දේශීය

“සමහරු හිතන් ඉන්නෙ මට පිස්සු කියලා – අමල් අයියට වෙච්ච දේ දැකලා මටත් කලාවෙන් සමුගන්න හිතුණා”

- කලකට පසු දමිත් මාධ්‍යයට කතා කරයි

අපේ රටේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියකු වන දමිත් අසංක ගැන පසුගිය වසරේ මැද භාගයේදී පමණ බොහෝ දෙනා වෙනදාටත් වඩා කතාබහ කරන්නට පටන් ගත්තා.

ඒ, ඔහු යම්කිසි මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටින බවට වන පුවතක් පැතිර යාමත් සමගයි. එහිදී මුහුණ දුන් සිදුවීම් පෙළක ප්‍රතිඵලයක් ලෙස ඔහුට කෙටි කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමටද සිදුවුණා. දමිත්ට ආදරය කළ සැවොම පාහේ එම සිදුවීමෙන් අතිශය කම්පාවට පත්වුණා. පැතිර ගිය ආරංචිවලට අනුව, දමිත්ව නැවතත් ගායකයකු ලෙස දැකගැනීමට ලැබේවිද යන්න ගැන පවා ඇතැමුන් සැක පහළකළා. රක්ෂිත බන්ධනාගාරයේ සිට නැවත නිවසට පැමිණීමෙන් අනතුරුව මාස කිහිපයක් නිහඬව සිටි දමිත්, පහුගිය දිනවල මුල්වරට විදෙස් ප්‍රසංග මාලාවකට සහභාගි වුණා.

කලකට පස්සේ සහභාගි වූ විදෙස් ප්‍රසංගවලදී දමිත්ට අසීමිත ප්‍රේක්ෂක ආදරයක් හිමිවූ බවට පුවත් පසුගිය දිනවල අන්තර්ජාලයේ පළවී තිබුණා. ඇත්තද ඒ කතාව?

ඔව්. පහුගිය දවස්වල මම කොරියාවේ සහ ඩුබායිවල ප්‍රසංග මාලාවකට සහභාගි වුණා. ඇත්තටම ඒ ප්‍රසංගවලදී මට කලාකරුවකුට ‍ලේසියෙන් නොලැබෙන විදිහේ ප්‍රතිචාරත් ලැබුණා. මම ගීත ගායනා කරද්දී සමහරු මගේ කකුල් දෙක අල්ලාගෙන වැඳ වැටුණා. ඒවා ඒ අය මට තියෙන ආදරය නිසා හදවතින්ම කරපු දේවල්.

දිගින් දිගටම මුහුණ දීපු කරදරවලින් පස්සේ පසුගිය කා‍ලේ දමිත් ලංකාවේ ප්‍රසංගවලට සහභාගි වීමත් නතර කරලා නේද තිබුණේ?

ඇත්ත. පහුගිය කා‍ලේ මට ගැටලු රැසකට මුහුණ දෙන්න වුණා. නොකළ වරදකට දවස් 14 ක් මම හිරේ හිටියා. ඔය අතරේ මගේ ඔළුව නරක් වෙලා කියලා රටපුරා ප්‍රචාරයකුත් පැතිර ගියා. ඉතින් ඔය විදිහේ වාතාවරණයක් තියෙද්දී මම ප්‍රසංගවලට ගියොත් මිනිස්සු මගේ දිහා බලන්නේම පිස්සෙක් දිහා බලන විදිහට නිසා ඒ තත්ත්වය සමනය වෙනතුරු තමයි මම ප්‍රසංග වේදිකාවෙන් ඈත්වෙලා හිටියේ.

දැන් ඔබට පරණ පුරුදු විදිහට ප්‍රසංගවලට සහභාගි වෙන්න පුළුවන්ද?

සමහරු තවමත් මගේ දිහා බලන්නේ මට පිස්සු කියලා හිතාගෙන තමයි. සමහරු අහනවා ඔයාට දැන් හොඳයිද කියලා. තවත් අය අහනවා තවම බෙහෙත් බොනවද කියලා. ඉතින් ඒ කම්පනය දරාගෙන තමයි මම තවමත් සින්දු කියන්නේ.

එහෙම වුණා කියලා ඔබ ප්‍රසංග වේදිකාව අමතක කරන්නේ නැහැ නේද?

අවුරුදු 15 ක් තිස්සේ ගීත ගායනා කරපු ප්‍රසංග වේදිකාව මට කවදාවත් අමතක කරන්න බැහැ.

දමිත් කලාවෙන් ඈත්වෙලා කියලා තවමත් සමහරු හිතාගෙන ඉන්නේ ඇයි?

මාව රූපවාහිනියෙන් එහෙම නිතර දකින්නට නොලැබෙන නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ. ප්‍රසංගයකදී ගීත ගායනා කරලා හරිහම්බ කරගන්නා මුදලකින් තමයි අපි අපේ දරු පවුල් ජීවත් කරවන්නේ. වෙන මුදල් ලැබෙන ක්‍රමයක් අපිට නැහැ. සමහර ටී.වී. චැනල් බලා‍පොරොත්තු වෙනවා ඒ අය කතා කළාම අපි අතින් වියදම් කරගෙන ඒ වැඩසටහන්වලට එන්න ඕන කියලා. එහෙම කරන අයත් ඇති. මට නම් එහෙම අවශ්‍යතාවක් නෑ. හැබැයි එහෙම වෙලා ටී.වී. එකෙන් නිතර දකින්න නොලැබුණාම සමහරු අහනවා ‘ඔයා දැන් කලාවෙන් ඈත්වෙලා නේද?’ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්.

දමිත් ගැන නරක ආරංචිත් හිටි ගමන් අන්තර්ජාලය හරහා පැතිරෙනවා. එහෙම නේද?

අ‍පොයි ඔව්. මම පසුගිය දවස්වල ෆේස්බුක් එකේ දැක්කා සමහරු දාලා තියෙනවා දමිත් අසංක ගංජාවලට ඇබ්බැහි වෙලයි ඉන්නේ කියලා. මිනිස්සු මොනවා දැනගෙනද මේ විදිහේ මඩ ගහන්නේ?

ගායන ශිල්පී අමල් පෙරේරාට මුහුණ දෙන්න වුණ සිදුවීමෙන් පස්සේ කලාකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම ගැනත් විශාල අවධානයක් යොමුවෙලා නේද?

ඔව්. ඇත්තම කීවොත් අමල් අයියට වෙච්ච සිදුවීමෙන් පස්සේ මට ගීත ගායනයෙන් සමුගන්න ඕනෑ කියලත් හිතුණා. බොහොම අමාරුවෙන් තමයි මම ඒ තීරණය තවමත් වෙනස් කරගෙන ඉන්නේ.

ඇයි ඔබ ඒ වගේ තීරණයක් ගන්න ඕනෑ කියලා හිතුවේ?

මොකද ඔය විදියට බලද්දී ගායක ගායිකාවෝ විදිහට අපි හැමෝම විශාල අවදානමකයි ඉන්නේ. රට ගියාම අපිව කොහේ කොහේ එක්කරගෙන යනවාද කියලා අපි දන්නේ නැහැ. මම ඔය සංචාරයට ගියා නම් මමත් අද කූඩුවේ. ප්‍රසංගයකට ගියොත් අපි ඒ වෙලාවට අපිට දෙන දේවල් කනවා, බොනවා. කවුරු හරි අපට දෙන ටොෆියක් හරි නොකෑවොත් ඒ අයගෙන් අපිට කරදර පවා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ හැම ප්‍රතිචාරයක්ම කලාකරුවන් විදිහට අපි දරාගන්න ඕනෑ. මම දැක්කා අමල් අයියා ෂර්ට් ගලවාගෙන සින්දු කියනවා කියලා සමහරු ඔහුව විවේචනය කරලා තිබුණා. ප්‍රසංගවලට අපි ගියාම රසිකයන් තමයි අපේ ෂර්ට් ගලවන්නේ. ඒ අයම තමයි ඒවා වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදා හරින්නෙත්. අන්තිමේදී කලාකරුවන් වන අපේ පිට තමයි හැම වරදක්ම පැටවෙන්නේ.

ආයෙමත් ප්‍රසංග වේදිකාවට ආවට පස්සේ දැන් දමිත්ට රසික රසිකාවියන් වෙනුවෙන් මොනවද කියන්න තියෙන්නේ?

පහුගිය කා‍ලේ මම මුහුණ දීපු කරදරවලදී මට පිහිටවුණු, මා වෙනුවෙන් කනගාටු වුණු හැමෝටම පින් කියලා තමයි මට කියන්න තියෙන්නේ.


කිෂාන් කනංකෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button