දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගෙන ඉල්ලා අස්වනු ! – කාදිනල් රටේ නායකයන්ට කියයි

පාස්කු ඉරිදාදා ප්‍රහාරය කිතුන්වන්ට පමණක් නොව පෞද්ගලිකව තමන්ට වැදුණු ලොකු පහරක් ලෙස සලකන බවත් ඒ පිළිබද කල්තියා දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකළ මේ රටේ නායකත්වය මේ විනාශයට වගකිව යුතු බව තමන් නැවත නැවත ප්‍රකාශ කරන බවද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් ඊයේ(12) පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවෙන් පසු කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මෙසේ පවසා ඇත.

මියගියවුන්ගේ ඥාතින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූ එම පූජාව අවස්ථාවේ අගරදගුරු හිමි විසින් මෙසේ ද පැවසූ බව වාර්තා විය.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අයගේ ජිවිත වලට සිදුවූ මේ විනාශය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලියි. එය මනුෂ්‍යාගේ පව්කාරකම තුළ සිදුවූ දෙයක්. මනුෂ්‍යාගේ පව්කාරකමේ ගොදුරක් බවට අපේ සහෝදර සහෝදරියෝ පත්වුණා.

ඒ වරද කළ අයට අත හෝදගන්න බැහැ. මේ වරද කළ අයට දඬුවම් කරන්න ඕනෑ. එය කළ යුත්තේ ඔවුන්ව බලතල වලින් පහ කිරිමෙනුයි. මේ වාගේ වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. සමහරු තවම නිදැල්ලේ හැසිරෙනවා. සමහරු සාන්තුවරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මනුෂ්‍යාගේ විනිශ්චයාසනයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයාසනයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළා මෙන් නිහඬව සිටින අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරිමට මැලිවන අයට දෙවියන් වහන්සේගේ දඬුවම ලැබෙනවා.

ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ. මගේ ජිවිතය ඔබට සහ දෙවියන්ට අයිතියි. ඕනෑම වේලාවක ජිවිතය පුජා කරන්න මම සුදානම්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button