විශේෂාංග

මෝඩයාගේ දවස කියලා එකක් හැදුනේ කොහොමද…?

අද අප්‍රේල් මාසේ පළමු වැනිදා. හැමෝම දන්නා විදිහට නම් අද මෝඩයාගේ දවස. කාට කාට හරි “ළණුවක්” දීලා පොඩි සතුටක් ලබන්න තමා අද දවසේ ගොඩක් අය හිතන් ඉන්නේ. හැබෙයි ඉතින් සමහරු නම් සමහරුන්ගේ හිත රිදෙන දේවල් පවා කරනවා. පහුගිය කාලේ මේ විහිළු කරන්න ගිහින් ජීවිත පවා නැතිවුනා කියලා පුවත් පළ වුනා.

දැනගෙන හරි, නොදැනගෙන හරි ඔහේ කරන්නන් වාලේ එක එක්කෙනාට “ළණු” දෙන්නේ නැතිව ඇත්තටම මේ අප්‍රේල් පළමුවැනිදා මෙහෙම දවසක් යෙදිලා තියෙන්නේ ඇයි කියලා දැනගෙන ඉමු.

හරියටම කිවුවොත් මීට අවුරුදු 437 කට කලින් 1582 වර්ශයේදී ප්‍රංශයේ සිදුවූ සිදුවීමක්. ඒ වෙනකම් ⁣ලෝකයේ පාවිච්චි වුනු ජූලියානු කැලැන්ඩරය වෙනුවට අටවන ග්‍රෙගරි පාප්තුමා විසින් හඳුන්වලා දුන්නු ග්‍රෙගරියන් කැලැන්ඩරය ප්‍රංශයේ නිළ කැලැන්ඩරය ලෙස පිළිගන්නට යෙදුනා. මුලින් කිවුව ජූලියානු කැලැන්ඩර් වර්ශයේ පළමු දිනය යෙදී තිබුනේ අප්‍රේල් පළමුවැනිදා. ඒ වුනත් අලුතින් හඳුන්වලා දුන්නු ග්‍රෙගරියන් කැලැන්ඩර වර්ශයේ(වත්මන් කැලැන්ඩරේ මුල්ම හඳුන්වාදීම) පළමු දිනය ජනවාරි පළමු වැනිදා. ඉතින් 1582දී අද වගේ අන්තර්ජාලය, දුරකථන හරි රූපවාහිනී වගේ වේගවත් සන්නිවේදන ක්‍රම තිබුනේ නැති නිසා මේ පණිවුඩය ප්‍රංශය හා එංගලන්තය පුරා පැතිරුනේ ඉබි ගමනින්.

ඒ වෙද්දිත් මේ ගැන නොදන්නා අය අප්‍රේල් පළමුවැනිදා අලුත් අවුරුද්ද සමරමින් සිටියා. ඒ සැමරුම නිවැරදි නැති වුනත් අලුත් කැලැන්ඩරය ගැන දන්නා අය හිස් පෙට්ටි(අලුත් අවුරුදු තිළිණ) අලංකාර විදිහට තිළිණයක් වගේ ඔතලා අර පැරණි ආකාරයට අප්‍රේල් පළමුදා අලුත් අවුරුද්ද සමරපු අයට දීලා ඒ අය හිස් පෙට්ටි විසා අපහසුතාවයට පත්වෙන විදිහ බලලා සතුටක් ලබලා අලුත් කැලැන්ඩරය ගැන කියලා දුන්නාලු. මේ විදිහට ටික ටික ග්‍රෙගරියන් කැලැන්ඩරය ලෝකය පුරා පැතිරිලා ගියා. අද අපි පාවිච්චි කරන්නේ ⁣අන්න ඒ ග්‍රෙගරියන් කැලැන්ඩරයම ටික ටික වෙනස් වෙලා ආපු කැලැන්ඩරයක්.

ඉතිං…! ඔන්න ඕකයි ඔය අප්‍රේල් මෝඩයාගේ කතාව. ඕනම සිදුවීමකට ඉතිහාසයක් තියෙනවා. අපිටත් පුළුවන් නම් ඒ ඒ සිදුවීම් වලට අදාල ඉතිහාසගත සිදුවීම හොයාගන්න, අද ජීවත්වන අය ඔහේ කරන්නන් වාලේ කරන සමහර වැඩත් පොඩි හරි තේරුමක් ඇතුව, දැනගෙන කරාවි.


හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button