දේශීය

අපෙන් උදුරාගත් නිවාස අපට යලි ලබා දෙන්න – වඩමාරච්චි පොද්පදී ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලයි

තිස්වසරකට අධික කාලයක් තිස්සේ වෙලාගෙන තිබු කුරිරු යුද්ධයෙන් බැට කෑ කරදිය වැල්ලට මායිම්ව දිනෙන් දින ලියලන වැලි කඳු මත තම ජීවන ගමන් මග ගෙන යන වඩමාරච්චි පොද්පදී ගම්මානයේ මිනිසුන්ගේ ජිවිත තුළ දුක්ගිනි ලියලන්නේ එහි ලියලන වැලි කඳුවලටත් වඩා වේගයෙනි.

1985 වකවානුවේ ප්‍රදේශයේ පැවති යුද්ධය හේතුවෙන් වඩමාරච්චි පොද්පදී ගම්මානයේ ජනතාවට ගම හැරදා ගොස් අනාත කඳවුරුවල ජීවත් වීමට සිදු විය. නමුත් ඉන් පසුව 1985 වර්ෂයේ නැවත ගම්මානය වෙත පැමිණි එම ජනතාවට 1987 වසරේ මැයි 26 දින ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කළ වඩමාරච්චි මෙහෙයුම සිදුවන කාලයේදීද අනේක විද දුෂ්කරතා විඳින්නට සිදුවුවත් ප්‍රදේශය හැරදා නොගිය පොද්පදී ගම්මානයේ වැසියන්ට සුනාමි ව්‍යසනයෙන්ද බැට කෑමට සිදු වූයේ දෛවයේ සරදමක් ලෙසිනි.

කුරුරු යුද්ධයෙන් බැටකමින් සිටි වඩමාරච්චි පොද්පදී ගම්මානයේ මිනිසුන් බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහි යාම හේතුවෙන් අද වනවිට දැඩි දුෂ්කරතා මැද දිවි ගෙවන්නට සිදුව තිබේ. තිදරු පියෙකු වන මහේන්ද්‍රන් ජෙගන්, ප්‍රදේශයේ ජනතාවට ආණ්ඩුවේ බලධාරීන්ගෙන් සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් සිටින්නේ දැඩි කනස්සල්ලකිනි.

නිවාස ප්‍රශ්නය

වෘත්තියෙන් කිමිදුම්කරුවෙකු වන ජෙගන්ට තම දරු පවුලත් බිරිඳගේ දෙමාපියනුත් රැකීමට සිදුව ඇත්තේ එම රැකියාවෙනි. නමුත් මුහුද රළුවන සමයේ ඔවුන්ගේ ජීවිතද රළු වන්නේ එදා වේලවත් ඔවුනට හරියාකාරව නොලැබෙන නිසාවෙනි. ජීවත්වීම පිණිස නිසියාකාර වෘත්තීන් මේ වනතෙක් ප්‍රදේශයේ නිර්මාණය වී නොමැති නිසා ජෙගන් මෙන්ම පොද්පදි ගම්මානයේ ජනතාවට අද වනතෙක් එහි රැදී සිටීමට සිදුව ඇත්තේ බඩගින්න නිවා ගැනීමේ හා ජීවත්වීමට නිවසක් තනා ගැනීමේ යුද්ධයකද නිරත වෙමිනි.

”අපි යුද්ධ කාලයේ ඉඳල මෙහෙ ඉන්නේ. සෑහෙන දුස්කරතා මැද තමයි මෙහෙ ජීවත් වෙන්නෙ. අපිට කිසිම පහසුකමක් මෙහෙ නෑ. අපිට ඉන්න තැනක් නෑ. රජයෙන් දෙන ආධාර, ගෙවලුත් නතර කරනවා. අපිට බොන්න පිරිසිදු වතුර නෑ, වැස්ස කාලයේදී කොහෙමවත් වතුර නෑ. ලෙඩක් උනත් කිලෝ මීටර් 15 ක් දුර ගෙවාගෙන යන්න වෙනවා. අපි ගැන කවුරුත් හොයලා බලන්නේ නෑ’ මහේන්ද්‍රන් ජෙගන් කියා සිටී.

මෙරට පත්වන සෑම ආණ්ඩුවක්ම සංවර්ධනය රට වෙලාගනිමින් ක්‍රියාතමක කරයි. ඒ අතර ඉදිවෙන මහාමාර්ග, අධිවේගී මර්ග මෙන්ම නිවාස ව්‍යාපෘති ද ක්‍රියාත්මක යුගයක් තුල වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ වඩමාරච්චි පොත්පදී ගම්මානයේ වැසියන්ට කුසට අහරක් හෝ නිසි පරිදි නැතිව ජීවත්වීමට සිදුව ඇත්තේ පොල් අතු, ටකරන් මඩුවල වීම තුල රටක සියලු ජනතාවට හිමි විය යුතු සමානාත්මතාවය ගිලිහී ගොස් තිබේ.

‘අපිට පසුගිය දවස්වල ගෙවල් පාස් වුනා කියල කිව්වා. එහෙම කියන නිසා අපි හොයල බැලුවා. නමුත් අපිට තාම ගෙවල් ලැබිලා නෑ. යුද්දෙන් පස්සේ අපේ ගෙවල් අලුත් වැඩියා කරගන්න රුපියල් පනස්දාහක් දුන්නා. ඒකත් හැමෝටම ලැබුනේ නෑ. අපි හැම අතින්ම අසාධාරණයට ලක්වෙනවා. මෙහෙ ගොඩක් අය කරන්නේ මුහුදු යන එක. නමුත් මුහුද රළු කාලෙට ඒ අයට රස්සාව නෑ. පමණක් දවස්වලට අපි ජීවත්වෙන්නේ දවසටම එක වේලක් කාලා. එච්චරම මෙහෙ මිනිස්සු දුක්විඳිනවා.’

වැලි කඳු මැද ජීවිත

මේ ආකාරයෙන් නොයෙක් දුෂ්කරතා මැද පවුල් 155 කට අධික ප්‍රමාණයක් ප්‍රදේශයේ ජීවත්වන අතර ඉන් වැඩි කොටසකට ස්ථිර නිවාස ද අහිමිය. නමුත් අනේකවිද දුෂ්කරතා මැද මේ අහිංසක දමිළ ජාතිකන් කෙරෙහි ප්‍රදේශයේ බලධාරීන් දක්වන්නේ අඩු සැළකිල්ලක් බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

මේ අතරතුර පසුගිය වසර තුල පොද්පදී ගම්මානයේ අඩු ආදායම්ලාභී ස්ථිර නිවාස අහිමි පවුල් 16 ක් සඳහා නිවාස 16 ක් රජය මගින් ලබා දීමට තීරණය කළ අතර පසුව ඉන් නිවාස තුනක් වෙනත් ප්‍රදේශයකට ලබා දී තිබේ. ඒ අතර තුර මාස කීපයක් යන තුරුම නිවාස ඉදි කිරීම සඳහා ආධාර හිමි නොවීම නිසා සොයා බැලීමේදී පොද්පදී ගම්මානයේ ජනතාවට හිවි වීමට තිබු සියලු නිවාස ආධාර වෙනත් ප්‍රදේශයකට ලබා දී ඇති බවයි ප්‍රදේශයේ ජනතාව කියා සිටින්නේ.

‘අපි මේ ගමේ යුද්දේ කාලේ ඉදල ඉතා දුෂ්කරතා මැද ජීවත්වෙනවා. 1985 අපි මේ ගම හැරදා ගිහින් පස්සේ ඉන්න තැනක් නැති නිසා මැරුනත් කමක් නෑ කියල ගමට ඇවිලා ජිවත්වුනා. පසුගිය යුද්දේ කාලෙත් අපි දුක් වින්දා. දැන් යුද්දේ නැතිවෙලත් අපි ගැන නිලධාරීන් හොයලා බලන්නේ නෑ. ඒ අය ඔෆිස් එකේ ඉඳගෙන්න වැඩ කරනවා විතරයි. ඒ නිසා අපි සෑහෙන දුක් විඳිනවා. අපිට කිසිම ආධාරයක් ලැබෙන්නේ නෑ. අපේ ගමට ලැබුණු නිවාස ආධාරවලටත් සිද්ද වුන දෙයක් නෑ.’ සිවලිංගම් සිගනාදම් පවසයි.

‘අපි ගැන කවුරුත් හොයල බලන්නේ නෑ, යුද්දේ කාලෙත් දුක් වින්දා, තාමත් අපි දුක් විඳිනවා. දරුවන්ට හරියට කන්න දෙන්න විදියක් නෑ, බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ, ඉන්න ගෙයක් නෑ. ආණ්ඩුවෙන් ලැබෙන දේවල්වත් අපිට ලැබෙන්නේ නෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි නිලධාරීන් ගමට එන්නේ නැති එක.’ ඒ රමේෂ් රාජේශ්වරීගේ හඬයි.

ජීවිතය සොයා ඉන්දියාවට

ප්‍රබාහරන් විජයරාණිද මේ වනවිට වඩමාරච්චි පොද්පදී ගම්මානයේ අසරණව ජීවත්වන දෙදරු මවකි. 1990 ට පෙර පලාලි මෛලතිවුවල ජීවත් වූ ඇයටත් ඇයගේ පවුලේ සාමාජිකයන්ටත් යුද්ධය හේතුවෙන් තම නිවාස විනාශ වීමත් එහි ජීවිත ආනරක්ෂිත වීමත් නිසා එකල යම් තරමකට හෝ ආරක්‍ෂිත ප්‍රදේශයක්ව පැවති පොත්පදී ගම්මානයට පැමිණ තිබේ. නමුත් දිගින් දිගටම පැවති යුද්ධය නිසාම පොත්පදී ගම්මානයද ආරක්‍ෂිත නොවූ හෙයින් තම ඥාතියෙකු මාර්ගයෙන් තම මව සමඟ ඉන්දියාවට ගිය විජයරාණිට ටික කාලයකදී තම මව මියයාම නිසා නැවතත් ඇය අනාරක්ෂිත වූවාය. ඉන්පසු ඇය නැවතත් පොද්පදී වෙත පැමිණ සිටී.

යුද්දේ කාලයේදී මුහුදු රස්සාවේ නියැලෙමින් සිටි විජයරාණිගේ පියා මුහුදේදී අනතුරකට පත්ව මියගොස් තිබේ. එකළ මියගිය තම පියා වෙනුවෙන් රතුකුරුස සංවිධානයෙන් ලැබුණු රුපියල් පනස්දාහක මුදලද නිලධාරීන් විසින් තම පවුලට ලබා නොදුන් බවයි විජයරාණි කියා සිටින්නේ.

‘අපි පලාලි මෛලතිවුවල හිටියේ යුද්දෙන් එහෙ තිබුන ගෙවල් විනාශ වුනා. පස්සේ 1990 දි මෙහාට ආවා. මෙහෙත් යුද්ධය නිසා අම්මත් එක්ක බෝට්ටුවකින් ඉන්දියාවට ගියා. ටික කාලෙකින් අම්ම එහෙදි මියගියා. එතකොට මට වුරුදු 15 යි. පස්සේ මට එහෙ කවුරුත් නැති නිසා යුද්දේ ඉවර වුනාම නැවත මෙහාට අවා. 2010 දී තමයි මම කාසාද බැන්දේ. අපි යුද්ධය නිසා ඒ කලෙත් සැහෙන දුක්වින්දා. තාමත් ඒ දුක විඳිනවා.’

විජයරානිගේ ස්වාමියා කොළඹ ගොස් කම්කරුවෙකු ලෙස සේවය කරමින් එවන සොච්චම් මුදලින් මේ වනවිට ඇයගේ පවුල යාම්තම් බඩ වියත රැක ගනී. මාස කීපයකට වරක් ගෙදර විත් යන ඇයගේ ස්වාමියා විඳින දුක ගැන විජයරාණි කියා සිටියේ දෙනෙතේ කඳුළු පිස දමමනි.

වාර්ගික රේඛාවෙන් වේලී ගිය කුරිරු යුද්ධයකින් මිනිසුන්ගේ ජිවිත සඳහා ලැබුණු දෙයක් නොමැත. එයින් සිදු වූයේ යුද්ධයේ අඳරු සෙවනැල්ලක් වූ මිනිසුන් වෙලාගත් දුප්පත්කම හා අසරණකම පමණි. මන්ද, කාලයක් කෘෂිකර්මාන්තයේ යෙදෙමින් යහමෙන් ජීවත් වූ උතුරේ බොහොමයක් වැසියන්ට අද වනවිට මුහුණ දීමට සිදුව ඇත්තේ විරැකියාවෙන් මිරිකී සිටීමටය. ඒ තුළින් තැලී ඉරිතැලී යන ජීවිත යලි පනගන්වන්නට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.


හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button