පුරවැසි කොළම

මිත්‍රවරුනි; දේශපාලකයින් සහ නුඹලා අතර කිසිදු වෙනසක් නැත

පසුගිය සති කිහිපය පුරා “අසවල් ව්‍යාපාරය වර්ජනය කරන්න; මේ ලැයිස්තුවට ඔබ දන්නා තැන් ඇතුළත් කරන්නැයි” ෆේස්බුක් එක පුරා බැඟිරි තලමින් සිටි බුකි ප්‍රබුද්ධයෝද; බියුටි විත් ද බීස්ට් ලා ද; ඇටෙන් පොත්තෙන් එළියට එන්නට මත්තෙන් සෝෂල් මීඩියා කට ගෑ සුකිරි බටිල්ලන්ද වූහ. ඔවුහු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් හට පාඩම් උගන්වන්නට සිතා අනලස්ව භේදයේ බීජ වැපිරූහ.

අනතුරුව මිනුවන්ගොඩ ඇතුළු නගර ගණනාවක මුස්ලිම් ව්‍යාපාර සහ නිවාස කුඩු පට්ටම් විය. ගිනිබත් විය. මේ ප්‍රහාරයට ලක් වූ මුස්ලිම් ජාතිකයින් ත්‍රස්තවාදීන්දැයි දන්නේ ප්‍රහාර එල්ල කළ දේශප්‍රේමීන් සහ ඒවාට අනුබල දුන් දේශප්‍රේමීන් පමණ ය.

අද වන විට පෙර කී උසිගන්වන්නන්ගේ ෆේස්බුක් වෝල් ගුලාබ් ජමූන් මෙන් ඉමිහිරි පැණියේ ගිල්වා ඇත. ඒ වෝල් පුරා බාර්ලි ඉති තුඩින් රැගෙන පියාඹන සාමයේ පරවියන් පවා වසුරු වෙනුවට මී පැණි තැවරූ විළඳ හෙළති. “මෙය දේශපාලන සැලසුමකි – නොරැවටෙන් මා මිතුරේ, දේශපාලකයින් විසින් මෙහයවූ ප්‍රහාර පිටු දකිමු” වැනි සිත නිවන කතා ඉදිරියේ දයාරත්න රටගෙදර ද පරාද ය.

මිත්‍රවරුනි ;
දේශපාලකයින් සහ නුඹලා අතර කිසිදු වෙනසක් නැත. කිසිදු දේශපාලකයෙක් අසවලාට පහර දෙන්නැයි එළි පිට ප්‍රකාශ නොකළ අතර ඒ සඳහා අවශ්‍ය පරිසරය සහ වටපිටාව ක්‍රියාත්මක කර දුන්නා පමණය.

සියලු ජාතීන් වෙසෙන රටක ; නානාවිධ ජාතීන් සේවය කරන කාර්යාලයක පරිගණකයෙන් ; ජංගම දුරකථනයෙන් ෆේස්බුක් පිවිස ඔබගේ අසල්වැසි මිතුරාගේ ජාතිය වර්ජනය කරන්නැයි ඉල්ලා සිටින ; ලැයිස්තු සදමින් ඒවා යාවත්කාලීන කරන්නැයි ඉල්ලා සිටි ඔබ සහ දේශපාලකයින් අතර කිසිදු වෙනසක් නැත. මැදපෙරදිග රටක සේවය කරන අතරතුර ෆේස්බුක් පැමිණ ලංකාවේ මුස්ලිම් වෙළඳ ආයතන වර්ජනය කරන්නැයි ඉල්ලා මිනිසුන් කුපිත කරවන විහිළුකාරයින්ගේ තක්කඩිකම සහ පහරදීම් පිටුපස සිටින දේශපාලකයින් ගේ තක්කඩිකම අතර වෙනසක් නැත.

මිත්‍රවරුනි ;
දේශපාලකයා යනු පක්ෂ භේදයකින් තොරව ජාතිවාදියෙක් බවත් ජාතිවාදී ප්‍රහාර වලට අනුබල දෙන්නෙක් බවත් අප දන්නේ අද ඊයේක සිට නොවේය. විශේෂයෙන්ම මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයට ඇති කුප්‍රකට ඉතිහාසය සහ පළපුරුද්ද ද අප දනිමු. අසූ තුනේ නුවරඑළිය ප්‍රහාරය පසු පස සිටි ගාමිණී දිසානායක; කළු ජූලිය පසුපස සිටි ජේ.ආර් ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ; යාපනය පුස්තකාලය ගිනිතැබීම පසුපස සිටි සිරිල් මැතිව්ගෙන් නොනැවතී ඒ සිරිත අද දක්වා ම විකාශය වේ.

නමුත් ; ඉතිහාසය පුරා ම වේදිකාව පසුපස සිට රට ගිනි තබන්නට අනුබල දී , සිද්ධියෙන් පසුව මහත්මා ගාන්ධි ; නෙල්සන් මැන්ඩෙලා අභිබවා ගිය අවිහිංසවාදී බවක් ප්‍රකට කළේ තක්කඩි දේශපාලකයින් පමණම ය. අද වන විට දේශපාලකයින් ට තරගයක් වන මට්ටමට මුහුණු පොතේ දේශප්‍රේමීන්ගේ දෙබිඩි බව ඉහවහා ගොසිනි. සයිබරයෙන් ජාතිවාදය වපුරා ; භේදවන්නට ලැයිස්තු හදා ; ඒවා බෙදාගනිමින්; යෝජනා ගෙනෙමින් සිටි දේශප්‍රේමීන් “අප වර්ජනයට මිස පහරදීමට අනුබල නොදුම්හ’යි කිඹුල් කඳුළු හෙළති.

මිත්‍රවරුනි ;
නුඹලාට වඩා කේ.එම්.පී රාජරත්න නම් නරුම දේශපාලකයා දහසකින් එකක් අගනේ ය. ඔහු අඩුම තරමින් 1958 රාජ්‍ය භාෂා අර්බුදයේ දී “අන්තිම දෙමළාගේ සමෙන් මැසු සපත්තුවක් පය ලන තුරු නින්ද යන්නේ නැතැ”යි යන තිරස්චීන ප්‍රකාශය එළිපිට ම කියන්නට තරම් අවංක විය. එහෙත් නුඹලාට තමන්ට අවශ්‍ය කුමක්දැයි සෘජුව පැවසීමටවත් පිට කොන්දක් නැත. මෙතරම් ව්‍යවසනයකට පසුබිම සකසා වර්ජනය කරන්නට විනා පහරදෙන්නට නොකිවූ බවට විලාප නැගීම සහ මස් නොකා මස් හොදි පමණක් කෑම අතර වෙනසක් නැත.

1987 සැප්තැම්බර් 12 වැනි දා යාපනයේ නල්ලූර් කෝවිල අසල දෙමළ ජාතික විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක් ඇරඹූ රාසයියා පාතීපන් හෙවත් තිලීපන් අවසාන මොහොතේ මෙසේ පැවසීය.

“ඉඩ දෙන්න ! දෙමළ ජනතාවට අරගලය පුපුරවා හරින්න”

ඉදින් අප සියලු දෙනාම තිස් වසරක් තිස්සේ ඒ පිපිරීම් වලින් බැට කෑවෙමු. තව දුරටත් මේ කොදෙව්වේම දිවි ගෙවා පොළොවට පස් වන්නට ලැදි නිසාවෙන් ද ; සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් ආයුෂ නොමැති බව දන්නා නිසාවෙන් ද ; ජාතිය ; ආගම ; භාෂාව වැනි කාරණා මේ සමාජ ක්‍රමය විසින් උපතේදී උරුම කරන දෑ විනා තෝරාගැනීම් නොවන බව වටහාගත් නිසාවෙන් ද අපි මෙසේ පවසමු.

“ඉඩ දෙන්න ! සියලු ජනතාවට මනුෂ්‍යත්වය පුපුරවා හරින්න”


සහන් කසීර වික්‍රමසිංහ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button