විශේෂාංග

ගංගා දෙකක් දියඇලි දෙකක් විදිහට එකතැනට කඩා හැලෙන ලංකාවේ එකම ඇල්ල

- පූනා ඇල්ල

සීතල මල් පිනි වැටෙන හිරිගඩු පිපෙන ලංකාවේ අපේ සුරපුරය නුවරඑළිය මේ දවස්වලනම් හරිම කාර්‍යබහුලයි. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ළඟ එන අවුරුදු කානිවල් නිසා. නුවරඑළියට එන්න ප්‍රධාන පාරවල් හතරක් තියනවා. ඒ හතරෙන් බොහෝ දෙනා භාවිතා කරන මාර්ගය තමයි පේරාදෙණිය පුස්සැල්ලාව හරහා තියන කොළඹ නුවරඑළිය මාර්ගය. මේ පාරේ ගිහින් තියන කෙනෙකුට ආයේ යන්න හිතුන් නැතොත් ඒක වෙන්න බැරි වැඩක් ඒතරමටම මේ පාර සුන්දරයි. හැබැයි මේ පාරේ අය එක් ස්ථානයක් ගැන වැරදි වැටහීමක් ඇතිකරගෙන තියනවා. ඒ මොකද්ද කියල පස්සේ කියන්නම්.

නුවරඑළියට කොයි පාරෙන් ගියත් හමුවෙන්නේ සුන්දර දිය ඇලි…. කොළඹ පාරෙන් ගියොත් හමුවෙන දිය ඇල්ල තමයි රම්බොඩ හැබැයි මෙතන එක දිය ඇල්ලක් නෙවෙයි තියෙන්නේ දිය ඇලි පහක් තියනවා. රම්බොඩ ඉහල ඇල්ල, රම්බොඩ පහළ ඇල්ල, දේවතුරා ඇල්ල, ගැරඬි ඇල්ල, සහ පූනා ඇල්ල. මේ ඇලි අතරෙන් ගැරඬි ඇල්ල සහ පූනා ඇල්ල ටිකක් ඈතින් පිහිටලා තියෙන්නේ ඒත් රම්බොඩට මේ ඇලි දෙකත් හොඳට පේනවා.

ඉස්සර කාලේ නම් මේ රම්බොඩ කියන්නේ හරිම ත්‍රාසජනක මාර්ගයක්. ඉතාම පටු මාර්ගයක් තමයි රම්බොඩට තිබුනෙ. මේ පටු මාර්ගය විශාල කරන්න බැරි නිසා තමයි පස්සේ කාලෙක කන්ද විදලා ලංකාවෙ මහාමාර්ගයක් හරහා ඇති පලවෙනි උමං මාර්ග මේ ස්ථානයේ ඉදිවෙන්නේ. රම්බොඩ උමග අපේ රටේ මහාමාර්ග ඉතිහාසයේ ප්‍රදාන සංදිස්ථානයක් නිසාත් එතන තියන අමුතුම සුන්දරත්වය නිසාත් නුවරඑළියේ යන සංචාරකයො මෙතන ටික වෙලාවක් නතරවෙලා යන්න අමතක කරන්නේ නෑ.

මේ රම්බොඩ උමග ළඟට ඈතින් පේනවා මහා විශාල දිය ඇල්ලක්. උමග බලන්න නතරවෙන අය තමන්ගේ දුවා දරුවන්ට අර ඈත පේන දිය ඇල්ල පෙන්නලා කියනවා අර තියෙන්නේ රම්බොඩ ඇල්ල කියලා. හැබැයි ඒ තියෙන්නේ රම්බොඩ ඇල්ල නෙවෙයි පූනා ඇල්ල. ඒක තමයි මෙතනට එන අය කරන වැරැද්ද. ඇත්තටම ඒක වැරැද්දක් නෙවෙයි නොදැනුවත්කම. ඉතින් අපි හිතුවා හැමෝම රම්බොඩ ඇල්ල කියලා රැවටෙන පූනා ඇල්ල බලන්න යන්න.

පූනා ඇල්ලට යන ගමන නම් හිතන තරම් ලේසි නෑ. මේ ඇල්ලට යන්න පාරක් නැති නිසා ඒ අවට ඉන්න අය කියන්නේ පූනා ඇල්ල ළඟට යන්න බෑ පාරේ ඉඳලා බලල යන්න කියල. එහෙමයි කියල ඇල්ල ලගට නොයා යන්නේ කොහොමද. ඒ නිසා අපි මේ ගැන තව පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. ඒ වෙලාවේ තමයි අපිට ගාමිණී අයියා හමුවුනේ.

“මේ පූනා ඇල්ල ළඟට යන්න පාරක් තියනවා හැබැයි නොදන්න කෙනෙකුට හොයාගන්න අමාරුයි මහත්තයලට යන්නම ඕනනම් මම එක්ක යන්නම්”
ගාමිණී අයියා කිව්වදේට අපි එකඟ වුණා. මේ ඇල්ලට යන්න තියෙන්නේ ඔහුගේ ඉඩම මැදින්. ඉතාම බෑවුම් සහිත මාරගයක් ඔස්සේ තමයි පහලට යන්න තියෙන්නේ. යන පාරේ කූඩැල්ලන්ගෙන් නම් අඩුවක් නෑ. තේ වතු මැදින් කෝපි වතු මැදින් ඇවිදගෙන යන්කොට ගාමිණී අයියා හරි අපූරු කතාවක් කිව්වා.

“මේ ඇල්ලට යන්න පාරක් නැති එක ගැන නම් මම සතුටු වෙනවා. පේනවනේ රම්බොඩ හැටි කාලා බීලා ඔකෝම කුනු ජරාව එතනම දාලා යන ජාතියක් තමයි අපේ රටේ ඉන්නේ ගියොත් ගිය තැන ඉවරයි. ඒකට කියන්නේනම් අපි මහා ඉතිහාසයක් තියන ජාතියක් කියලා. ඔව් ඒ කතාව ඇත්ත දැන් අපේ පොළවෙන් මතුවෙන්නේ රන් රිදි මුතු මැණික් ඒ වගේම පුරා වස්‍තු. හැබැයි මේ යන විදිහට තව පරම්පරා දෙකතුනක් ගියොත් පොලොවෙන් මතුවෙන්නේ පොලිති ප්ලාස්ටික් වගේ දේවල්. අපි සතුටු වෙනවා ඉතිහාසය ගැන කියලා ඒත් අපේ මතු පරම්පරාව අපි පරිසරයට කරලා තියන විනාසේ දැක්කම අපි මැරිච්ච වලවල්වලටත් හෙන ඉල්ලයි මහත්තයෝ”

ගාමිණී අයියගේ කතාව නම් මසුරම් වටින කතාවක්. ඒ වගේම පරිසරය විනාශ කරන අයට හොඳ කනේ පාරක්. කතාවෙන් කතාවෙන් අපි ඇල්ල. කිට්ටුවටම ඇවිත්.

ඇල්ලේ හෝ ගාන හඬ දැන් අපට ළඟ ළඟම ඇහෙනවා. ඒත් ඇල්ල පොඩි කඳු ගැටකින් වැහිලයි තියෙන්නේ අපිට ඇල්ල ළඟට යන්න කඳු ගැටය උඩට නගින්න වුණා. ඊට පස්සේ තමයි අපට ඇල්ල ළඟටම ගස් අතරින් දකින්න ලැබුනේ.

මේ පූනා ඔය ඇල්ලට ලංකාවෙ තියන වෙනස්ම ආකාරයේ දිය ඇල්ලක්. දෙපැත්තෙන් එන ගංගා දෙකක් එක තැනකදි Y අකුරෙ හැඩයට කඩා හැලෙනවා. වැස්ස දවසට මේ එක ඇල්ලක වතුර කහ පාටට කඩා හැලෙනවලු අනිත් ඇල්ලේ වතුර සුදුපාටට කඩා හැලෙනවලු. පූඬළු ඔය තමයි මෙහි ප්‍රධාන ඇල්ල නිර්මාණය කරන්නේ ඒ නිසා මේ දිය ඇල්ල පූනා ඇල්ල නමින් හඳුන්වනවා කියලත් කියනවා.

පූඬළු ඔය එක ඇල්ලක් නිර්මාණය කරනකොට පූනා ඔය අනිත් ඇල්ල නිර්මාණය කරනවා. පූඬලු ඔය ඇල්ල කියල ඩන්සිනන් ඇල්ලටත් කියන නිසා මේ ඇල්ලට පූනා ඔය ඇල්ල කියනව කියල තමයි අපට ආරංච් වුණේ.

තේ වත්ත මැදින් ටිකක් දුර ගියාම පාර එතනින් ඉවර වුණා. ඒත් ඇල්ල ළඟටම. යන්න නම් මනං කැලය තලාගෙන යන්න ඕන. මෙච්චර ළඟට ඇවිත් ආපහු යන එකේ තේරුමක් නැති නිසා අපි කැලය තලව් කරගෙන ඇල්ල පාමුලටම ආවා. ගංගාවල් දෙකක් දෙපැත්තෙන් එක් ස්තානයකට කඩා හැලෙනවා. මම හිතන විදිහට පූනා ඔය ඇල්ල විතරයි ලංකාවටම මෙහෙම ඇල්ලකට තියෙන්නේ සමහරු කියනවා මේ ඇල්ල ලංකාවෙ 11 උස ඇල්ල කියල. ඒත් අපට හරියටම කියන්න බෑ ඒ කතාව ඇත්‍තක්ද කියල. මොකද ලංකාවෙ ඇලිවල තාම හරියට උස ගණනය කරලා නැති නිසා.

නොමිනිසුන්ගේ ග්‍රහනයට ලක්වෙලා නැති නිසා ඇල්ල අවට ඉතාම පිරිසිදුයි. ඒ වගේම ඇල්ල ළඟටම යන්න් පුළුවන්. මෙහි උසම ඇල්ල මීටර් 103 ක් පමණ උසකින් යුක්තයි කියලා කියනවා. අපි ගිය දවසෙනම් ඇලි දෙකේම වතුර පුළුන් වගේ සුදො සුදුයි වතුර පාර දැක්කම නොනා එන්න හිතුන් නෑ එත් මෙතන ගංගා දෙකක එකතුවක් නිසා කොයි පැත්තෙන්වතුර පාර සැරවෙයිද කියල කියන්න බෑ ඒ නිසා නාන එකනම් අවදානම්. පූනා ඇල්ල ළඟට ගියාම අපට හිතුනා මේ තමයි ලංකාවෙ ලස්ස්නම ඇල්ලද කියල…. ඒ තරමට ඇල්ල සුන්දරයි. ඒ වගේ බියකරු යි. මේ ඇල්ල ළඟටත් එන්න පාරක් ප්‍රාදේශීය සභාවෙන් හදනවා කියල අපට ආරංච් වුණා. හැබැයි එහෙම හැදුවොත් ඇල්ල විනාශ වෙන්නත් ඉඩ තියනවා.


නිශ්ශංක මුවර්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button