දේශීය

අධිකරණය තුළ ඥානසාර අන්දමින් හැසිරුණු නාගානන්දගේ නීතිඥභාවය වසර 3කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

රට පිළිගත් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ටද, සෑම දේශපාලනඥයෙකුටම පාහේ ද, විකල්ප මාධ්‍යයට ද, අධිකරණයට ද ආතක් පාතක් නොමැතිව බැන වදිමින් ජනාධිපති සිහිනයක ගැලී සිටින නීතිඥයෙකු වූ නාගානන්ද කොඩිතුවක්කු නමැත්තාගේ නීතිඥ භාවය වසර 3 කට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියෝග කෙළේය.

මීට හේතුවූයේ හොඳ විනිසුරුවරයෙකු ලෙස නීති සමාජය පිළිගත් විජිත් මළල්ගොඩ විනිසුරුතුමා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුව සිටියදී, 2015 දී, එතුමාට අපහාස වන අන්දමින් අධිකරණය තුල නාගානන්දගේ හැසිරීමයි. ඒ පිළිබඳ විනිසුරු තුමා විසින් වාර්තා තබාගෙන නාගානන්දට එරෙහිව කරන ලද පැමිණිල්ලක විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්දගේ නීතිඥභාවය වසර 3 කට අත්හිටුවන ලද්දේය. මේ තීන්දුව දුන්නේ අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෘ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.


ඥානසාර සහ නාගානන්ද

වීරවංශ පන්නයේ අවලාද අධිකරණය තුලදී විනිසුරුවරුන්ට එල්ල කිරීම නාගානන්ද පුරුද්දක් ලෙස කරගෙන යන අයෙකි. කිසිවෙකු වරදක් නොකී ශ්‍රී පවන් අගවිනිසුරුට පවා වරක් නාගානන්ද බැන වැදුනේ ය. මෙයත් ඥානසාර අධිකරණය තුල විනිසුරුවරුන්ට අපහාස වන අන්දමට හැසිරීමත් අතර වෙනසක් නැත. එකම වෙනස වූයේ නාගානන්ද නීතිඥ පට්ටමක් ගසා ගෙන සිටීම පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය වසර 3 ක නීතිඥ භාවය අහෝසි කිරීමෙන් පමණක් දඬුවම් කිරීම ඉතාම අඩුම දඬුවමක් ලෙස සැලකිය හැකි බව නීති සමාජයේ අදහසයි.


සිවිල් සමාජයට එරෙහිව පොලිසියට කළ ව්‍යාජ පැමිණිලි

කලකට පෙර රාවය පුවත්පත කඩා වැටීමට යද්දී එය ගොඩ ගැනීම් වස් අරමුදලක් ආරම්භ කළ අවස්ථාවේ නාගානන්ද නමැත්තා ඊටද එරෙහිව පොලිසියට පැමිණිලි කළේය. මෑත කලෙක රට පිළිගත් සිවිල් සමාජ ක්‍රියාධරයන් වන ගාමිණී වියන්ගොඩ, මහාචාර්ය සරත් විජේසූරිය වැනි මහත්වරුන්ටද එරෙහිව පොලිසියට පැමිණිලි කෙළේය. නමුත් ඒ පැමිණිලි විභාග කරන අවස්ථාවේදී නාගානන්ද පොලිසියට පැමිණියේ නැත.

ඔහු වෙනම තලයක හිඳ සමාජය කෙරෙහි දක්වන විවේචන වල බැලූ බැල්මට සත්‍යතාවයක්ද පෙනෙන නමුත් ඔහුට කිසිදු ප්‍රතිපත්තියක් නැත. හුදු ජනප්‍රියත්වය සඳහා පමණක් දොඩවන්නනෙකි.


එල්මෝ, වික්ටර් සහ නාගානන්ද

අධිකරණයේ වැඩ කටයුතු ගැන විවේචන තිබේ නම් එය කළ යුත්තේ අධිකරණය තුලට වැද විනිසුරුවරුන්ට අපහාස වන අන්දමින් හැසිරෙමින් මාළු නිහාල්ලා ලෙස නොවේ. මීට පෙර අධිකරණයට එරෙහිව විරෝධතා දැක්වූ එල්මෝ පෙරේරා, වික්ටර් අයිවන් වැනි පුද්ගලයෝ විනයානුකූලව සාර්ථක විරෝධතා දැක්වූවෝ වෙති. දූෂිත අගවිනිසුරු සරත් නන්ද සිල්වාට පස්ස නොබලා දුවන්නට පහර දුන් වික්ටර් අයිවන් ඒ සඳහා සාර්ථකම උදාහරණයයි. වික්ටර් අයිවන් ඒවා සිදුකළේ නාගානන්ද සේ අධිකරණය මැද්දට පැමිණ පිස්සෙකු සේ හැසිරීමෙන් නොවේ. අධිකරණයේ පැවැත්ම දුර්වල කරමින් නොවේ.


නාගානන්දගේ සත්‍ය ජොබ් එක

සත්‍ය ලෙසම නාගානන්ද යනු ලංකාවේ රේගුවේ නිල ඔත්තුකරුවෙකු ලෙස සේවය කරන්නෙකි. නීති විරෝධී ආනයන අපනයනයන් පිළිබඳ රේගුවට ඔත්තු දීමෙන් අල්ලාගන්නා භාණ්ඩ වලට ගහන දඩ මුදල් වලින් 60% ක් තරම් විශාල මුදලක් ඔත්තුකරුවාට ලැබේ. මේ තරම් විශාල කොටසක් ඔත්තුකරුවෙකුට ලැබීම වැරදිය. වැඩි කොටසක් යා යුත්තේ රජයට ය. ලංකාවේ පමණක් 60% ක් තරම් විශාල කුට්ටියක් ඔත්තුකරුවාට වෙන්වුවද වෙනත් රටවල එය 8% ක් තරම් කුඩා ප්‍රමාණයකි. නාගානන්දගේ සත්‍ය වෘත්තිය පෙර කී විශාල කුට්ටියක් ලැබෙන රේගු ඔත්තුකරුවාගේ වෘත්තියයි. එබැවින් වසර 3 කට ඔහුගේ නීතිඥ භාවය අහෝසි කිරී‌මෙන් ඔහුට කිසිදු පාඩුවක් සිදුනොවනු ඇත.


චන්ද්‍ර ප්‍රදීප්
(ලංකා ඊ නිව්ස් – 2019 මාර්තු 18, ප.ව 8:30)

Advertisements
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button