විශේෂාංග

ශ්‍රී ලංකා පොලිසිය – අපහාස කරන ෆේස්බුක් තරුණයින් ඇල්ලීම හා පාර්ලිමේන්තුවේදී ගුටි කා නිහඬ වීම

වව්නියාව, යාපනය A9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියකට අල්ලස් දෙන ආකාරය නිරූපණය කරමින් සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝවක් නිකුත් කළ තරුණයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ 2019 ජනවාරි 04 වනදාය.

පොලීසිය සමච්චලයට ලක් කිරීම, පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබාදීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද පොලිසිය ක්‍රියා කළේය.

එසේම ෆේස්බුක් හරහා පිටිගල පොලිසියේ නිලධාරීන්ට අපහාස වන වැකි පළ කළේයැයි පොලිසිය විසින් 2019 පෙබරවාරි 19 වනදා ද 22 හැවිරිදි තරුණයකු අත් අඩංගුවට ගනු ලැබිණි.

මේ, සාමාන්‍ය ජනතාව, තරුණයින් පොලිසිය හාස්‍යයට නංවමින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ යමක් පළ කළ සැණින් සිය ගෞරවය සම්බන්ධයෙන් කුපිත වී පොලිසිය හැසිරෙන ආකාරයයි. දෙවන සිදුවීම කෙසේවෙතත් පළමු සිදුවීම ගැන සලකා බැලූවිට පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නා බව රටම දන්නා බවත් එහි අමුතුවෙන් අපහාස කිරීමට දෙයක් නැති බවත් සඳහන් කළ යුතුමය. ඉතාම මෑතකදීත් පොලිස් නිලධාරියකු මේ සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් ද නියම විය. එහෙත් පොලිසියට අල්ලස් ගැනීමටත් සමාජයේ ගෞරවයෙන් සිටීමටත් දෙකම අවශ්‍යය.

එහෙත් 2018 නොවැම්බර් 16 වනදා පොලිස් නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් මන්ත්‍රී කණ්ඩායමක් අතින් දැඩි පහරකෑමකට ලක්විය. විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ අතින් අදිමින් බැන වදින අයුරු, තර්ජනය කරන අයුරු, ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියකුගේ කම්මුලට ගසන අයුරු, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ නිරෝෂන් ප්‍රේමරත්න යන මන්ත්‍රීවරුන් පොලිස් නිලධාරීන්ට පුටුවකින් දමා ගසන අයුරු සහ තවත් මන්ත්‍රීවරුන් රැසක් විසින් පොලිස් නිලධාරීන්ට පොත්පත් වලින් දමා ගසන අයුරුත් අවසානයේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා විසින් පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ද්‍රාවණයකින් දමා ගසන අයුරුත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එදින දැක ගැනීමට හැකිවිය.

ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වන පොලිසිය මාස තුනක් ගත වී ඇතත් තමන්ට පහරදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් මෙතෙක් ගෙන නැත. අවම වශයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා පැමිණෙන ලෙස තෙවතාවක් තිස්සේ දැනුම් දුන්නත් නොපැමිණි මන්ත්‍රීවරුන් පස් දෙනාවත් සම්බන්ධයෙන් කිසිවක්ම කිරීමට පොලිසිය අපොහොසත්ය. මන්ත්‍රීවරුන්ගෙන් ගුටි කෑමෙන් පොලිසියේ ගෞරවය ඉහළ යන බවක් පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිසිය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා සිතා සිටිනවාදැයි අපි නොදන්නෙමු.

කෙසේවෙතත් “උස් තැන් දැක හැකිළෙන්නේ – මිටි තැන් දැක පුප්පන්නේ” යන නිවට න්‍යාය පොලිසිය විසින් මෙහිදී ක්‍රියාත්මක කරමින් සිටින බව නම් පැහැදිලිය. සාමාන්‍ය ජනතාව ඉදිරියේ ඉහටත් ඉහළින් සිය ගෞරවය ඔසවා ගෙන සිටිනා පොලිසිය, ජනාධිපතිවරයාගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේදී එය ගුලිකර අහවල් තැන ඔබාගෙන සිටී.

ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය ඒ ආකාරය !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button