කලා

“Welcome To බර්මියුඩා” ගැන පොඩි කතාබහක්…

ශ්‍රී ජයවර්දනපුර විශ්වවියාලයේ මානවශාස්ත්‍ර හා සමාජවිද්‍යා පීඨයේ ඉගෙනුම ලබන මීනු ගුනසිංහගේ කුළුඳුල් කාව්‍ය
“Welcome To බර්මියුඩා” නිර්මානය 2019 මාර්තු මස 27 වෙනිදා එළි දැක්වෙනව. කවිය සහ මීනු ගැන පොඩි කතාබහක්…

මීනු ගුණසිංහගේ කුලුඳුල් නිර්මාණය විදියට බර්මියුඩා හඳුන්වන්න පුලුවන් ඇයි මීනු තමන්ගෙ කුළුඳුල් නිර්මාණය විදියට කවිය තෝරගන්නෙ…

කවිය කියන්නෙ මගෙ ජීවිතේට ගොඩක් සමීප දෙයක්.. පොඩි කාලෙ ඉදන් මං ආසයි කවි ලියන්න.උසස්පෙළ කාලෙ ඒ ගැන උනන්දුව වැඩි වෙන්න ගත්තා.. පුවත්පත් වලට කවි ලිව්වා.සමහර ඒව පළ වුණා. ඒ වෙනකොට මට හිතුන දෙයක් තමයි කවි වලට මිනිස්සුන්ගෙ හිත් වලට රිංගන්න පුලුවන් කියන එක..ආත්මයක් ඇවිස්සීමක් කවියෙන් වෙනවා.. උසස්පෙළින් පස්සෙ විශ්වවිද්‍යාලයේ පොත් පත් වල ආභාසය නිසා කවියට ආසාව වැඩි වුණා.. මුලින්ම කවි ලියන්න ගන්නෙ facebook එකේ..කවි ම නෙමෙයි ඒව කවි කෑලි කියන්න පුලුවන්..ටික ටික අමුණන්න පටන් අරන් ලියන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ලියපු කවි එකතු කරල පොතකට ගන්න හිතුවෙ ඒ නිසයි.. ඒ වගේම මගේ කවි කියවපු අයගෙත් මේක එක්තරා ඉල්ලීමක්.

මීනු කැමතිම කවියා, කවි පොත මොකක්ද ? මොකද්ද එයට හේතුව.

කැමතිම කවියා මහගම සේකර ශූරීන්..ඔහුගේ ප්‍රබුද්ධ කවි පොතට මං හරි කැමතියි.. සේකර ශූරින්ගෙ කවි වල තියනව සමාජ දැක්මක්.. ඔහුට පුලුවන් කමක් තිබුණා තැලෙන සමාජ ප්‍රශ්න ගැන හීනියට රිද්දන වචන ගලපන්න..ඒ වගේම හදවතට දැනෙන තැන් වලට හරියට ම කතා කරන්න.. ප්‍රබුද්ධ තුළ තියනවා මෙන්න මෙහෙම කවියක්

ඔප් නැඟූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
ඒ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්

වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනඟින් පිරී ගිය දුම්රියක
අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියෙන්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
(ප‍්‍රබුද්ධ)

සේකර ශුරීන්ට ලස්සන භාෂාවක් තිබුණා.. ඔහුට පුලුවන් වුණා වචන කිහිපයකින් කල්පනා ලෝකයට මිනිස්සුන්ව ගෙනියන්න.. ඒ ලිවීම හරි රහයි මට නම්..

කලින් වගේ නෙමෙයි දැන් කවි පොත් බොහෝ ප්‍රමාණයක් ලියවෙනවා. එලිදැක්වෙනවා. ඒ ප්‍රවණතාවය ගැන මීනුගෙ අදහස මොකක්ද ?

මං ඒක දකින්නෙ හොඳ විදියකට. මොකද මිනිස්සු අතින් කවි ලියවෙන්න ඕනෙ. Facebook වගේ සමාජ මාධ්‍ය හරහා කවි ලියන එක මෑත කාලෙක ඉදන් වැඩි වෙලා තියනවා.. තමන් ලියන කවියකට මිනිස්සු ආදරේ කරන බව දැනෙනකොට ඒ තෘප්තිය සල්ලි වලට ගන්න බෑ.. මිනිස්සුන්ට ඕනෙ එක්කො තම්න්ගෙ හැඟීම් එළියට දාන්න.නැත්තං තමංගෙ හැඟීමක් වෙන කෙනෙක් වචන කරල දැම්මාම ඒක විඳින්න..ඔය දෙක අතරෙ හැඟීමක් අකුරු කරන එක විශේෂයි..මෑතක ආපු අලුත් කවි පොත් වල ඒ මුදා හැරීම තිබුණා..ඇත්තටම ඒක සතුටුදායකයි මට අනුව..

කවිය සහ කවියා ගැන ලංකාවේ සමාජයේ මුල් බැහැගෙන තියන මතවාදය ගැන ඔබේ අදහස කුමක්ද ?

ලංකාවෙ මිනිස්සු කවියොන්ට ආදරේ කළා.තාමත් කරනවා.හැබැයි ඒ ආදරේ ඇතුළෙ සාහිත්‍ය කියන අංශයට මීට වඩා තැනක් හිමිවෙන්න ඕනෙ කියන එක මගේ මතය. කවිය අවියක්..ඒක සමාජයක පෙරළියක් කරන්න පුලුවන් දෙයක්.හැබැයි සමාජෙ සමහර මිනිස්සු ඉන්නවා කවියො එළියට දාන නිර්මාණ රාමු කරන්න එන. ඒ කියන්නෙ කවියොන්ට බලපෑම් එනවා” මේ විදියට ලියන්න එපා”, ” ඒක සාදාචාර සම්පන්න නෑ නේද?” වගේ කාරණා..හැබැයි මං කියන්නෙ කවියට ආදරේ කරනව නම් කොන්දේසි විරහිතව ආදරේ කරන්න ඕනෙ.. එහෙමයි කියල එන හැම කුණුහර්පයම බදාගන්න එක නෙමෙයි..වචන වලින් උද්දීපනයක් තියනව නම් එතන ඒ කවියෙන් මොනාහරි දෙයක් වෙලා තියනව.ඒ කියන්නෙ මොකක්ම හරි සාර්ථක ගතියක් තියනව කියන එක..

ඉස්සර කවිය බිහිවුනේ සාමාන්‍යය කම්කරු ජනතාව අතර. පැල් කවි,කරත්ත කවි, පතල් කවි, වගේ එක එක වෘතීන් සම්බන්ද වෙලා කවි සංස්කෘතියක් බිහිවෙලා තිබ්බා. නමුත් දැන් ඒක එක්තරා පැලැන්තියකට එක්තරා කොටසකට විතරක් සීමා වෙච්ච දෙයක් කියල මම කිවුවොත් මීනුගෙ අදහස මොකද්ද ඒ ගැන.

මෙහෙමයි ඔය කතාව මං මෙහෙම කිව්වොත්, ඉස්සර වෘත්තීන් එක්ක අපේ ජනතාව අතර බිහි වුණේ ජන කවි.. ජනයා අතරින් උපන් කවි ජනකවි.පාළුව මහන්සිය නිසා නිරායාසයෙන්ම උපන් කවි.ඇත්තටම ඒක කලාවක්..අද වෙනකොටත් කවි එන්නෙ ජනතාව අතරින්ම තමයි.ඒක වෘත්තිය පාදක කරගෙන නෙමෙයි හැබැයි.තමන් විඳින සමාජ වපසරිය අනුව උපදින කාරණාවක්.. පැලැන්තියක් කියල අපිට කුලකයක් ගන්න බෑ කියල මං හිතන්නෙ.මොකද සාහිත්‍යයට ඇලුම් කරන පිරිස කවි ලියනවා. සමාජෙට මුදා හැරපු නැති වටිනා කවි මේ මොහොතේ වුණත් ලියවෙන්න පුලුවන් කාගෙමහරි අතකින්.. අපි දන්නෙ නෑ ඇත්තටම ඒ ලියම කෙනා මොන ජාතියෙද කියලවත්..එතකොට අපිට පැලැන්තිය කියන කුලකය ඕකට ගන්න බෑ.. හැඟීමට ආදරේ අය කවියට ආදරෙයි කියල මං හිතන්නෙ..

බොහෝ දෙනෙක් කියනවා කවියාට යම් සමාජ වගකීමක් තියනවා කියලා. ඒ ගැන මීනු මොකද හිතන්නෙ.

ඔව් සමාජ වගකීමක් කියනවට වඩා මං ආසයි ඕක සමාජ කියවීමක් කියන්න..වගකීමක් කියන්නෙ පවරපු දෙයක්..කවියොන්ට සමාජෙන් වගකීමක් පවරනව කියන එක ම මොකක්දෝ හිර කිරීමක් වෙනවා. කවි වලින් හැම මොහොතෙම වගකීමක් දෙන්න බෑ.මොකද සමහර කවි තියෙන්නෙ පුලුවන් ආවේගෙන් ලියල එලියට දාපු.එහෙම ඒවගෙ වගකීමක් නෑ සැර හැඟීමක් තියෙන්නෙ..ඒ නිසා සමාජ වගකීමක් කියවට වඩා හොඳ සමාජ කියවීමක් තියෙන්න ඕනෙ කියන එක කවියොන්ට හරි නිදහස් වපසරියක්..

සමාජ ජාලා මාධ්‍ය වල විශේෂයෙන් ෆේස්බුක් වල කවි ලියන බොහෝමයක් අය ඉන්නව මීනුගෙ කවි වලට මීනුගෙ ලියවිමට සමාජමාධ්‍ය වලින් ලැබුන දායකත්වය කොහොමද ?

ඒ ගැන කියන්න ම ඕනෙ. මොකද මං කලින් කිව්ව වගේ මං සරසවියට ආපු මුල් කාලෙ කවි ලියන්න ගන්නෙ facebook එකේ. ඒ කාලෙ වෙනකොට තරමක මිතුරු හවුලක් තිබුණා..facebook එකේ කවි ලියනකොට ඒවට අගය කිරීම් වගේම අඩු පාඩුත් බොහෝ දෙනා කියල දුන්නා..ඒ හැමදේම එක්ක ටික ටික හොඳ පිරිසක් අඳුනගන්න පුලුවන් වුණා..ඇත්තඅ සමාජජාල වලින් අපිට විවිධ වර්ගයේ අදහස් තියන අය මුණගැහෙනවා ඒ අයගෙ අදහ්ස අපේ නිර්මාණ වලට ගොඩක් වටිනවා. බේබදු කුමාර ( රොශාන්) , චමල් අකලංක වගේ මිනිස්සු ආස දේ ලියන අය බිහිවෙන්නෙ සමාජ මාධ්‍ය හරහා.. ඉතින් ඒක හොඳ ඉඩක් තමන්ගෙ නිර්මාණ වලට හොඳ පන්නරයක් ගන්න..

ඉස්සර අපි දකිනව විශ්ව විද්‍යාල වල විද්‍යාර්ථයින් විශාල ප්‍රමානයක් සාහිත්‍යකරණය, කලාව එක්ක සම්බන්ද වෙනව. ඒ තත්වය අඩුවෙලා කියල මං කීවොත් මීනුගෙ අදහස මොකද්ද ?

අඩුවක් වෙලා කියල මං හිතන්නෙ නෑ.විශ්වවිද්‍යාලවල කලා වැඩ වලට ළමයි එන්න බොහොම කැමත්ත දක්වනවා.නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ දේශනවල පැමිණීම ඉතාම තදබල විදියට ක්‍රියාත්මක වෙන එක.. විවේකය ටිකක් අඩු නිසා විද්‍යාර්ථීන් එන්න අදි මදි කරනවා.. ජ පුරේ අපි සංවිධානය වෙන වේදිකාවෙන් මහපොළොවට, හිමිදිරිය වගේ කලා උත්සව වලට සහෝදර විශ්වවිද්‍යාල පවා එනවා.නමුත් මේවට පරිපාලන අංශවලින් ලොකු උදව්වක් නෑ..ඒ නිසා පිටතින් බලන අයට මේක පේන්නෙ දෙයක් වෙන්නෙ නෑ වගේ..සාහිත්‍ය ගැන කතා කලොත් නම් කාලයක් පොත් එළිදැක්වීම් වල හිස් බවක් විශ්වවිද්‍යාල වල තිබුණා..ලියන්න දක්ෂ වුණාට පොතක් කරන්න ගියාම එකට උදව් කරන්න විශ්වවිද්‍යාල ළමයි වෙනුවෙන් අරමුදලක් එහෙම නෑ..ඒ නිසා පසුබෑමක් තිබුණා..මෑතක නම් ජ පුරෙන් ,කැළණියෙන් කවි පොත් කිහිපයක් ම බිහි වුණා..මේ ඉඩෝරෙට පස්සෙ ආපු වසන්තය අපි රැකගන්න ඕනෙ වැලලෙන්න නොදී..

කවි වලින් විතරද මීනු සාහිත්‍යකරණයේ යෙදෙන්නෙ.. කෙටිකතා හෝ නවකතා හෝ වෙනත් ආකාරයකින් ග්‍රන්තකරණයේ යෙදෙන්න අදහසක් තියනවද ?

කවියට තමයි වැඩි කැමැත්තක් තියෙන්නෙ..ඊට අමතරව කෙටි කතා වලට කැමතියි..ජයතිලක කම්මැල්ලවීර , එරික් ඉලෙයප්පාරච්චි, මංජුල වෙඩි වර්ධන වගේ අයගෙ පොත් ආසවෙන් කියවනවා.. කෙටි කතා තව ගොඩක් අධ්‍යනය කරලා අත් හදාබැලීමක් කරන්න කැමැත්තක් තියනවා..

අවසාන වශයෙන් මීනුට තමන්ගෙ පාඨකයන්ට සහ කවි රසිකයන්ට කියන්න මොකක් හරි තියනවද ?

මං තාම මේ කවි ලෝකයට පුංචියි..ඉගෙනගන්න බොහෝ දේ තියනවා..පළවෙනි නිර්මාණය තුළ අඩු පාඩු තියන්න පුලුවන්.
ඒව හදාගෙන තව නිර්මාණ කරන්න බොහොම කැමත්තෙන් ඉන්නෙ..Welcome To බර්මියුඩා කාව්‍ය සංග්‍රහය මගේ කවි වලට ආදරේ අය සතුටින් වැළඳගනියි කියල හිතනවා.උත්සහයක් දරනවා ඉදිරියේදී ගීත කිහිපයක පද රචනය කරන්න..හැම දෙනාගෙම ආදරේ එක්ක හෙමින්, හරියට මේ ගමන් යන්න තමයි බලන් ඉන්නෙ….

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button