පුරවැසි කොළම

මේ අපි එළවළු ගන්න කඩේ….

වැරදි කරපු එවුන් පැත්තක.... ඇයි මේ අහිංසක මිනිස්සුන්ගෙන් පලි ගන්නේ ?

පව් ඔය මනුස්සයා ඕක දැම්මේ හරි පුංචියට…. අපි ඉස්කෝලේ යන දවස් වල ඉඳන් ඕක තිබුණා. ඒ දවස් වල ඕක හෙණ පුංචියි…. පුංචි එළවලු මිටි දෙක තුනකින් පටන් ගත්තු කඩයක් ඕක…. කාලයත් එක්ක ඒ මනුස්සයා බිස්නස් එක දියුණු කරගත්තා. මේ ඒ මනුස්සයාගේ හොඳම කාලේ…. බිස්නස් එහෙකට මහන්සි වෙලා ලාබයක් එන්න සෑහෙන කාලයක් ගත වෙනව. මුල ඉඳන්ම පටන් ගත්තු මිනිහෙකුට සෑහෙන වේදනා විඳින්නත් වෙනව.

ඔය ගමට ගැහුවේ පිට මිනිස්සු…. අපේ ගම් වල එකෙක් දෙන්නෙක් කොල්ලෝ ජාතිවාදී අදහස් එක්ක හිටියට, උන් කවදාවත්ම පොල්ලක් අරගෙන ටවුන් එකට ගහන්න යන්නේ නෑ. මෝඩකමට, නොදන්නාකමට කියෙව්වට උන් එහෙම නෑ.

එහෙම ගහන්න යන්නනම්, උන්ට අල්ලපු මුස්ලිම් ගම් දෙක තුනක්වත් පාස් කරන්න වෙනව. ඒ ගම් එක්ක ප්‍රශ්න ඇති කරගෙනත් නෑ…. අපේ ගම් වල වැඩිහිටියෝ, ඔය මිනිස්සුන්ට ගහලා දේපල විනාශ කරන්න ඕනේ කියන තැනට පත් වෙලාත් නෑ….

ගමේ ඉන්න කාලේ, මගේ වයසත් එක්ක ආපු ජාතිවාදි අදහස් කපලා කොටලා දැම්මේ ඒ වැඩිහිටියෝම තමයි. ඒ මිනිස්සු ගමේ මිනිස්සු උනාට පුදුම දැනුමක් තියෙනව. එයාලා අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තියෙනව. ඒ පාඩම් අපිට කියා දෙනව.

අපේ පන්සල් වල හාමුදුරුවොත්, කවදාවත්ම ලේ හලන්න උසි ගන්වන්නේ නෑ. ඔවුන් දේශපාලනය කරන්නේ නෑ. ඔවුන් ගමේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය පුරවමින්, ඔවුන්ගේ සැනසීම වෙනුවෙන් වැඩ කරනව. ගමේ අඩුපාඩු සපුරනව. ගමේ මිනිස්සුන්ට ලැබෙන්න ඕනේ දේවල් වෙනුවෙන් පෙළ ගැහෙනව.

උදාහරණයක් විදියට අපේ පන්සලේ හාමුදුරුවෝ, ගමේ පාරට තාර අතුරවන්න වෙහෙසුණා…. ඊට පෙර ගමේ සණස සමාගම වෙනුවෙන් වෙහෙසුණා. ගමට තැපැල් කන්තෝරුවක් හදන්න වෙහෙස මහන්සි වුණා. හැම තරුණයෙක්ම ඒ දේවල් වලට යොමු කරගත්තා.. විභාග ඉවර වෙලා ගෙවල් වලට වෙලා ආතක් පාතක් නැතිව ඉන්න එක ගමේ දරුවන්ගේ පුරුද්දක්…. ඊට හේතුව සරල ජීවන රටාව, අවශ්‍යතා පටු වීම, උවමනාවන් සීමිත වීම, ජීවත්වීමේ පහසුව වගේ දේවල් හින්දා විභාගයෙන් පස්සේ මොනවද කරන්නේ කියන දැනීම අපිට නෑ.

ඒ කාලය හරි සංක්‍රාන්තිකයි.. ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙනව. එක එක ලෙඩ හැදෙනව. පිස්සු බල්ලෝ වගේ හැසිරෙනව.

ඔය වගේ ලෙඩ වලින් අපිව ගලවා ගත්තේ ගමේ හාමුදුරුවෝ තමයි. අපිව නිසි ලෙස කළමනාකරණය කළා. අපිට නියමිත කාලයේ අපේ පාත් එක තෝරා ගන්නකන් අපේ දැනුමින් පොදු යහපත වෙනුවෙන් වැඩ ගත්තා. ගමේ පන්සල මාව පාවිච්චි කරපු විදියත් එක්ක මට ඒ අත්දැකීම තියෙනව.

ඉතිං අපිව කැරලි කෝලාහල වලට ඈදා ගන්න කෙනෙක් හිටියේ නෑ. ඒත් තෙල මෝරන යුගයක, මම පවා ඒවාට ඇදි ගිය කාලයේ ඒවාගෙන් ගලවා ගන්නේ ගමත්, පන්සලත් මා වටා පිරිසත් එකතු වෙලයි.

මේක ලෙඩක් !
ඒ ලෙඩේ හැදිල හොඳ කරගත්තු මිනිහෙක් විදියට මම ඒ ලෙඩේ බරපතලකම දන්නව.

මෙහෙම අහිංසක මිනිස්සුන්ට පිටස්තරයින් ගහලා යන එක උහුලන්න බැරි වේදනාවක්…. අපි කවදාවත්ම එහෙම නෑ. අපිට මේ මිනිස්සුන්ට ගහන්න හේතු නෑ. අපේ ගම් වල මිනිස්සු නීතියට ලැදියි. ඒ මිනිස්සුන්ට පොලීසිය උසාවිය කියන්නේ දේවත්වයෙන් සලකන වස්තු වගේ…. තමන්ගේ දරුවා උනත් වැරද්දක් කලොත් පාවා දෙන තරමට ඒ මිනිස්සු ඒවාට ලැදියි. බයයි…. අපේ ගම් වල ඇතැම් මිනිස්සු පොලීසියට ගොඩ නොවෙනවා කියන ප්‍රතිපත්ති ඇතුළේ ජීවත් වෙන අවස්ථා තියෙනව. එහෙව් ජන සමාජයක් නියෝජනය කරන වටපිටාවකයි ඊයේ මේ ගින්න ඇවිලිලා තිබුණේ….

ඊයේ මට අම්මා කෝල් කරනව. අම්මා මට කියනව, “උඹ ගෙදර එන්න එපා” කියලා. මම අහනව “ඇයි” කියලා. “උඹ මේවාට මැදි වෙනවට මම කැමැති නෑ” කියලා අම්මා කියනව. “නෑ අම්මේ මං අහිංසක මිනිස්සු එක්ක එල්ලෙන්නේ නෑ” කියලා මම අම්මට කියනව.

අපේ අම්මට බය තියෙන්නේ මම ප්‍රශ්න වලට මැදි වෙයි කියන එකයි. එහෙම නැතුව මම එන පාරේ ඉන්න කවුරුහරි මට ගහලා මරලා දායි කියන එක නෙමෙයි. එයා දන්නව අපේ පැත්තේ මිනිස්සු අත උස්සාගෙන යන්නේ නෑයි කියලා. ගෙදරට නාදුනන මිනිහෙක් ආවත්, කඩෙන් ණයට බඩු ගෙනැවිත් හරි බඩ කට පිරෙන්න කන්න දීලා යවන ජාතියක් ආගමක් අහන්නේ නැති නිහතමානී පරිත්‍යාගශීලි මිනිස්සු ඉන්න පලාතක් මගේ ගම කියන්නේ….

මම එක දෙයක් ස්ථීරවම කියනව, අපේ ගම් වලට පිටින් ආපු මිනිස්සු වගයක් ගැහුවා. ඒකට හිලව් වෙච්ච අපේ එවුනුත් ඉන්නව. කරුණාකරලා ඒ ඔක්කෝම අත්අඩංගුවට අරගෙන උන්ගේ ලෙඩ ටික හොඳ කරන්න. පිං සිද්ධ වෙයි. අපිට වෙනදා වගේ මේ ගම් වල අපේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න උවමනයි.

මේවා අහිංසක මිනිස්සු ඉන්න ගම්…. මිනිස්සු හරි බයයි…. මේ මැරයෝ සිංහල මිනිස්සුන්ටත් ගහනව. මුස්ලිම් මිනිස්සුන්ටත් ගහනව. කතෝලික මිනිස්සුන්ටත් ගහනව. මොකක්ද මේකේ තේරුම ?

වැරදි කරපු එවුන් පැත්තක…. ඇයි මේ අහිංසක මිනිස්සුන්ගෙන් පලි ගන්නේ ?


සඳරු දසනායක

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button