විශේෂාංග

ශ්‍රී ලංකාවේ පවතින සාමකාමීම ආගමික ජනතාව කතෝලිකයන් වේ….

මෙය ආගමිකයන්ට කඩේ යාමක් නොවේ…. නමුත් මෙය කිව යුතුම කතාවකි….

 

මෙරට සිටින ප්‍රධාන ආගම් අතරින්, සාමකාමීම ජනතාව කතෝලික ජනතාව යයි සිතිය හැකිය. කතෝලික පාලන තන්ත්‍රය ප්‍රභලව දේශපාලනයට බලපෑම් කරන්නේ නැත. ගැටළු ඇති කරන්නේ නැත, රටේ නීතිය අතට ගන්න උත්සහ කරන්නේ නැත, වෙනම කිසිඳු ආකාරයකට වෙනම නීති හෝ අධිකරණ පද්ධති ඉල්ලන්නේ නැත…. ඉඳලා හිටලා කාදිනල් තුමා කරන අනුවන ප්‍රකාශයක් හැරෙන්නට, කතෝලික පාලන තන්ත්‍රය හෝ බොහෝ කතෝලික සාමාන්‍ය ජනතාව අතර ආගමික ගැටුම්, කුල ගැටුම් හෝ සමස්ත වශයෙන් රටකට බලපාන ගැටළු නැති බව හොඳින්ම පැහැදිලි කරුණකි.

රටේ බොහෝ පොදු ප්‍රශ්න වලදී පාරට බැස ජනතාව වෙනුවෙන් සටන් කරන ආගමික පූජකයන් ඇත්නම් ඒ කතෝලික පියවරු සහ කන්‍යා සොහොයුරියන්ය. ඒ තනි ආගමක් වෙනුවෙන් නොවේ. උදාහරණයක් ලෙස මෑතකදී ඇතිවුණු මත්ද්‍රව්‍ය, මරණ දණ්ඩනය සහ පොර්ට් සිටි ගැටලුව දැක්විය හැකිය.

ලෝකය තුල කතෝලික ආගම ව්‍යාප්තියේදී බොහෝ මිනිස් සංහාර වුනු බව රහසක් නොවන අතර කාලයක් ඉතා දූෂිත පාලන තන්ත්‍රයක් පැවතියේද කතෝලික සභාවේ බව වර්තමාන කතෝලික සභාව පවා පිළිගන්නා කාරණයකි. එමෙන්ම එවකට සිදුවුණු සියලුම හානිදායක සිදුවීම් වලට වර්තමාන පාප් වරයා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලාද ඇත. සමාව ඉල්ලුවා කියා සිදුවුණු හානි නැවත සැකසිය නොහැකි නමුත්, සැබෑ සමාව ඉල්ලීමක තිබෙන වරද නිවැරදි කර ගැනීම වර්තමාන කතෝලික සභාව අනුගමනය කරමින් සිටියි. එයට හොඳම උදාහරණ පසුගිය කාලයේ ඔබට දැකගත හැකිවූයේ යයි අප විශ්වාස කරන්නෙමු.

එමෙන්ම කතෝලික යනු පවතින රට අනුව ඒ ඒ සංස්කෘතියන්ට ගරු කරමින් සාමකාමීව පවතින ආගමක් ය. ශ්‍රී ලංකාවේ පවතින්නේද සිංහල සහ දෙමළ සංස්කෘතීන්ට ගරු කරමින්, දේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් අනුව දේශීයකරණය වූ කතෝලික ජීවන රටාවකි.

තවද පාලකයන්ට ගැති නොවී ස්වාධීන ලෙස ආගමික පාලනයක් ගෙනයන ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන ආගමික පාලන තන්ත්‍රය පවතින්නේද කතෝලික සභාව තුලය. ඉඳ හිට කාදිනල් තුමා පිට පාරක ගියද, ඉතා වැඩි ප්‍රතිශතයක් පවතින්නේ එසේ නොවන තැනකය. ශ්‍රී ලංකාවේ කිසිඳු කතෝලික පියතුමෙක්, කතෝලික දේවස්ථානයක් රජයෙන් නඩත්තු වන්නේ හෝ රජයට ගැතිවන්නේ නැත.

එහෙව් තත්ත්වයක් තිබියදී මේ රට තුලදී කතෝලිකයන්ට වර්තමානයේදී සිදු වුනු හිංසා පීඩා ගැන කනගාටුව පලකරන අතර අප ඒවා හෙලා දකිමු.

කතෝලික සභාවට පමණක් නොව සමස්ථයක් ලෙස බොහෝ ආගමිකයන්ට හිරිහැරයක් වුනු, ගැටළු ඇතිකළ බොදුබල සේනා සංවිධානය මඟින් පාප්තුමා ශ්‍රී ලංකාවෙන් සමාව ගතයුතු යයි අනුවන ප්‍රකාශ කරමින් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරී තැන සිදුකල ප්‍රකාශ සහ ආගමික ස්ථාන කිහිපයකට පහර දීම් වැනි ක්‍රියා යටතේ ඇතිකළ අපහසුතාවන් සහ අපහාසද, ඉතා දුගී කතෝලික පවුල් රවටා එම පවුල් වල දරුවන් පැවිදි කර ගැනීමද, එසේ කිරීමෙන් පසු කතෝලිකයන්ට අපහාස කරමින් මහා වීර කමක් කල ලෙස ඒවා ප්‍රචාරය කරන මිගෙට්ටුවත්තේ සුමිත්ත නම් චීවරධාරියාගේ ක්‍රියාද, බොහෝ විට තම ආගමට මුලා වී සමාජ මාධ්‍යවල කතෝලික ආගමට සහ ජනතාවට අපහාස කරන අන්තවාදී නාමික සිංහල බෞද්ධයන්ද, පසුගිය දා මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් මඟින් කතෝලික දේවස්ථාන දෙකකට සහ ක්‍රිස්තියානි දේවස්ථානයකට එල්ල කළ ම්ලේච්ච බෝම්බ ප්‍රහාර ද, ඉහත කී හිංසා පීඩාවලට අයත් ය.

එම නිසා නැවතත් අප ප්‍රකාශ කරන්නේ මේ රට තුල සියලුම ආගමිකයන්ට නිදහස හිමිවිය යුතු අතර, එක් ආගමකින් අනෙක් ඒවා යටපත් කරගෙන ක්‍රියා කල යුතු නැත යන්නය. එමෙන්ම රටේ නීතිය අතට ගැනීමට ආගමික නායකයන්ට හෝ සාමාන්‍ය ජනතාවට වල් බූරු නිදහසක් නැති බවත් මතක් කල යුතුමය….


මෙවැනි සිදුවීමක් හමුවේ පවා ඉතා සාමකාමී ලෙස, තමන්ගේ දුක තමන් දරාගෙන කතෝලික ජනතාව ජීවත් වන අතර, ජනතාව වෙනුවෙන් කතෝලික පාලන තන්ත්‍රයේ කැපවීම, පරිත්‍යාග වීම ඉතාම ප්‍රසංසනීයය. ක්‍රිස්තු තුමන්ගේ නායකයා සේවකයා වීමේ ගුණාංගය, පීඩිතයා වෙනුවෙන් කැපවීම යන වටිනා ගුණාංග මේ අවස්තාවේදී කතෝලික පියවරුන් සහ කන්‍යා සොහොයුරියන්ගෙන් දකින්නට ලැබීම ඉතාම අගය කළයුතුය.

මෙවැනි තත්ත්වයක් හමුවේ කතෝලික තරුණ තරුණියන්ගේ ක්‍රියා පිළිවෙතද, ඉවසීම, හැසිරීම සහ විනයද ඉතා හොඳ මට්ටමක පවතින බවත් නොරහසකි. සිදුවූ සිදුවීම වෙනුවෙන් ද්වේශ සහගත දේ සමාජ ගත නොකිරීම, විවිධ ප්‍රති ප්‍රහාර දියත් නොකිරීම වැනි සාමකාමී දේ ඊට සාක්ෂි දරයි.

අවසාන වශයෙන් විශේෂ සඳහනක් තැබිය යුතුමය. ඒ සාමකාමී රටක් තුල දේශපාලන සහ ආරක්ෂක අංශ වල නොසැලකිලිමත් කම නිසා වන්දි ගෙවන්නට සිදුවූයේ ඉතාම සාමකාමී ජන පිරිසකටය. සියයට 7ක් තරම් වූ කුඩා ප්‍රතිශතයක ජීවත් වන කතෝලික ජනතාව තනිවූ අවස්ථාවක් ලෙස මේ අවස්ථාව සඳහන් කල හැකිය. එමෙන්ම මේ ම්ලේච්ච ප්‍රහාරයට වගකිව යුත්තේ ISIS සංවිධානය හෝ මුස්ලිම් අන්තවාදීන් පමණක් නොව මේ ගැන කලින් දැනුවත්ව සිට ඔහේ නිදිකිරා වැටෙමින් මේ තත්ත්වය තඹයකට මායිම් නොකල සහ ප්‍රහාරයෙන් පසුවත් මෙම සිදුවීම් මාලාව ඉතා සැහැල්ලුවෙන් ගත් ජනාධිපති, අගමැති, මැති ඇමතිවරු සහ ආරක්ෂක ලේකම් මෙන්ම පොලීසිය සහ බුද්ධි අංශ ඇතුළු වගකිවයුතු සියලුම නිලධාරීන්ද සිටින බව අවධාරණය කල යුතුමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button