විශේෂාංග

රුක්මණී දේවියගේ වාහනය හා ගැටුණු බවුසරය සොයා 41වසරකට පසු කල ගවේෂණය

රුක්මණී දේවිය කවුද?…. ඇය රටට කළේ මොනවදැයි යන අටුවාටිකාවට වඩා මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය කීම වැදගත් වුවද, රුක්මණී දේවියව එදත් අදත් මතුවටත් හදුන්වා දිය හැක්කේ එකම ගීත කෝකිලාව, එකම නිළි රැජිණ ලෙසය. ඒ අතරම මෙලෙස ඌණ පූර්ණයක් දිය හැක. රුක්මණී දේවිය යනු මගේ සෙනෙහෙබරම හිත මිතුරිය කියාත්ය.

ඇයගේ වත මෙන්ම, ඇයගේ හඩ මෙන්ම ඇයගේ හදවතද කෙතරම් සුන්දර බව නොදන්නා අයෙක් නැත. එතරම් නිහතමානි, සුන්දර කාන්තාවකගේ හිතේෂීය මිතුරෙක් වීමට මා ලද භාග්‍ය කෙතරම් දැයි කිව නොහැක. මා ඇයට දැක්වූ ගෞරවනීය සෙනෙහසට ඇය ප්‍රතිචාර දැක්වූයේ මා ඇයගේ පවුලේම කෙනෙක් ලෙසට පිළිගෙනය. එතරම් ලෙන්ගතුව සිටි මා ළබැදි මිතුරිය, රිය අනතුරකින් මිය ගිය ආකාරය කිසිවෙකුටත් අමතක නොවේ. හොඳ අයව දෙවියන් ඉක්මනට තමන් ලඟට ගන්නේ, දෙවියන්ට ඒ හොඳ අය සමඟ බොහෝ කාලයක් සිටින්නට උවමනා නිසාය. රුක්මණී දේවියවත් දෙවියන් ඉක්මනට ගත්තේ ඒ නිසාය.

1978 ඔක්තෝබර් මාසයේ 28 වන දින ප්‍රවීන කැමරා ශිල්පී දයා පෙරේරා විසින් පදවා ගිය හයි එස් වෑන් රථය දයා පෙරේරාට නිදි මතට ඇහැ පියවුණු සැනින් එය ජා ඇල තුඩැල්ල හන්දියේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත්ව තිබූ 24ශ්‍රී0862 දරන තෙල් බවුසරය හා ගැටුණි. එයින් රුක්මණී දේවිය හා දයා පෙරේරා එතැනම මිය ගියහ.

දින දෙකකට පසුව පැවත්වීමට නියමිත ඇයගේ ‘ස්වර්ණ ගී’ ගීත ප්‍රසංගයේ සංවිධාන කටයුතු කරමින් රැකියාවක් සඳහා පානදුරේ ගොරකාපොල සිට පැමිණ ඇයගේ මීගමුවේ බෝලවලානේ නිවස අසලම බෝඩිමක නේවසිකව සිටින මම, ඇය මාතර උයන්වත්තේ සංගීත ප්‍රසංගයට පෙර රාත්‍රියේ ගොස් එන තුරු ඔක්තෝබර් 28 හිමිදිරියේ ඇයගේ නිවස අසල රැඳී සිටියදී ඇසුනු අසුභ ආරංචිය (රිය අනතුර) සිදුවී විනාඩි 15 කට පමණ පසු මීගමුවේ සිට කොළඹ බලා යන පොල් ලොරියක නැගී අනතුර සිදුවූ ස්ථානයට ගිය මට මගේ හිතේශීය මිතුරිය ගේ නිසල දේහය මහපාරේ අයිනක තැන්පත් කරලා තියන දැකීම තරම් සිත සසල කරවන සිදුවීමක් මින් පෙර මට සිදුවී තිබුනේ නැත. අදද එම දර්ශනය මට මැවී පෙනෙන අතර, දැනුදු එය මට දරා ගැන්මට නොහැක.

හෙට්ටිපොළ පඬුවස්නුවර, විවිධ සේවා සමූපකාර සමිතියට, රුක්මණී දේවියව රැගෙන ගිය හයිඑස් රථය හැප්පුණු 24ශ්‍රී0862 දරණ බවුසරය දැන් අයිතිය පවරා තිබෙන බවත්, එය දැන් හෙට්ටිපොළ ක්‍රියාකාරීව තිබෙන බවත්, මා දැනගත්තේ ආනන්දනීය සිංහළ සිනමාවේ සමාජීකයෙක් වන නීල් ඉන්ද්‍රජිත් හේරත් මහතාගෙන්ය.

රුක්මණී දේවියගේ අනතුර සිදූවී වසර 41 කට පමණ පසුය මට ඒ ආරංචිය ලැබුනේ. මා වහා හෙට්ටිපොළ ගියේ එම බවුසරය යළි දැක ගැන්මටය. නීල් ඉන්ද්‍රජිත් හේරත් මහතා දුන් ඔත්තුව නිවැරදිය. එතැන මා හද දැවූ ඒ බවුසරය තිබුනි. මෙම අනතුරේ වරද එම බවුසරය එලවූ රියදුරු අතේ නොවුනද, මට එම බවුසරය දැන් වුවද පෙනෙන්නේ රුක්මණී දේවියව ගිල ගන්නට ආ රාක්ෂයෙකු ලෙසය.

ඒ කෙසේ වෙතත්, මෙම බවුසරය කෞතුක වස්තුවකි. මෙය ඇත්තටම තිබිය යුත්තේ මීගමුවේ රුක්මණී දේවී අනුස්මරණ ශාලාවේය.

මෙම කෞතුක වස්තුවක් බදු වූ ⁣බවුසරය සමඟ ඡායාරූප කීපයක් ගැනීමට මා අවසර ගතිමි. එයට එම සමූපකාර සමිතියේ ප්‍රවාහන කළමණාකාර වූ ඊ. ලක්ෂමන් මහතා ඉමහත් සේ උපකාර කළේය.

දැන් ඔබ දකින්නේ මා එම බවුසරය සමඟ ගත් ඡායාරූප කිහිපයයි.

මගේ සි⁣ත 41වසරක් වූ දුක්බර අතීතයට පියමං කරයි. ලොව පහලවූ අනේක දක්ෂතාවයකින් හෙබි දුර්ලභ කාන්තාවක් වූ රුක්මණී දේවියව, මගේ හිතේශීය මිතුරියක් කරගැන්මට මා වාසනා ලැබුවද, අද අය ⁣නොමැතිව දැනෙන විප්‍රයෝගයේ වේදනාව කෙතරම්ද?

“කියන්න රන්කඳ…. මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා….”


ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button