සමාජ

“පෝර්ට් සිටි – එක නගරයක් වෙනුවෙන් නගර රැසක් වැනසීමක්”

- පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය

වසර දෙකකට අධික කාලයක සිට ‘පෝර්ට් සිටි’ (වරාය නගර) ව්‍යාපෘතිය සඳහා මීගමුව සහ ඒ අවට මුහුදෙන් නැව් මගින් වැලි පොම්ප කරනු ලැබීම නිසා බටහිර සහ වයඹ මුහුදු තීරය මුහුදු කෑමෙන් දරුණු විනාශයකට ගොදුරුව ඇතැයි ‘පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය’ චෝදනා කරයි.

“පෝර්ට් සිටි ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන්නේ එක නගරයක් හදමින් පැරණි නගර රැසක් විනාශ කිරීමක්,” යයි එම සංවිධානය පවසයි.

එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවාසීන්ට විනාශය අත් කරමින් ඉදි කෙරෙමින් පවතින ‘පොර්ට් සිටි’ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස චීන රජයෙන් හා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවත් එම සංවිධානය කියා සිටියි.

මීගමුව අවට පිහිටි වැල්ලවීදිය, කුට්ටිදූව, කුඩාපාඩුව, මුන්නක්කරය, පිටිපන, බසියාවත්ත, කැපුන්ගොඩ, සරක්කුව යන ස්ථානයන්හි සහ හලාවත ප්‍රදේශයේ තොඩුවාව, කුඩා මඩුවැල්ල යන ප්‍රදේශවලින් එවැනි විරෝධතා ව්‍යාපාර පිළිබඳව වාර්තා විය.
එම විරෝධතා ව්‍යාපාරවලට හවුල් වෙමින් සිටි ජනතාව කළු පැහැති වායු බැලුන් දහස් ගණනක් ගුවන් ගත කළ අතර, එම බැලුන්වල “පෝර්ට් සිටිය එපා – ජනතාවගේ විරෝධය” යනුවෙන් සටහන් කරනු ලැබ තිබුණි.

“මේ විරෝධතා ව්‍යාපාරය දියත් කරනු ලැබීමට ප්‍රධාන හේතුව පසුගිය දින කීපය තුළ වයඹ බටහිර මුහුදු තීරය උග්‍ර මුහුදු කෑමකට ගොදුරු වීම”යයි ‘පෝර්ට් සිටි’ විරෝධී ජනතා ව්‍යාපාරයේ කමිටු සාමාජික හර්මන් කුමාර බීබීසියට ප්‍රකාශ කළේය.
“අද වන විට කොළඹින් උතුරු ප්‍රදේශයේ ගම්මාන රැසක් මුහුදු බත් වීමේ අවදානමක් තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව වසර දෙකකට ආසන්න කාලයක සිට ‘පෝර්ට් සිටි’ ව්‍යාපාරය සඳහා මීගමුව ආශ්‍රිත මුහුදෙන් නැව් මගින් වැලි පොම්ප කිරීම. මේ ව්‍යාපෘතිය පසුගිය මහින්ද රාජපක්ෂ රජය ආරම්භ කළත් මේ රජය එය නවත්වන බවට ජනතාවට මැතිවරණ පොරොන්දුවක් දුන්නා. එක නගරයක් හදලා නගර රැසක් විනාශ කිරීම තමයි දැන් සිදු කෙරෙමින් තියෙන්නේ. මේ රජය මේ ව්‍යාපෘතිය නවත්වන්නේ නැත්නම් අපි චීන රජයෙන් හෝ මෙය නවත්වන්න කියලා ඉල්ලා සිටිය යුතුයි. අද අපි මේ කළුපාට බැලුන් ගුවන් ගත කරමින් පෙන්නුම් කරන්නේ අපේ රටේ රජයට මෙන්ම චීන රජයටත් විරෝධය පළ කිරීමක්,” ‘පෝර්ට් සිටි’ විරෝධී ජනතා ව්‍යාපාරයේ කමිටු සාමාජික හර්මන් කුමාර වැඩිදුරටත් සඳහන් කළේය.

ධීවර ජනතාව මුහුණ දෙන විනාශය වැළැක්වීම සඳහා චීන රජයත්, ශ්‍රී ලංකා රජයත් පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ‘පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය’ විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක දැක්වෙයි.

“ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය වහා පියවර ගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය සහයෝගය චීන රජය ලබා දිය යුතුව ඇතැයිද” එම නිවේදනයේ සඳහන් වෙයි.
පසුගිය දින කීපයේ හලාවත අවට ගම්මාන රැසක් මුහුදු කෑමට ගොදුරු වූ අතර, තොඩුවාව කුඩාමඩුවැල්ල, හලාවත වැල්ල, කරුකපනේ හා මුතුපන්තිය වැනි දූපත්වලට එමගින් බරපතළ හානි සිදු විය.

“අවස්ථා කිපයකදීම මුහුදු රළ කෙලින්ම ගොඩබිමට පහර දුන් අතර සුනාමියේ දී හෝ එවැන්නක් සිදු නොවූ බව එම දූපත්වාසීහු පවසති.

අඟහරුවාදා උදේ වරුවේ හලාවත කුඩාමඩුවැල්ල ප්‍රදේශවාසීහු මහවැව තොඩුවාව මාර්ගය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටි අතර, කොළඹ සිදු කරනු ලබන වරාය නගර නිර්මාණ වහා නතර කරමින් තම පාරම්පරික ගම්මාන ආරක්ෂා කර දීමේ වැඩ පිළිවෙලක් සම්පාදනය කරන ලෙස ඊට එක්ව සිටි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

“දැන් වෙලා තියන දේ හොඳටම ඇති. අපේ ගම්මාන බේරා ගැනීමට දැන්වත් පියවරක් ගන්න,” එම ජනතාව කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button