විශේෂාංග

කෝච්චියේ හිඟා කන ලක්ෂපතියා

“මේ දුම්රියේ ගමන් කරන නෝනලා මහත්තයලා මං ගැන වැරදියට හිතන්න එපා. මමත් මීට කලකට ඉස්සර ඔයගොල්ලෝ වගේම හොඳ රස්සාවක් කරපු කෙනෙක්. මගේ ඇස් දෙකට රසායනිකයක් වැටිලා අන්ධ වුණාට පස්සේ….

මෙවැනි අදා්නාවන් නගමින් දිනපතාම දුම්රියවලද බස් රථවලද සිඟමන් යදින්නෝ දුලබ නොවෙති. නීති කෙතරම් දැඩි කරන බව කීවද සිඟමනේ යෙදෙන පිරිසේ නම් අඩුවක් නොවන සේය.

මේ ලෙසින් මහජනයාට පීඩා වන පරිදි සිඟමනේ යෙදී පසුවදා දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ භාරයට පත්වූ හිඟන්නෙකුගේ කතාව අපට සිහිපත් කළේ චුල්ලසෙට්ටි ජාතකයේ එන මී කුණක් විකුණා සිටුවරයකු වූ චුල්ලන්තේවාසිකගේ කතාවය.

ගම්පහ උඩුගම්‍පොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේ සිඟන්නා අන්ධයෙකි. අවුරුදු හැටපහක් පමණ වන ඔහුගේ බිරිඳ බොහෝ කලකට පෙර මියගොසිනි. අන්ධ වුවද සුදු සැරයටියේ පිහිටෙන් තනිවම ගමන් බිමන් යා හැකි ඔහුට අවුරුදු 38 හා 40 වයසේ පසුවන දියණි දෙපළක්ද වෙති.

දූවරු දෙදෙනාම විවාහකය. ඔවුන්ටද දෑවැද්ද ලෙස ලබා දී ඇත්තේ දෙමහල් නිවාස දෙකකි. ඒවා ඉදිකර ඇත්තේ හෙතෙම අවුරුදු 25ක් තිස්සේ සිඟාකෑමෙන් ලද ආදායමෙනි. හැමදාම උදේ පාන්දර 5 පමණ වන විට උඩුගම්‍පොළ සිට ත්‍රිරෝද රථයකින් ගම්පහ දුම්රිය ස්ථානයට ළඟාවන ඔහුගේ ටාගට් එක වන්නේ දවස අවසාන වන විට රුපියල් පන්දහසක් උපයා ගැනීමය. ඒ අනුව ඔහුගේ දළ මාසික ආදායම රුපියල් එක්ලක්ෂ පනස්දහස පනී.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමග හෙතෙම හෙළිකර ඇති තොරතුරු අනුව ඔහුගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ පහකට අධික මුදලක්ද පවතින අතර විවාහ වී දූ දරුවන්ද ලබා සිටින දියණියන් උදෙසා රථවාහන පවා මිලට ගෙන දීමට ඔහු සමත් වී තිබේ. ඊට අමතරව මේ දිනවල ඔහු තවත් නිවසක් තනන්නේ බැරි වූ කලෙක කුලියට දී ආදායමක් ලබන බලා‍පොරොත්තුවෙනි. ඒ අතින් බලන කල ඔහු කළමනාකරණ උපාධිධාරියකුටත් වඩා විශිෂ්ට කළමනාකරුවෙකි.

සමහර හිඟන්නන් දුටු මනතින් දුඟදටද පෙනුමටද කීයක් හරි දී එළවා ගන්නට හිතෙන්නේ වුවද මේ අපූරු හිඟන්නා නම් රස්සාවට බහින්නේ ක්ලීන් සූට් එකෙනි. තනි සුදු ඇඳුම හැඳ සුදු සැරයටියද ගෙන පරෙස්සමට දුම්රියට නගින මොහු මගීන් අමතන්නේ සංවේදී ස්වරයෙනි.

මගේ බිරිඳ නැතිවෙලා බොහෝ කලක්. අන්ධ මම ඉස්කෝ‍ලේ යන දරුවෝ දෙන්නෙකුත් බලාකියාගෙන යන්තම් කාලා ඇඳලා ඉන්නේ ඔබතුමන්ලා දෙන කීයෙන් හරි තමයි.

මෙසේ සවස හය හත වනතුරු සිඟමනේ යෙදෙන ඔහු හැන්දෑවට නිවසට යන්නේද ත්‍රිරෝද රථයකිනි. වෙනත් හිඟන්නන් දවස පුරා සිඟමන් යැද උපයා ගන්නා මුදල අරක්කු තැබෑරුමට පූජා කළද මොහු එහෙම නාස්තිකාරයකු නොවේ.

පසුගියදා සිදුකළ දුම්රිය පරීක්ෂාවකදී ගම්පහත් කොළඹ කොටුවත් අතරදී දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ ඇස ගැටුණු මේ සිඟන සිටාණෝ තමා පස්විසි වසක් තිස්සේ ජීවිතය ගොඩනගා ගත් සැටි නිලධාරීන් හමුවේ අනාවරණය කර ඇත්තේ ඇඟට පතට නොදැනීය. ප්‍රශ්න විමසීම් ආදිය අවසන් වූ පසුව අවසානයේ දුරකථන ඇමැතුමක් දී ගෙන්වා ගත් දියණියක අදාළ දඩ මුදල් ආදිය ගෙවා ඔහු කැඳවාගෙන ගොස් ඇත්තේද ඔහුගේම මෝටර් රථයකිනි.

මගීන්ට පීඩා කරමින් මෙන්ම විවිධාකාර බොරු ප්‍රවාද ඉදිරිපත් කරමින් දුම්රියේ සිඟමනේ යෙදෙන්නන් දුම්රිය ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවැරීමට හැකියාව ඇති අතර ඊට අමතරව වලංගු ප්‍රවේශ පත්‍රයත් නොමැතිව දුම්රියෙහි ගමන් කිරීමේ වරදට දඩ මුදලක් අය කරගැනීමටද හැකියාව තිබේ.

මෙසේ කරදරකාරී ලෙස මගීන්ට බාධා කරන සිඟන හා අනවසර වෙළෙඳ පිරිස් නීතියේ රැහැනට කොටුකිරීම උදෙසා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. දුම්රිය ආරක්ෂාව පිළිබඳ අධිකාරී අනුර ප්‍රේමරත්නගේ මෙහෙයවීමෙන් සහකාර ආරක්ෂක අධිකාරී (මධ්‍යම) එම්.පී. ජයන්ත හා සහකාර ආරක්ෂක අධිකාරී (අපරාධ නිවාරණ රාජකාරී) ඕ.කේ. ලලිත් කුමාර යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාකිරීණ දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන යොදා තිබේ. (මධ්‍යම) එම්.පී. ජයන්ත හා සහකාර ආරක්ෂක අධිකාරී (අපරාධ නිවාරණ රාජකාරී) ඕ.කේ. ලලිත් කුමාර යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාකිරීණ දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන යොදා තිබේ. මෙවැනි මෙහෙයුමකදී හමුවූ තවත් අපූරු යාචකයකුගේ වයස අවුරුදු 47කි. හෙතෙම අගනුවරින් බොහෝ ඈත පළාතක අයෙකි. බිරිඳ හා දරුවා ගම් පළාතේ රඳවා ඔහු මෙහි පැමිණ සිඟමනේ යෙදෙන්නේ දරුවාට පවතින අසනීපයක් හුවා දක්වමිනි. ඔහුද ජැන්ඩියට අඳින්නෙකි. දවසට රුපියල් පන්හයදාහක ආදායම් උපයන ඔහුට සැමියා අතහැරගිය විසිහතර වියැති කාන්තාවක් අහම්බෙන් මුණගැසී ඇත්තේය. ඇගේ මවද ඔහුට වඩා අඩු වයසේ පසුවන තැනැත්තියකි. මේ අය කොළඹ පදිංචිකාරියෝ වෙති. ගමේ යාම ටිකෙන් ටික අඩුකළ මොහු දවසට හොඳ ආදායමක්ද උපයාගෙන අරක්කු භාගයක් හා බුරියානි පැකට්ටුවක්ද ගෙන කොළඹ අලුත් බිරිඳගේ නිවසට යන්නේ තමන් ලොව තෘප්තිමත්ම රැකියාව කරන්නා ලෙසිනැයි නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ උජාරුවෙනි. දානය පරිත්‍යාගය අපේ සංස්කෘතිය තුළ බද්ධ වී එන කාරණයක් වුවද හිඟමන් දීමට පෙර දෙවරක් සිතාබැලිය යුත්තේ මහපාරේ රඟපාන බොහෝ දෙනෙකුගේ ජීවිතවල ඇතුළාන්තය මෙපරිද්දෙන් වන බැවිනි.


මිහිරාන් කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button