විශේෂාංග

හිරු, දෙරණ හා අපේ රටේ ජනමාධ්‍ය භාවිතයේ දිග පළල

මෙරටේ ජනමාධ්‍ය භාවිතය හා අන්තර්ගතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකි රූපවාහිනී වැඩසටහනක් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ වැඩි අවධානයක් යොමුවිය. ඒ ඉකුත් අප්‍රේල් 21 වැනිදා ඇතිවූ ත්‍රස්තවාදී ප්‍රහාරය පදනම් කරගෙන ඊට අදාළ විවිධ කරුණු සාකච්ඡා කළ හිරු රූපවාහිනී නාලිකාවේ “සලකුණ” සාකච්ඡාමය වැඩසටහනයි. රජයේ අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් එහි ආරාධිතයා ලෙස සහභාගි විය. මේ එම වැඩසටහන හා එහි අන්තර්ගතය ගොඩනැංවීම සම්බන්ධයෙන් තබන සටහනකි.

ඒ අනුව එම වැඩසටහන තුළදී ආරාධිතයාගෙන් ප්‍රශ්න නැගීම, ඒවාට පිළිතුරු සැපයීම, සංවාදාත්මක අවස්ථා මෙන්ම නිවේදක හා ආරාධිත නැමති දෙපාර්ශවය එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම හේතුවෙන් වැඩසටහන උද්වේගකාරී ස්වරූපයක් ඉසිලීය. කෙසේ වෙතත් සජීවී දේශපාලන වැඩසටහනකදී ඇතිවන සාමාන්‍ය සංවාදාත්මක තත්ත්ව ඉක්මවා යෑම මෙහිදී දක්නට ලැබීම තුළ ජනමාධ්‍ය අන්තර්ගතයක පැවතිය යුතු වගකීම් සහගතභාවය ප්‍රශ්නගත විය. එය මහජනතාවගේ පාර්ශවයේ සිට ප්‍රශ්න කළ යුතුය.

වැඩසටහනේ අන්තර්ගතය එසේ පාලනය නොකරන ලද තත්ත්වයක් තුළ මාධ්‍යකරුවා ක්‍රියා කිරීමේදී රූපවාහිනී වැඩසටහනක ගොඩනැගෙන ප්‍රමිතිය මෙරට ජනමාධ්‍ය අවකාශයේ නිදහස යළියළිත් විමසිය යුතු අවස්ථාවක් බව මම තරයේ විශ්වාස කරමි. විශේෂයෙන්ම රටේ පොදු දේපළක් මගින් වැඩසටහනක ජයග්‍රාහකයින් හා පරාජිතයින් තක්සේරු කරන තැනට මහජන චින්තනය පෙළඹවීම ඔස්සේ ප්‍රේක්ෂක හා පරිශීලක (රූපවාහිනී වැඩසටහන් අන්තර්ජාල මාධ්‍ය වේදිකා තුළින් නරඹන පරිශීලකයින්) පාර්ශව විනිශ්චය මණ්ඩලයක මානසිකත්වයට පත් නොකළ යුතු බව මාගේ අදහසයි. එනම් එවැනි නිගමන පළකරන්නට ප්‍රේක්ෂක හා පරිශීලක පාර්ශව යොමුවන අවස්ථා නිර්මාණය නොකිරීම ද වැදගත් වේ.

එම වැඩසටහනේ අන්තර්ගතයට බොහෝ සමානකම් කියන, මීට දෙවසරකට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී සාකච්ඡාමය වැඩසටහනක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකිරීම වැදගත් බව සිතමි. ඒ 2017 වසරේ ජනවාරි 03 වැනිදා උපුල් ශාන්ත සන්නස්ගල සහභාගි වූ “මල්බර දෙරණ” වැඩසටහනයි (මෙය යූටියුබ් තුළින් නැරඹිය හැකිය). එම සාකච්ඡාමය වැඩසටහනේ අන්තර්ගතය ද “සලකුණ” වැඩසටහනට අනුරූප බව පැවසිය හැක්කේ ප්‍රශ්න නැගීම, පිළිතුරු දීම, සාමාන්‍ය සජීවී වැඩසටහනක තත්ත්වය ඉක්මවූ සංවාදාත්මක තත්ත්ව හා ආරාධිතයා පෙරළා ප්‍රශ්න නැගීම යනාදිය එම වැඩසටහනේ ද අන්තර්ගතය ගොඩනැංවීමට හේතු වූ බැවිනි. ඒ අනුව එහිදී ප්‍රකාශ වූ කරුණු මඟින් ගොඩනැඟුණු අන්තර්ගතය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය භාවිතයකට කෙතරම් සුදුසු ද, එනම් පුද්ගලයින් දෙදෙනෙකු අතර කතාබහකදී භාවිතා කරන භාෂාව සජීවී වැඩසටහනක භාෂාව බවට පත්වීමේ උචිත අනුචිතභාවය හා එහිදී ජනමාධ්‍යකරුවාගේ භූමිකාව පිළිබිඹු විය යුත්තේ කෙසේද යන්න විමසිය යුත්තකි.

ඕනෑම ජනමාධ්‍ය ආයතනයකට තමන්ට අවේණික වූ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍රයක් ඇත. මෙම ජනමාධ්‍ය ආයතන දෙකට ද එසේමය. එබැවින් මෙම වැඩසටහන්වල අන්තර්ගතය සකස්වීම එම න්‍යාය පත්‍රවලට අනුකූලව සිදුවූ බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එහෙත් එම න්‍යාය පත්‍ර තුළ ජනමාධ්‍ය අන්තර්ගතයේ ප්‍රමිතිය හා වගකීම් සහගතබව පළවීමේ සීමා සලකුණු කරගත යුතුය. එසේ නොවීම තුළ මෙරට ජනමාධ්‍ය භාවිතයේ ප්‍රගමනය අභිබවා අවගමනය සිදුවීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත්වන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.


සුරෝෂන ඉරංග

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button