විශේෂාංග

පාස්කු ඉරිදා ප්‍රහාරය : ශ්‍රී ලංකාවේ බලධාරීන්ටත් සාපරාධි මනුෂ්‍ය ඝාතන චෝදනා…!

- BBC සිංහල සේවය ඇසුරින්

පාස්කු ඉරිදා (21) ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ බලධාරීන්ට එරෙහිව සාපරාධි මනුෂ්‍ය ඝාතනයට අනුබල දීමේ චෝදනාව (Criminal Negligence) යටතේ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාත්, සමස්ත කැබිනට් මණ්ඩලයත්, ආරක්ෂක ලේකම්වරයාත්, පොලිස්පතිවරයාත් මේ ඛේදවාචකයට වගකිව යුතු බවට ජාත්‍යන්තර වශයෙන් බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.

මෙම බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ලැබී තිබිය දී දේශපාලනික වශයෙන් පටු වාසි ලබාගැනීම සඳහා ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකළ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට හා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්:

මේ අතර රහස් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වලක්වා ගැනීමට අපොහොසත් වීම මගින් ජනාධිපති, අගමැති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සිය මූලික හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල මහතා විසින් ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමුකර තිබේ.

මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් සහ ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන පවා සඳහන් කරමින් රහස් ඔත්තු සේවා විසින් ළඟදීම සිදුවීමට ප්‍රහාරයක් ගැන අනතුරු අඟවා තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඝාතනයට ලක්වූ 300 කට අසන්න පිරිසගේ ජීවිත ගැන ආරක්ෂාව භාර ප්‍රධානීන් වගකිව යුතු බව අදාළ පෙත්සමේ දැක්වේ.

“රාජ්‍ය ආරක්ෂාව බාරව වගකිව යුතු, මෙරට උත්තරීතර නීතියවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවටත්, එය ආරක්ෂා කරන බවටත් ඒ මත දිවුරා පොරොන්දු වූ ආරක්ෂක අමාත්‍ය, සේනාධි නායක, විධායකයේ හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරයාද, කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන්ද, ව්‍යවස්ථාදායකයේ සියලුම මන්ත්‍රීවරුන්ද, විශ්‍රාමික ජනාධිපතිවරුන්ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද, පොලිස්පතිවරයාද, මෙම තොරතුරු බාරව සිටින හා වගකිවයුතු ඒ ඒ රාජ්‍ය නිලධාරීන්ද ඝාතනය වූ, තුවාල ලැබූ මෙන්ම පීඩාවට පත්ව සිටින සියලුම පුරවැසියන්ගේත්, මාගේත් පහත සඳහන් මූලික අයිතිවාසිකම් හිතාමතාම, චේතාන්විතව උල්ලංඝනය කර අනතුරේ හෙළා ඇති බව මාගේ දැනුම අනුව විශ්වාස කරමි,” යනුවෙන් ද අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.

හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිපතිට නඩු

ඒ අතර පසුගියදා එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව තම වගකීම පැහැර හරිමින් කටයුතු සිදු කිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව ඩැන්ටන් පාලින්ද වික්‍රමසිංහ නමැත්තකු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික නඩුවක් ලෙස අපරාධ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වේ.

එම නඩුව ගොනු කර තිබෙන්නේ පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ එරික් බාලසූරිය මහතා විසින්ය.

බුද්ධි අංශ විසින් අදාළ ප්‍රහාරය පිළිබඳව දැනුවත් කර තිබියදීත් ඔවුන් විසින් මහජන ආරක්ෂාව අනතුරේ හෙළමින් නොසැලකිලිමත්ව කටයුතු කිරීම නිසා අදාළ පුද්ගයන් මරණයට පත් වීම හා බරපතල ලෙස තුවාල සිදු වීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනා වන අතර ඒ සඳහා ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 298 හා 329 යන වගන්ති යටතේ වරදක් කර දඬුවම් හිමි විය යුතු බවත් පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය:

මේ අතර අප්‍රේල් 23 රාත්‍රියේ ජාතිය අමතා අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධ රහස් තොරතුරු තමන් වෙත දැනුම් නොදුන් බවය.

“එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු එම වගකිවයුතු ප්‍රධාන නිලධාරින් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා,” ජනාධිපතිවරයා පැවසීය.

එකිනෙකාට චෝදනා පිට චෝදනා:

කෙසේ වුවත් පසුදා (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ජාතික ඔත්තු සේවා ප්‍රධානියා කෙලින්ම වගකියනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යවරයාට බැවින් ඔහු අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව පෙන්වා දුන්නේය.

අදාළ තොරතුරු ලැබී තිබුණ බව සනාථ කළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙතරම් බරපතල ප්‍රහාරයක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බවය.

ප්‍රහාර සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයක ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තමන් හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට ඉහත දී පැවසීය.

එමෙන්ම එම රහස් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට චෝදනා කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, මාස ගණනාවක් මුළුල්ලේ අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත කැඳවා නොතිබුන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button