දේශීය

කලබල ඇති කළේ කවුදැයි කාදිනල් කියති

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝද සහභාගි වූහ

පාස්කු ඉරිදා හටගත් සිද්ධියෙන් පසු රටේ තත්ත්වය අවුල් කිරීමට ක‍්‍රියාකරන පුද්ගලයින් පසුපස සිටින්නේ දේශපාලන පක්ෂවල ප‍්‍රාදේශීය නායකයන් යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (14 වැනිදා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

කොළඹ අගරදගුරු මැඳුරේ පැවැති මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝද සහභාගි වූහ.

නීතිය අතට ගෙන ක‍්‍රියා නොකරන ලෙස මෙම ප‍්‍රාදේශීය දේශපාලන නායකයින්ගෙන් තමා ඉල්ලා සිටින බව කී කාදිනල් තුමා ඔවුන් අද කාඩ්බෝඩ් වීරයෝ වීමට යන බවද පැවසූහ.

මෙසේ නීතිය අතට ගැනීමට සැරසුණොත් රට අවුල් ජාලයක් බවට පත්වෙන බවද කාදිනල් තුමා සඳහන් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේද පැවසූහ.

පාස්කු ඉරිදා හටගත් බෝම්බ සිද්ධියෙන් පසු රටේ හොඳ තත්ත්වයක් අපි ඇති කළා. මෙම තත්ත්වය තවත් ශක්තිමත් කළ යුතුව තිබියදී රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු ආගම් තුළ ඒ ශක්තිමත්භාවය රැඳිලා තිබෙනවා. අපි හැඟීම් පාලනය කරගන්න ඕනෑ. අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කාපු අපි යළිත් ඒ තත්ත්වයට පත්කරන්න එපා. තමන්ගේ ගෝලබාලයන් යොදවා රටේ තිබෙන ආගමික එකමුතුකම නැති කරන්න ඉඩ දෙන්න එපා.

කාඞ්බෝඞ් වීරයෝ අපට ඕනෑ නැහැ. රට වෙනුවෙන් ආදරය කරන හැම දෙනාටම ආත්ම ගෞරවයෙන් ජීවත්වීමට ඉඩ සලසන්න.

ශ‍්‍රී ලංකාව බෞද්ධ රටක් වශයෙන් මුළු ලොව ප‍්‍රසිද්ධියට පත්වී තිබෙනවා. අපේ රට බෞද්ධ පසුබිමක් මත පවතිනවා. ලෝකයේ කිසිම රටක බස් රථවල පූජ්‍ය පක්‍ෂය සඳහා ආසන වෙන් කිරීමක් නැහැ. ඒත් අපේ රටේ අද එය පවතිනවා. අපේ රට බෞද්ධ ආගමික සංස්කෘතියක් යටතේ පවතිනවා.

එක එක ආගම් සඳහා අමාත්‍යංශ අවශ්‍ය නැහැ. හැම ආගමකටම පොදු ආගමික අමාත්‍යංශයක් තිබුණොත් ආගම් අතරේ බෙදීම් ඇතිවෙන්නේ නැහැ.


නෝමන් පලිහවඩන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button