විශේෂාංග

ගමක දුක නිවන කන්‍යා සොයුරියෝ

- BBC සිංහල සේවය ඇසුරින්

“පුංචි ළමයි එක්ක අපි කතාබහ කරන කොට ඒ අයට මෙය ඇත්තට ම භයානක සිදුවීමක්. ඒ සමහර අයට නින්ද යන්නේ නැහැ කියනවා. හීනෙන් කෑ ගහනව ලු. ඒ වගේ ම අම්මලාට ගොඩක් තුරුළු වෙලා ඉන්නවා කියල අම්මලා කිව්වා.” මෙසේ පැවසුවේ, පසුගිය පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත හානි 100 ට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ මීගමුව කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී බීබීසී සිංහල සේවයට හමුවූ කාන්තිනි කන්‍යා සොයුරියයි.

වික්ෂිප්ත භාවයට සහ බියට පත්ව සිටින ළමයින්ගේ මනස ශක්තිමත් කිරීමට සහ ඔවුන්ගේ බිය තුරන් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය.

මේ දිනවල ඇය වැනි කන්‍යා සොයුරියන් රැසක් බෝම්බ ප්‍රහාරය නිසා වින්දිතයින් බවට පත් වූ පිරිස් වෙසෙන නිවෙස් කරා ගොස් ඔවුන් සමග දුක සැප බෙදා ගනිති.

“අපි ඔක්කොම කන්‍යා සොහොයුරියන් 70ක් 80ක් පමණ එකතු වෙලා ඉන්නවා. අපේ ප්‍රධාන අරමුණ තුවාල ලබලා ඉන්න අයගේ සහ මිය ගිය අය සිටින පවුල්වල අයගේ මනස ශක්තිමත් කිරීම,” ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වැඩි දෙනා, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මාවතේ සහ ශාන්ත ජූඩ් මාවතේ පදිංචිකරුවෝ වූහ.

සිය සහෝදර කන්‍යා සොයුරියන් සමග එක්ව, ඛේදජනක සිදුවීමට මුහුණ පෑ පවුල් හමුවන ඩිලානි පෙරේරා කන්‍යා සොහොයුරිය, උතුරු නැගෙනහිර ගැටුම් පැවති කාලයේදී ද පීඩා විඳි ජනතාව වෙනුවෙන් තම කාලය සහ ශ්‍රමය වැය කර ඇත.

“මේ රට අවුරුදු 10කට පෙර යුද්ධයක් නිමා කළ රටක්. මෙවැනි දෙයක් කිසි කෙනෙක් බලාපොරොත්තු වුණේ නැහැ. අපි ඒ කාලෙත් දුකට පත් මිනිස්සු අතරට ගිහිල්ල උපදේශනය වැනි දේ කළා.”

ඩිලානි පෙරේරා කන්‍යා සොයුරිය

“වේදනාව තුළ කම්පනයට පත් වෙච්ච පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා වේදනාව පිට කර ගන්න බැරිව. ඉතින් ඒ අයට ලොකු අස්වැසිල්ලක් වෙනවා ඒ අය සමග කතා කිරීමට යාමෙන්.”උපදේශන සේවාවට අමතරව වින්දිතයින්ගේ තොරතුරු රැස් කිරීම, ශල්‍යකර්ම සඳහා උදව් උපකාර අවශ්‍ය අයට ඒ සඳහා මැදිහත් වීම සහ දෙමව්පියන් මිය යාමෙන් අසරණභාවයට පත් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වීම මෙම කන්‍යා සොහොයුරියන්ගේ අරමුණ වේ.

විවිධ ස්වේච්ඡා සංවිධානවලට අයත් තවත් කණ්ඩායම් කිහිපයක් කටුවාපිටිය ගම්මානයේ සැරිසරමින් උපදේශන සේවා සපයමින් ගම්මුන්ගේ වෙනත් අවශ්‍යතා ගැන සොයා බලති.

නිලානි තිසේරා එවැනි එක් කණ්ඩායමක සාමාජිකාවකි. “ඔවුන් තනි වෙලා නැහැ කියලා තේරුම් කරලා දෙන්න ඕනේ. ඔවුන් කියන දේ අහගෙන ඉන්න ඕනේ. ඒක තමයි අසරණ වෙලා ඉන්න අයගේ මනසට දෙන්න පුළුවන් හොඳ ම ප්‍රතිකාරය.”

ඇයගේ එක් අත්දැකීමක් අප හා පැවසුවේ මෙසේ ය. “එක ගෙදරක අම්මයි තාත්තයි දෙන්න ම මිය ගිහිල්ලා. දැන් අක්කයි මල්ලියි ගෙදර තනි වෙලා. අදායම් මාර්ගයක් නැහැ. ඇත්තට ම ඒ දෙන්න ට්‍රෝමටයිස් වෙලා. අක්කා කියනවා රෑ හතෙන් පස්සේ ඔළුව දෙදරන ගතියක් එනව ලු.”

“මේ වගේ කාරණා දිහා මානුෂික හැඟීමෙන් බලලා කටයුතු කරන්න ඕනේ. නැත්නම් මේ අය මානසිකව වැටෙනවා,” ඇය පැවසීය.

“නොනිමෙන ගින්නක්”

මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වැඩි දෙනෙක්, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මාවතේ සහ ශාන්ත ජූඩ් මාවතේ පදිංචිකරුවන් වූහ.

පී. ශර්මිලාට තම සොහොයුරා සහ සොහොයුරාගේ දියණියන් දෙදෙනා මෙම ප්‍රහාරය නිසා අහිමි විය. “වගකිව යුතු අය රටේ ආරක්ෂාව ගැන මීට වැඩිය කල්පනා කරන්න තිබුණා. දැන් අපිට වුණ මේ විනාශය ගැන වග කියන්න කෙනෙක් නැහැ.”

ඇය තම වේදනාව පිට කළේ ඒ ආකාරයටය.

ප්‍රදේශයේ වැඩි දෙනා හඳුනන අයෙකු වන ප්‍රදීප් සුසන්තට බෝම්බ ප්‍රහාරයෙන් සිය බිරිඳ සහ දරු තිදෙනා අහිමි වූ අතර සිය වැඩිමහල් සොයුරා සහ ඔහුගේ දරු දෙදෙනා ද එහිදී මියගොස් තිබේ.

සුසන්තගේ මව පැවසුවේ, සිදුවූ දෙය හිතා ගැනීමටවත් නොහැකි බවය. “අනේ මට මගේ ළමයි නැති වුණා. සමහරු ඇවිල්ලා අහනවා සල්ලි ඕන ද කියලා. දරුවෝ නැතිව සල්ලි මොනවා කරන්න ද?”

“මේ ගින්න හැම දා ම අපිව පුච්චාවී නේද?”

ඇය නිවසට පැමිණෙන අයගෙන් විමසන්නීය. සියලු දෙනා නිරුත්තරය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button