දේශීය

සියලු පාසල්වලට ආරක්ෂක කමිටු

සියලු පාසල් වල ආරක්ෂක කමිටු පිහිටුවන ලෙස විදුහල්පතිවරුන්ට දන්වා ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය.

ලිඛිතව සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යපන අධ්‍යක්ෂක වරුන්ට, කලාප අධ්‍යපන අධ්‍යක්ෂක වරුන්ට, කොට්ඨාස නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ පාසල් ප්‍රධානීන් වෙත පාසල් අවට සහ පාසල් තුළ පවත්වාගෙන යා යුතු ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව සවිස්තරාත්මකව දැනුම් දි තිබේ.

විශේෂයෙන් පාසල් තුළට ශිෂ්‍යයන් පැමිණි පසු ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහි සඳහන් කර ඇතිබවත් එහි බලය සම්පූර්ණයෙන් විදුහල්පතිවරුන්ට ලබාදී ඇතිබව සඳහන් කළේය.

ඒ අනුව පාසල් වල දෙවන වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් තුළ හා පාසල් අවට ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු උපදෙස් මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්, පොලිස්පති, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරින්, විශේෂ කාර්ය බලකාය, සියලු නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් ඇතුළු සියලු ආරක්ෂක අංශ වල සහය පාසල් පවත්වාගෙන යාමට ඉල්ලා ඇතිබව සඳහන් කළේය.

සියලු පාසල් වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වනවිට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

පාසල් ආශ්‍රිතව අඛණ්ඩව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විශේෂයෙන් පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාසල් අවට වාහනයක් නතර කර තිබූනහොත් වාහනය ආරක්ෂිත ස්ථානයකට රැගෙනගොස් දැඩි සෝදිසියකට ලක්කිරීමට නියමිතයි.

පාසල් අවට ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය. අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීම මැයි මස 06 වනදා සිදුකිරීමට නියමිතයි.


අනුර ලියනගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button