විශේෂාංග

විළිරුදාවෙන් පෙළුණු කැස්බෑ ධේනුවට අංගුලිමාල පිරිත කියපු මනුස්ස පුත්තු

මිනිසා මිහිමත සිටින දියුණුම හා ශිෂ්ටසම්පන්නම ජීවී කොට්ඨාසය බවට විද්‍යානුකූලව සනාථ වී අවසන්ය. එසේ වූ පමණින් මේ මුළු මහත් විශ්වයේම තනි උරුමක්කාරයා බවට පත්වීමට මිනිසාට නොහැකිය. මන්දයත් මිනිසාගෙන් වියුක්තව පවතින ගහකොළ, සතා සීපාවාටද මේ මහ පොළොවේ අයිතියක් ඇති බැවිනි. නමුත් මෑතක සිට අපට අසන්නට, දකින්නට සිදුවූ සත්ත්ව හා ශාක ප්‍රජාවන්ට එරෙහි මානව අකටයුතුකම් පිළිබඳව කතා කරන විට පෙනී යන්නේ මිනිසා තමාට රුචි අයුරින් අනෙකා නොතකා, ආත්මාර්ථකාමී අයුරින් මුළු මහත් විශ්වයේම පාලනය තමා අතට නතු කොට ගෙන ඇති සෙයකි. එහෙත් ඒ සියල්ල සොබාදහම් නීතිය නොතකමින් කරන්නා වූ විනාශයක් බව මනසින් උසස් යැයි සම්මත බොහෝ මානවයන්ට නොපෙනීම දූර්භාග්‍යයකි. එවැනි නොපනත්කම් කරමින් දිගින් දිගටම තම රුදුරු බව ප්‍රකට කරන්නා වූ බොහෝ මිනිසුන් අතරින් එක් අයකු හෝ දෙදෙනකු ළඟ තවමත් මානව දයාව පිරිපුන් මිනිස් හදවත් ඉතිරිව ඇත. අප මේ හෙළි කිරීමට යන්නේද එවන් මිනිසකු පිළිබඳ කතාවකි.

මිනිසාට පමණක් නොව සතා සීපාවාටද නිදහසේ ආරක්‍ෂිතව ජීවත් වීමට අයිතිය ඇති බව කුඩා අවධියේ සිට වටහාගෙන සිටි ඩිෂාන් තිලක්‍ෂණට අහිංසක තිරිසන් සත්ත්වයකුගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට ඉතා දුර්ලභ අවස්ථාවක් උදා විය. මාතර හිත්තැටිය ප්‍රදේශයේ ජීවත් වන රැකියා විරහිත උපාධිධාරියකු වූ තිලක්‍ෂණ තම උපාධිය නිමකොට වසර දෙකහමාරක් ගෙවී ගොස් තිබුණද සුදුසු රැකියාවක් ලැබී තිබුණේ නැත. එබැවින් ඔහු නිරන්තරයෙන් රජයේ රැකියා සඳහා අයැදුම් කළේය.

පසුගිය දිනෙක කොළඹ පිහිටි අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය වෙත ඔහු පැමිණෙන්නේද එහි තිබූ සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වීමටය. එය හමාර කොට මාතර හිත්තැටියේ තිබූ තම නිවෙස වෙත ගිය ඔහුට එදින රාත්‍රි 11.00ට පමණ දුරකථන ඇමැතුමක් ලැබිණි.

‘තිලක්‍ෂණ අයියේ ඔයා ගෙදරද, එළියට ගිහින් මොනවා හරි කමුද? බෝඩිමේ අද මට කෑම නැහැ ඒකයි’ ඒ ඇමැතුම ලැබුණේ තිලක්‍ෂණ සමීපව ඇසුරු කරනා තරුණයෙක්ගෙනි. ඔහුගේ ඉල්ලීම අනුව තිලක්‍ෂණ ඔහුවත් රැගෙන මාතර නගරයේ ඇති අවන්හලකට ගොඩ වූයේ රාත්‍රි ආහාරය ලබා ගැනීමටය. ආහාර ගැනීමෙන් පසුව දෙදෙනාට අපූරු අදහසක් පහළ විය. ඒ පොල්හේන මුහුදු තීරය වෙත යෑමටය. වේලාව රාත්‍රි 12.45ට පමණ විය. රාත්‍රි කාලයේ මුහුදු තීරය ඉතාමත් සුන්දර තැනක් බවට පත්වන බව අත්දැකීමෙන් දන්නා ඔවුහු එයට මහත් සේ ඇලුම් කළහ.

හොඳින් සඳත් පායා ඇති එදින මුහුදේ සුන්දරත්වය විඳීමට සිතා තම යතුරුපැදිය වෙරළ වෙත පදවන අතරතුර එහි ලයිට් එළිය අමුතු දිස්නය දෙන යමක ගැටෙන්නට විය. ඒ දිස්නය අනුව එය සත්ත්වයකුගේ දෑසක් බව ඔවුනට තහවුරු විය. නමුත් ඒ තරමක් විශාල සත්ත්වයකුගේ බව ඔවුනට අවබෝධ විය. අවදානම නොතකමින් ඔවුහු දෙදෙනා එම සත්ත්වයා දෙසට යන්නට වූහ.

එතැන් සිට විස්තරය අපට පැවැසුවේ තිලක්‍ෂණයි.

‘මම හරිම ආසයි හොඳට හඳ පායලා තියෙන දවස්වලට බීච් එකට වෙලා ඉන්න. හුළං වැදි වැදී කල්පනා කරන එක සුන්දර අත්දැකීමක්. එදා මායි තව මල්ලී කෙනකුයි තමයි බීච් එකට ගියේ. බයික් එකේ ලයිට් එක වැදුණේ සතෙක්ගේ ඇස්වලට. අපි බයික් එක නවත්තලා ඒ පැත්තට ගියාමයි දැක්කේ ඒ බිත්තර දාන්න ආපු කැස්බෑවෙක් බව. උෟ හරිම බයෙන් වගේ හිටියේ. මේ වගේ අවස්ථාවල සමහරුන් බලන් ඉන්නේ කැස්බෑවෝ දඩයම් කරන්නයි. උගේ බිත්තර ගන්නයි. ඒ වගේ අවදානමක් තියෙන වෙලාවක මට ඒ සතාව වෙරළේ තනියම දාලා යන්න හිතුණේම නැහැ.

ඒ වගේම තමයි අනෙක් පැත්තට අපි බිත්තර දාන කැස්බෑවෙක් ගාව ඉන්නවා දැක්කොත් අපිව අත්අඩංගුවට ගන්නත් පුළුවන් අපිව සැක කරලා. ඒ අවදානමත් අපිට තිබුණා. පස්සේ මම මගේ තව දන්න මල්ලී කෙනෙක්ට කෝල් කරලා මේ සිද්ධිය කිව්වාම ඒ මල්ලි කිව්වා කැස්බෑවා පැටව් දානකම් ඉඳලා බිත්තර දාපු වළ හොඳට වහලා කැස්බෑවා මුහුදෙන් ආපු සහ ගියපු උගේ අඩි සලකුණු මකලා දාලා එන්න නැත්නම් හොරු ඇවිත් බිත්තර ටික ගනී කියලා. එතකොට පාන්දර 1.30ට වගේ ඇති. බය පැත්තකට දාලා සතාගේ ජීවිතේ ගැනයි බිත්තරවල ආරක්‍ෂාවයි ගැන හිතලා අපි එතැන ඉන්න තීරණය කළා. ඒ අතරතුර හීන් කෙඳිරියක් නඟමින් කැස්බෑවා හාරපු වළට බිත්තර දාන්න පටන් ගත්තා. බිත්තර දාලා කැස්බෑවා වළ වහලා එයාගේ කටුවෙන් වළ තැළුවා. 2.45ට විතර ඒ වැඩේ ඉවර වුණා. ඊට පස්සේ උෟ අර වළ වටේට ගාත්වලින් රවුමක් වගේ ඇන්දා ඒක හරි දුර්ලභ අත්දැකීමක්.

මට තවම මතක් වෙන්නේ උෟ වේදනාවෙන් හීන් කෙඳිරියක් නඟමින් බිත්තර දාපු මොහොත. උගේ ඇස්වල තිබුණු බය, වේදනාව මම හොඳටම දැක්කා. මට ඉබේම අංගුලිමාල පිරිත කියැවුණා. මිනිස් අම්මා කෙනෙක් වෙනුවෙන් කියන පිරිත මම අෑතින් පේන පොල්හේන පන්සලේ කොත් කැරැල්ල දිහා බලාගෙන කැස්බෑ අම්මට කිව්වා. සේරම යහපත් විදියට ඉවර වෙලා කැස්බෑවා මුහුදට ගියා. අපි අඩි සලකුණු මකලා දැම්මා.

සාමාන්‍යයෙන් බිත්තර දඩයමේ එන හොරුන් උල් යකඩ කූරක් අරගෙන ඇවිත් වෙරළට ඇන ඇන බලනවා. බිත්තර තියෙනවා නම් ඔවුන් හොයා ගන්නේ එහෙමයි. ඉතින් අපිට දැන් බිත්තර ටික එහෙම දාලා යන්නත් බැහැනේ. මොකද කැස්බෑවා බිත්තර ටික දැම්මේ විදේශිකයන්ට ටියුබ් පදින්න කණු හිටවන තැනක. ඒ නිසා කොහොමත් අවදානමක් තියෙනවා. පස්සේ අපි ඒ කිට්ටුව තියෙන මිරිස්සේ නාවික හමුදා වෙරළාරක්‍ෂක මූලස්ථානයට දැන්වුවා. අපරාධ විමර්ශන අංශයේ නිලධාරි මහත්වරුන්ටත් කතා කරලා කිව්වා. අන්තිමේ වළ හාරලා බිත්තර ටික ගත්තා. බිත්තර 168ක් තිබුණා. ඒ සේරම ආරක්‍ෂාකාරීව නාවික හමුදා මූලස්ථානයට අරගෙන ගියා.

සාමාන්‍යයෙන් දවස් 40ක් 45ක් ගියාම බිත්තරවලින් පැටව් එළියට එනවා. දින ගණන් හරියටම හදලා බැලුවම එදා ආරක්‍ෂා කරපු බිත්තරවලින් පැටව් ටික එළියට එන්නේ මගේ උපන් දිනය දවසෙමයි. ඒක මට ලොකු සතුටක්. පුංචි කැස්බෑ පැටව් 168 දෙනෙක් ජීවිතේ එළිය දකින්නේ හරියටම එදාට. මම ලොකු පිනක් කළා වගේ මට දැනෙනවා.

මාතර හිත්තැටිය කියන ගමේ ජීවත් වෙන මට මගේ අම්මා තාත්තා මනුස්සකම කියලා දුන්නා. මට බාල තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා. මම එයාලටත් කියන්නේ හැමවෙලේම අනෙක් අය ගැනත් හිතන්න කියලා. මම කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. නමුත් තවම මට රැකියාවක් නැහැ. නිකන් ගෙදරට වෙලා ඉන්න මම කැමැති නැහැ. ඒ කාලේ උපරිම අයුරින් යොදා ගන්න ඕනා හරි දේ කරන්න. ඒ නිසා මම දැනට මානව හැකියා සංවර්ධන උපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. තරුණ තරුණියෝ කිහිප දෙනෙක් මගේ යටතේ පුහුණු වෙනවා. එදා මාත් එක්ක ගිය මල්ලීත් ඒ එක්කෙනෙක්.

මම මේ සතුටුදායක සිදුවීම ෆේස්බුක් දැම්මම මට විවිධ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අය මාව අගය කළා. ඒ අතරේ සමහරු ඇහුවා මොකක්ද ඒ කරපු මෝඩ වැඩේ කියලා. ලක්‍ෂ ගාණකට පයින් ගැහුවා නේද ඇහුවා. මම ඒ කියපු අයට කිව්වේ මැරෙන මොහොතේ හදවත සැහැල්ලුවෙන් මැරෙන්න මිසක් සංසාරේ පුරාවට පව් ගෙනියන්න ඕනි නැහැ කියලයි. තවත් සමහරු කිව්වා ඒ අයත් මම වගේ කරනවා කියලා. මගේ සතුට මම වගේ මේ විදියට කැස්බෑ ජීවිත හා බිත්තර ආරක්‍ෂා කරන්න තව එක්කෙනෙක් හරි පෙලඹීමයි. ඒ පණිවුඩේ සමාජගත කරන්න ඕනි නිසායි මම මේක ෆේස්බුක් දැම්මේ. මට හිතෙනවා ඒ වැඩේ යම්තාක් දුරට සාර්ථකයි කියලා. මම මැරෙන මොහොත වෙනකම් මට ඒ කැස්බෑ අම්මගේ වේදනාත්මක ඇස් දෙකයි, මම කරපු යහපත් ක්‍රියාවයි මතක් වෙයි. මට ඕනෑ හැමවෙලේම යහපත් දෙයක් කරන්න විතරයි. අනෙක් අයත් ඒ විදියට හිතනවා නම් මේ ලෝකේ ගොඩක් ලස්සන තැනක් වෙයි.

ඩිෂාන් තිලක්‍ෂණ ඒ මොහොත සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. සැබැවින්ම ඔහු තම ජීවිතය අවදානමක දමා ගනිමින් කළ එම ක්‍රියාව අගය කළ යුතුය. තිලක්‍ෂණ අතින් ඒ කැස්බෑවකුගේ ජීවිතය හා බිත්තර සුරක්‍ෂිත වුවද බොහෝ කැස්බෑවුන්ට ඇති අනතුර ඉවත් වී නැත. පරිසරවේදීන් පවසන ආකාරයට සාගරවාසී කැස්බෑවුන් ලොව වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති සත්ත්ව කොට්ඨාසයක් බවට රතුදත්ත ලේඛනයෙහි දක්වා ඇත.

මුහුදට දෛනිකව එක්වන ප්ලාස්ටික්, පොලිතීන්, තෙල් වැනි විස රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් බෝට්ටු හා නැව්වල ගැටීමෙන් ධීවර දැල්වල පැටලීමෙන් ආහාරයට ගැනීමෙන් දඩයම් කිරීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් රැසක් කැස්බෑ වඳවීමට හේතු වී ඇත. සාගර කොරල් පද්ධතිවල ස්ථාවරත්වය ආරක්‍ෂා කිරීම, මුහුදු පරිසර පද්ධති ස්ථාවර කිරීම, ආහාර ජාල ඇති කිරීම, වෙරළ ශාක ප්‍රජාවට අවශ්‍ය පාංශු පෝෂක සැපයීම ආදී පාරිසරික මෙහෙයන් රැසක් ඉටු කරන කැස්බෑවන් මෙසේ වඳ වී යෑම මුළු මහත් සොබාදහමේම පැවැත්ම බිඳ වැටීමට හේතුවකි. වසර දසලක්‍ෂ ගණනක් සිට වූ පරිණාමය සමඟ පරිසරයට අනුවර්තනය වූ සත්ත්ව කොට්ඨාසවලින් පෘථිවියේ වාසය සඳහා ගැළපෙනම අනුවර්තන සත්ත්වයා ලෙසින් සැලකෙන මෙම සත්ත්ව විශේෂය රැකගැනීම මුළු මහත් සමාජයේම යුතුකමකි.

1972 නීතිගත වූ ශ්‍රී ලංකා වනසත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනතේ ධ්ධ්ධ් වැනි කොටසේ 30 වැනි වගන්තියට ප්‍රකාරව ‘ඇ’ සිට ‘උ’ දක්වා වගන්ති තුළ කැස්බෑවන් මැරීම හා බිත්තර විකිණීම, හානි කිරීම ආදී කාරණා ගණනාවකට එරෙහිව නීති සම්පාදනය කොට තිබුණද රජයේ හා පෞද්ගලික සංරක්‍ෂණ මධ්‍යස්ථාන පිහිටුවා තිබුණත් තවමත් කැස්බෑ දඩයම හා බිත්තර විකිණීම අවසන් වී නැත. ඒ නයින් බලන කල පෙනීයන්නේ දියුණු ලෝකය තුළ දඬුවමට හා නීතියට වඩා ප්‍රගතිශීලී යමක් කළ හැකි වන්නේ යහපත් ආකල්පවලින් හා ස්වයං විනයෙන් හා ස්වයංවාරණයෙන් යුක්ත වූ විට පමණ යන්නය.


අරුණි මල්ලවආරච්චි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close