….

ඔයාලා දරපු කැප කිරීමට, සමාජයෙන් ලැබුණු දේවල් ගැන සෑහීමකට පත්වෙනවද?

අපි කවරදාවත් ප්‍රතිඋපකාර බලාපොරොත්තුවෙන් නෙවෙයි වැඩ කළේ. නමුත් මට දැන් දරුවන් දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු අටයි. පුතාට අවුරුදු තුන හමාරයි. දුව ඉස්කෝල යන්නෙ මාතලේ විජය විද්‍යාලයට. පුතා තවම මොන්ටිසෝරි. ඒත් මම ආසාවෙන් ඉන්නවා පුතාව නුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරන්න. තවමත් අපි ජීවත්වෙන්න මහගෙදර, අපිටම කියල ගෙයක් හදාගන්න තවම බැරිවුණා.

එතකොට යාළුවා “වීරෙ”?

වීරේ මටත් වඩා දුප්පත්. මෑතකදී කතා කළේ නෑ.

ඒ දවස්වල ඔයා මියගිය කතාවක් පැතිරුණා නේද?

ඔව්. මියගියා විතරක් නෙවෙයි තව කටකතා ගොඩක් හැදුණා. ඒ දවස්වල මගේ ජනප්‍රිය වුණු ෆොටෝ එකක් මගේ මුහුණ අයින් කරල ජීවිතය නැති වුණ අයගේ මුහුණකට බට් කරල තිබුණා. ඒකයි එහෙම කතාවක් පැතිරුණේ. අවසානෙදි මමත් කිව්වා එයා නැතිවුණා, ඒ මගේ අයියා. අපි දෙන්නා නිවුන්නු. එයා යුද්ධයේදි මැරුණා. එයා බඳින්න හිටිය කෙනා තමයි මම විවාහ වුණේ කියලා.

SF එකේ අය එළියට ගියාම චණ්ඩි වෙනවා කියන්නෙ ඇත්තද?

කවදාවත් SF පුහුණුව ලබපු කෙනෙක් එහෙම වෙන්නෙ නෑ. මම මගේ ගමත් එක්ක බොහොම එකමුතුව වැඩ කරනවා. යුද හමුදාවෙන් ගිය දවසකටත් අපි අපේ ගෞරවය ආරක්ෂා කරගන්නවා. මම උදාහරණයක් කියන්නම්. දවසක් ටවුන් එකේ කට්ටියක් ගහගන්නවා. මම යුද හමුදාවෙ කියල කියද්දිත් එතන හිටිය කෙනෙක් මට කනට පාරක් ගැහුවා. මම ඊළඟ කනත් දෙන්න තරම් ඉවසිලිමත් වුණා. එහෙම නැත්නම් මට ඒ මනුස්සයා උස්සල පොලවෙ ගහන්න තිබුණා. නමුත් අපි එහෙම කරන්නෙ නෑ. මට කනේ පාරක් කියන්නෙ හරි පොඩි දෙයක්.

මොනවද අනාගත බලාපොරොත්තු?

තවම නෑ. මම ප්‍රගුණ කරල තියෙන්නෙ ශාරීරික අභ්‍යාස තවමත් මට හොඳට ෆිට්නස් තියෙනවා. මම ඒ දේවල් ප්‍රගුණ කරනවා. ගොඩක් අයට උපදේශන දෙනවා. කවදහරි විශ්‍රාම ගිය දවසකට මගේ ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.


සංජක ප්‍රසාද් දොලේවත්ත


ස්ටාෆ් සාජන් රංජිත් වීරවර්ධන

දශක තුනක යුද්ධය අවසන් වී හරියටම වසර 8කි. තමාගේ දිවියේ හොඳම කාලය හරියටම කියනවා නම් වසර 26ක් යුද හමුදා විශේෂ බලකායට ලබාදෙමින් යුද්ධය දිනා රටට සාමය ලබාදීමට උදාරතර සේවාවක් ඉටුකළ රණවිරුවකුගේ මතක සටහන් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. මේ අන් කවරෙකුවත් නොව එකල රට පුරා බැනර්, කටවුට් සැරසූ කළු පැහැති රෙදි කඩකින් හිස වසාගෙන ගෙල වටා පතොරොම් වැල් දරාගෙන සිටි, විටෙක තමා මියගිය බව ඔහුගේම සවන්වලින් අසන්නට පවා දෛවය ඉඩකඩ සලසා දුන් අපේ කාලයේ යුද වීරයාය. මේ මාණ්ඩලික සැරයන් රංජිත් වීරවර්ධනගේ අතීතාවර්ජනයයි.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

විශ්‍රාම නිවාඩු ලබාගෙන ඉන්නේ මේ දිනවල.

යුද හමුදා සේවයට එකතු වුණේ කොහොමද?

මම යුද හමුදා සේවයට එකතු වෙන්නේ 1982 මැයි 4 වෙනිදා ඉඳන්. දෙවන ගජබා රෙජිමේන්තුවේ වසර 10ක් සේවය කළා. ඉන්පසු 2000 සිට මේ වනතුරු විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කළා.

යුද්ධයේ අවසන් සටනට එකතු වුණාට පස්සේ දැනුණ හැඟීම් මොනවද? ඒ මතකය අලුත් කරමු මොහොතකට?

2006 දී අපි වාකරේ මුදවාගත්තා. ඉන්පසුව ගොඩාක් ජනප්‍රිය වුණා මම. ඉන්පසුව පුදුමාතලන් දක්වාම ක්‍රමානුකූලව අපි සටන් කළා. කිලිනොච්චි ඉඳන් ඉදිරියට යනවිට තරමක බයක් දැනුණා. වෙල්ලමුල්ලි වයික්කාල්වලට එද්දි ගොඩාක් ලොකු සතුටක් දැනුණෙ. ඉන්පසු ලොකු විශ්වාසයක් ඇතිවුණා අපිට දිනන්න පුළුවන් කියලා.

යුද්ධයේ අවසන් කාලය වෙද්දී පවුලේ සාමාජිකයන්, මිතුරන් සමඟ සම්බන්ධ වෙන්න හැකියාවක් ලැබුණද? කොහාමද ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය?

මාස එක හමාරක්, දෙකක් පමණ කතා කරන්න ලැබුණෙම නැහැ. ඒක ඇත්තටම ලොකු සහයෝගයක් වුණා මගේ රාජකාරී කටයුතුවලට. එහෙම නැතිවුණා නම් එයාලත් එක්ක කටයුතු කරන ගමන් හිත හදාගෙන මේ දේ කරන්න අපහසු වෙන්න තිබුණා. ඒ වගේම තමයි ඒ හැමෝගෙන්ම ලොකු ආශිර්වාදයක් ලැබුණා.

යුද්ධය අවසන්වීමට පෙර සිටම ඔබ ඇතුළු කිහිපදෙනෙකුගේ රූපයෙන් රටේ සෑම අස්සක් මුල්ලක්ම සැරසුණා. ඒවා දකිනකොට මොනවද සිතුණේ?

ඇත්තටම ගොඩාක් සතුටුයි. මම හිතුවෙත් නැහැ මෙහෙම තත්ත්වයක් උදාවෙයි කියලා.

මිතුරන්ගෙන් සහ අනිත් අයගෙන් ලැබුණ ප්‍රතිචාර කොයි වගේද?

හිතුවෙවත් නැති විදිහේ ප්‍රතිචාර ලැබුණා. දවසක් වව්නියාවේ ඉඳන් කොළඹ එද්දී එක අම්මා කෙනෙක් බස් එකේ ගහලා තිබුණු මගේ රූපයක් පෙන්නලා මගෙන් ඇහුවා මේ පුතා දැන් මැරිලා නේද කියලා. මගේ ඇස් දෙකට කඳුළු පිරුණා ඒ වෙලාවේ. ඊටපස්සේ මම ඇහුවා කවුද අම්මේ එහෙම කීවේ කියලා. හමුදාවේ පුතාලම තමයි කීවා. ඊටපස්සේ මම කීවා මැරිලා නැහැ අම්මේ ඒ ඉන්නේ මම කියලා. ඊටපස්සේ ඒ අම්මා මාව බදාගෙන ගොඩාක් වෙලා ඇඬුවා. ඒක නම් මට කවදාවත් අමතක වෙන්නැහැ.

හමුදා සේවයට සමුදීලා කොපමණ කාලයක් වෙනවද?

මේ මාසේ පළමුවැනිදා ඉඳලා විශ්‍රාම නිවාඩු ලබාගත්තා. නොවැම්බර් පළමු වැනිදා තමයි නීත්‍යානුකූලවම ඉවත් වෙන්නේ.

සමුගන්නා මොහොතේ මොන වගේ හැඟීමක්ද හිතට දැනුණේ?

එදා රෑ සමුගැනීමේ සාදයක් පැවැත්වුණා. මම මේ වනවිට මාණ්ඩලික සැරයන්වරයෙක්. අනෙකුත් සැරයන්වරුන් එක්ක තමයි එම සාදය පැවැත්වුණේ. ඉස්සර ඉඳන් එකට ඉඳපු ගොඩක් අය හිටියා. අඬලා අඬලා ගොඩක් දුකින් තමයි ආවේ. අපි ඔක්කොම එක ගෙදරක අය වගේ තමයි හිටියේ. තාමත් ඒ දුක දරාගන්න අමාරුයි.

යුද ජයග්‍රහණයට වසර 8ක් ගතවෙලා ඉවරයි. මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. අනිවාර්යෙන්ම ආයේ යුද්ධයක් නම් එන්නැහැ කියලා හොඳටම විශ්වාසයි. මම දෙපාරක්ම තුවාල වුණා. ඒ හැමදේම එක්ක යුද්ධෙ දිනපු සතුට දැනෙනවා.

ඉස්සර වගේ නෙමෙයි යුද ජයග්‍රහණයේ සැමරුම්, රණවිරු පිංකම් ආදිය ක්‍රමයෙන් අඩුවෙලා තියනවා. රටේ ජනතාව රණවිරුවා අමතක කරලාද?

ඔව් ඇත්තටම දැන් ඒ වාගේ ඒවා අඩුයි. ඒ ඇයි කියලා නම් දන්නැහැ. ඕක ඉතින් සාමාන්‍ය ස්වභාවයනේ.

ඔබේ සේවා කාලයේදී අමතක නොවන සිදුවීම් මොනවාද?

රණවික්‍රම සම්මානයෙන් දෙවරක්ම පිදුම් ලැබුවා. ඒක ඇත්තටම අමතක නොවන දෙයක්.


සචිත් යාපා


ලලිත් ජයසිංහ

යුධ හමුදා දිගු දුර විහිදුම් බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ නිර්භීත රණවිරුවා ඔඩ්ඩුසුඩාන් ඉදිරි ආරක්ෂක වළල්ලේ විශේෂ රහසිගත මෙහෙයුමක නිරත වී සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත්තා. යුද්ධය නිමාවී වසර 8ක් සපිරෙන මෙවැනි මොහොතක සිහිපත් කළ යුතුම නිර්භීත රණවිරුවෙක් වන ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ පිළිබඳ මතකය අවදි කරන්නට ඔහුගේ බිරිඳ කෞෂල්‍යා ජයසිංහ සමඟ කතාබහක යෙදුණා. මේ යුද්ධයෙන් සැමියා අහිමි වුණ කඳුළුත් එක්ක හැංඟුණ ආඩම්බරකාර බිරිඳකගේ කතාවක්.

කොහොමද මේ ආදර කතාව පටන්ගත්තේ?

මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මම ලලිත්ව මුලින්ම අඳුරගන්නේ. කතා කරපු මුල් දවසෙම බොහොම සුහදව කාලයක් දන්න හඳුනන කෙනෙක් විදිහට එයා කතා කළේ. අවුරුදු දෙකක ආදර සබඳතාවයකින් පස්සේ අපි 2008 දී විවාහ වුණා.

යුධ ක්‍රියාන්විත කාල වකවානුවෙදී ඔහුත් සමඟ ජීවිතය ගෙවුණේ කොහොමද?

කොයිතරම් බැරෑරුම් වැඩවල හිටියත් ලොකු භාරදූර කාර්යයක් කරනවා කියලා එයා මට දැනෙන්න දුන්නේ නෑ. ආරක්ෂාව, ආදරයත් එක්ක මාත් එක්කම හිටියා. ඒ වුණාට ලලිත් සති ගණන්, දවස් ගණන් මෙහෙයුම්වලට යද්දී ක්‍රියාන්විතයේ ඉන්නකොට කතා කරගන්න විදිහක් නැතුව මම හරි අමාරුවෙන්, බයෙන් ඒ කාලෙ ගෙවාගත්තේ. මට දැන් ආයිමත් හැරිලා බලද්දී හිතාගන්න බැහැ ඒ කාලේ කොහොම ගෙවාගත්තාද කියලා. මේ වෙද්දි ලලිත් නැතිවෙලා අවුරුදු 8ක් වෙනවා. ඒත් මට ඔහුත් එක්ක ජීවත් වුණ මතකය ඇති ජීවත් වෙන්න.

ලලිත් ජයසිංහ කියන්නේ කොහොම කෙනෙක්ද?

හරිම විනෝදෙන් ජීවිතය ගත කරන්න කැමති ආදරණීය චරිතයක්. ලලිත් වැඩිපුර හම්බු කළේ සල්ලි නෙමෙයි මිනිස්සු.

එයත් එක්ක ගත කරපු ජීවිත කාලේ අමතක නොවුණ සුන්දර දවස මතකද?

අමතක නොවුණ සුන්දරම දවස තමයි මම දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා එයාට කියපු දවස. එදා තරම් සතුටක් මම ලලිත්ගෙන් කවදාවත් දැකලා නැහැ. යාළුවෝ ගොඩක් එක්ක ලොකු නචපබර එකක් දාලා ඒ සතුට අපි සැමරුවා.

ලලිත් එක්ක ක්‍රියාන්විතයේදී අදහස් හුවමාරු කරගත්තේ කොහොමද?

Camp එකේ ඉද්ඳි නිතරම දුකරථන ඇමතුම්වලින් අපි කතා කළා. මොකක් හරි operation එකකට යද්දි කියනවා “අපි යනවා. සතියකින් එන්නේ. Signal නැති area එකකට යන්නේ. Call කරන්න එපා. පණිවිඩයක් තියනවා නම් camp එකට කියලා තියන්න” කියලා.

ඔහු මියයන්න කලින් අවසන් වතාවට කතා කළ මොහොත මතකද?

නිවාඩුවට ඇවිත් මාව ඩොක්ටර්ට පෙන්නලා එයා ඒ ගමන්ම camp එකට ගියා. ඔය අතරේදී operation එකකින් ගොඩක් අය නැතිවුණ විස්තරයකුත් එයා මට කිව්වා.

ජීවිතේටම ලියුමක් ලියපු නැති කෙනෙක් වුණ ලලිත් අපි හැමදාම නඩධදඥ එකෙන් කතා කරන නිසා ලියුමක් එවන්නම් කිව්වා. ලියුම ලියන වෙලෙත් ඔන්න මම ඔයාට ලියුමක් ලියනවා කිය කිය හිනාවෙවී හිටියා. camp එක ඉස්සරහ ගහේ ගොඩක් අඹ හැදිලා තියනවා කියලා මට ලියුමත් එක්ක අඹ පාර්සලයක් එවන්නම් කිව්වා. 2008 නොවැම්බර් 10 වෙනිදා රෑ SF එකේ පූනරින් camp එකක් හදන්න යනවා, ඒක බලන්න යනවා කියලා කිව්වා. එතකොට මගේ හිතට වෙනසක් දැනුණත් එහෙම යනවා කිව්වම වැඩිවිස්තර අහන්න එපා කියලා කියපු නිසා මම වැඩි විස්තර ඇහුවෙ නෑ. 18 උදේ වව්නියාවේ camp එකේ ඉඳන් මහාකඩ්චිකුඩි camp එකට යනවා කිව්වා. යන අතරමඟදිත් call කර කර මට සෑහෙන්න සිංදුත් කිය කියා ගියේ.

ඒ ලියුමයි අඹ පාර්සලෙයි ලැබුණාද?

ඔව්. මගේ office එක ළඟට එයාගේ ළමයෙක් ඇවිත් හිටියා ලියුමයි අඹ පාර්සලෙයි අරගෙන. එයා නිවාඩුවට එන්න හිටියේ 26 බදාදා. එයා එනකං මම ලියුම බල බල දවස් ගණන් දින ගැන ගැන හිටියේ. 27 වෙනිදා තමයි අපිට ඒ අවාසනාවන්ත ආරංචිය ආවේ.

ඔබේ සැමියා දිවි පුදපු ක්‍රියාන්විතය අවසානයේ ජයග්‍රහණය කළා කියලා ආරංචි වුණ වෙලාවේ දැනුණ හැඟීම කොහොමද?

හරිම සතුටක් දැනුණා. මේ සතුට විඳගන්න, දකින්න අපිට වඩා එයා ඉන්න තිබුණෙ! කියන දේ හැම තත්පරේකම හිතුණා. ජයග්‍රහණයේ නියමම අයිතිකාරයෝ අපි නෙමෙයි එයාලා.

දරුවට තාත්තා නැතිවුණ, ඔබට සැමියා අහිමි වුණ යුද්ධයට දිවිපිදූ සැමියෙක්ගේ බිරිඳක් වීම ආඩම්බරයක්ද? දුකක්ද?

ලොකු ආඩම්බරයක්. ඒත් මොන දේ තිබුණත් ඒ පාඩුව මකන්න කිසිම දේකට බැහැ. අපේ දුක අපිට විතරයි.

ඒ වෙනුවෙන් රජය විසින් යුතුකම් ඉෂ්ට කරනවාද?

ඔව්. එයාගේ ධූර කාලය අවසන් වෙනකන් රජය විසින් අපිට එයාගේ නිලරථය දීලා තියනවා. ඒක ලොකු සහනයක්. ඒ පහසුකම නොතිබුණා නම් අපේ ජීවිතය මීට වඩා කටුක වෙන්න තිබුණා. ඒ වගේම ලලිත්ගේ විශ්‍රාම වැටුපත් ලැබෙනවා. මගේ තරුණ ජීවිතයෙන්ම සැමියා නැතිවුණා. මගේ දරුවට ඉපදුණු දවසේ ඉඳන්ම තාත්තා නැහැ. මොන දේවල් තිබුණත් ඒ හිස්තැන පුරවන්න බැහැ.

දැන් යුද්ධය අවසන් වෙලා වසර 10ක් වෙනවා. යුද විරුවෙක්ට මේ මොහොතේදී සමාජයෙන් ලැබෙන තැන ගැන මොකද හිතෙන්නේ?

දැන් මේ වෙද්දි යුද විරුවන්ව සමහර අයට අමතක වෙමින් පවතිනවා. ඒත් බහුතරයකට මතකයි. ජනමාධ්‍යවල වගේම සමාජ මාධ්‍යවල නිතරම ඔවුන් සිහිපත් කරනවා. මම ඉල්ලා සිටිනවා මේ අයගේ ගෞරවය නැතිවෙන්න දෙන්න එපා කියලා.

යුද විරුවෙක්ගේ බිරිඳකට සමාජයෙන් ලැබිය යුතු තැන ලැබෙනවාද?

මම ඉන්න වටපිටාව අනුව පෞද්ගලිකව මට ඒ තැන ලැබෙනවා. ඒත් මං වගේ තව විශාල පිරිසක් ඉන්නවා තමන්ගේ පවුලේ අයගෙන් පවා ලොකු ප්‍රශ්නවලට, පීඩාවලට පත්වෙන. සැමියා නැතිවුණ බිරිඳක් දිහා වැරදි ඇහැකින් බලන වෙනම පිරිසක් ඉන්නවා. මරණයේ වේදනාව තියෙන්නේ මැරුණ කෙනාට නෙමෙයි ජීවත් වෙලා ඉන්න අපිට. ඒ නිසා ඒ වේදනාව දරාගත්ත ඒ බිරින්දෑවරුන්ට දරුවන්ට ඒ ගෞරවය අනිවාර්යෙන්ම සමාජය ලබාදෙන්න ඕනේ.

ලේ, කඳුළු, දාඩිය, ජීවිතය පුදලා බේරගත්ත රටේ පුරවැසියන්ට යුද විරුවෙක්ගෙ බිරිඳක් හැටියට ඔබට කියන්න තියෙන්නේ මොකක්ද?

මේ හැමදේම කැප කළේ මේ රට වෙනුවෙන්. ආයිමත් ඒ වගේ යුද්ධයක් මොනම හේතුවකටවත් මේ රටේ ඇති නොවිය යුතු තැනට වගබලාගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. යුද්ධයෙන් නැතිවුණ අය වගේම ආබාධිත රණවිරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ඉන්නේ මානසිකව වැටිලා, තනිවෙලා. ජීවිතය විඳවනවා. මේ පිරිස ගැනත් විශේෂ අවධානය යොමු කළ යුතුමයි. ඒ වගේම මේ යුද්ධයෙන් අහිමි වුණ ජීවිත ජීවත් වෙලා හිටියා නම් ඔවුන් රටේ සංවර්ධනයට ඉටු කරන මෙහෙවර ඉදිරියට රැගෙනයාම රටේ පුරවැසියන්ගේ යුතුකමක්, වගකීමක්. මගේ සැමියා වගේම යුද්ධයේදී ජීවිතය පුදදුන් ඒ හැම විරුවෙකුගේම සිහිනය වුණු ඒ දේ ඉටු කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා කියලා කියන්න කැමතියි.


නිර්මාණි බණ්ඩාරනායක


සාජන් අනිල් ශාන්ත

“කොහෙන් පටන්ගන්නද? ඒකේ අවසානය ඒතරම්ම දරුණුයි. මල්ලි තුවක්කුව ගත්තු අත් දෙකට උදැල්ලක් අරගන්න ආසයි. ඒත් ඉතින් අපිට කොහෙද ගොවිතැන් කරන්න ඉඩමක්.” මේ වචන ටික මගේ කණට වැටෙන වෙලාවේ අහස වැස්ස වලාහක දෙවියෝ අත්පත් කරගන්න වෙරදරන වෙලාව. නිදහසේ තිබුණු නිල්පාට අහස මහ හෙන ගෙඩි පුපුර පුපුර වැසි වස්සවන්න මොර සූරන යුද්ධය පටන්ගන්න අරඅඳින වෙලාව. මහ වැස්සේ හෙණ හඬ අපට හුරු වුණාට ඒ සද්දෙටත් ගැස්සෙන මිනිස්සු අපි. ඒත් උඹලා මීට අවුරුදු අටකට කලින් මහ වරුසාවේ රටක් වෙනුවෙන් යුදබිමේ අවි ගත්ත මිනිස්සු. අපේ කතානායකයා අනිල්. ඔහු අද දෙදරු පියෙක්. බිරිඳ, මව, දරු දෙදෙනෙක් සහ සහෝදරිය සමඟ කුරුණෑගල නාගොල්ලාගොඩ දිවිගෙවමින් සිටී. තාමත් අනිල් ශාන්ත යුද හමුදා විශේෂ බලකායේ මාතලේ නාඋල කඳවුරේ රාජකාරියේය. කතාව පටන්ගන්නේ මෙතැනිනි.

හෙන පුපුරණ සද්දෙට වඩා සියදහස් ගුණයක සද්දෙට පුපුරද්දි කාලතුවක්කු වෙඩි වරුසාවට පපුව දීගෙන ගස්ගල්, මඩගොහොරු, කැළෑ කඳුවල, රටක් බේරගන්න යම යුද්දෙක පැටළුණු උඹලා අපට දෙවිවරුය. අද බස් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බ නැත.

මම කසාද බැන්ඳෙ යුද්දෙ ඉවර වුණාට පස්සෙ මල්ලි. යුද්දෙ තිබුණු දවස්වල කසාද බඳින්න ඕන, දරුවො හදන්න ඕන කියන සිතුවිල්ලක් අපට තිබුණෙ නෑ. අපේ රට මේ නරුම ත්‍රස්තවාදයෙන් බේරගන්න ඕන කියලා විතරයි කල්පනා කළේ.

මට මතකයි යුද්දෙ ඉවර කරල මම මුලින්ම ගමේ ආපු දවස. එනකොට ගමේ තොරණ් ගහල කිරිබත් කාලා මිනිස්සු මොකද්දෝ මහ සැනසීමක් සැමරුවා. අපි හරියට මහා වීරයෝ වුණා. පුදුම ආදරයක් ඒ හිත්වල තියනව කියල දැනුණා. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තුවක්කු පත්තු කළේ රට වෙනුවෙන්. ඒත් අපිත් සංවේදී මිනිස්සු. අපේ ගම්මාන මහ ලොකු සම්පත් තියන දියුණු පළාත් නෙමෙයි. ඔක්කොම ඉන්නෙ දුක් විඳින මිනිස්සු. ඒ මිනිස්සු යුද්දෙ ඉවර කරන්න ජීවිතේ දුන්නු මිනිස්සුන්ට හරි ආදරෙන් හිටියා.

ඒත් දැන් ඒ ආදරය එක පාරටම නැතිවෙලා වගේ දැනෙනව. ඒ ආදරේ අපිට මාර මොරාල් එකක් මල්ලි.

විශේෂ බලකායේ අපි මෙහෙයුමකට යන්නෙ මරාගෙන මැරිල හරි ටාගට් එක සම්පූර්ණ කරන්න. ගෙවල්වල ඉන්න අම්ම තාත්ත, බිරිඳ, දරුවො, නෑදෑයෝ හැමෝම අපේ පපුවෙ රිදෙන තැන්වල තියාගෙන, හැබැයි එළියට එන්න නොදී එයාල වගේම රටම වෙනුවෙන් තමයි ටාගට් ගත්තේ.

මම බැහැපු ලොකුම ඔප් එක තමයි යාපනය කාලතුවක්කු ප්‍රධානියව ටාගට් කරල මඩුවල ඉඳන් යාපනේ පැත්තට ටෙරාගේ ඒරියා එකේ කිලෝමීටර් හතළිහක් ඇතුළට ගිහින් කරපු සටන. අපි ටෙරා වැඩිපුරම භාවිත කරන මාර්ග 27ක් පහුකරගෙන තමයි ටාගට් එකට ගියේ. ටාගට් එක අරගෙන අපට ආයෙත් එන්න පාර කේ‍රාස් කරන්න බැරිවුණා. අපේ 8 දෙනොගේ කණ්ඩායමක්, එක්කෙනෙක් තුවාල වෙලා හිටියේ. ටෙරාට ඉව වැටිලා අපිව වට කරා. ඒ වෙලාවේ අන්තිමට දවස් තුනක් අපි කැලේ ඉඳලා මරාගෙන මැරෙන්න වුණත් සූදානම් පිට ටීම් එකම එකා වගේ පාර කේ‍රාස් කරන්න තීරණය කරල මඩුවලට එන්න කේ‍රාස් කරන්න ඕන අන්තිම පාර පැන්නා. අපිට ඒ ඝට තිබුණා. අදටත් තියෙනව. හෙටත් ඒ විදියටම තියෙනව. මේ රටට මාව ඕන කරන ඕනම මොහොතක මම ඒ සඳහා සූදානම්. ඒත් යුද්ධයක් ආයේ කවදාවත් ඕන නැහැ. යුද්ධයක් කවදාවත් අපිට විතරක් නෙවෙයි කිසිම රටක් ඉස්සරහට ගෙනියන්නේ නැහැ. යුද්ධ ගැන කතා කරන ගොඩක් අය ඒ අත්දැකීම විඳපු අය නෙමෙයි. අපි අන්තිම මොහොත වෙනකම්ම වෙඩි උණ්ඩයට පපුව දීගෙන හිටිය මිනිස්සු. ජීවිත කියන්නෙ කාගෙ වුණත් ජීවිත අපේ මේ රටේ ආයෙ කාලෙකට යුද්ධයක් ඇතිවෙන්න නැහැ. ඒක කවදාවත් ඕනත් නැහැ…. හැබැයි අපි හිටිය තත්ත්වය අමතක කරන්න හොඳ නැහැ.

විශේෂ බලකායේ හිටපු සමහරු ඒකේ නම කැත කරමින් රටේ නීතිවිරෝධී වැඩ කරන්න පෙළඹිලා. SF නම කියල ඒකේ ගෞරවය වැරදි වැඩවලට පාවිච්චි කරලා. ඒත් SF කියන්නේ රටේ විනය සීයට දාහක් තියන හමුදාව ඒකට අගෞරව කරන්න එපා.

මට මගේ ජීවිතේට තත්ත්වයක් උවමනා කරල තිබුණා. අවුරුදු 21න් ගෙදරටත් හොරා මං SF එකට ආවෙ ඒකයි. එතන මගේ ජීවිතේ පරිපූර්ණ වුණ තැන. මේ විදියට මං වගේම දාස් ගණන් ජිවිත දීලා තමයි මේ රට ඒ මහ වේදනාවෙන් බේරගත්තේ. ඒත් අද එහෙම වේදනාවක් තිබුණද කියලා මිනිස්සුන්ට මතක නැහැ.

අපි අහල තිබුණා ප්‍රභාකරන් එයාලගෙ අයට කියනව කියල “සිංහල මිනිස්සු ඕනම දෙයක් සතියෙන් අමතක කරන ජාතියක්. ඒත් උන්ට කොහෙදි දැක්කත් ගහල දාපල්ලා” කියලා. අපි අමතක කරන්න ඕන දේවල් තිබෙනවා. ඒත් රටක් වේදනාවකින් නිවිච්ච දවසක් එහෙම අමතක කරන්න එපා කියලා මං ඉල්ලන්නේ.

අද මට පුංචි පැටව් දෙන්නෙක් ඉන්නවා. මං බැන්ඳෙ යුද්ධෙ ඉවර වුණාට පස්සේ. මගේ ළඟ ඉඳලා මගේ යාළුවො කීදෙනෙක් මැරුණද? යුද්ධයක් නොතිබුණා නම් උනුත් අද ලස්සනට ජීවත් වෙනවා. ඒක නිසා ඒ ජීවිත ගැන අමතක කරල දාන්න එපා. අපිට තිබුණෙ එහෙම අතීතයක්. ඒ අතීතයේ වේදනාව අපි අමතක කරලා ආයෙත් අපි නැගිටින්න ඕන කියල අඩුම තරමේ ජාතික වශයෙන් පිං අනුමෝදනාවක් කරල හරි මේ දවස සිහි කරන්න. ඒ ජීවිතවලට ආදරේ කරන්න.

අනිල් ශාන්ත ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ රට වෙනුවෙන් ජීවිතේ දෙන්න මහා යුද්දෙක පෙරමුණේ සිටි සෙබලා අද රටේ ජනතාවගෙන් ඉල්ලුවේ එහෙම දෙයක්. ඉතිරි සිතුවිලි, හැඟීම්, තීරණ ඔබට භාර කරලා මම අනිල් ශාන්තගේ අද කතාව මෙතනින් නතර කරනවා. ඒත් ඒ කතාවේ නියම අවසානය මේක නෙවෙයි කියලා ඔබත් මමත් හොඳින්ම දන්නවා. නියම අවසානය හොඳින් අවසන් කරන්න ඔබට භාරයි.


කසුන් ගනේවත්ත

Tags

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close