කලා

හැම මහද්වීපයකම පෙන්වූ අපේ චිත්‍රපටය ‘සුළඟ අප රැගෙන යාවී’

මම නුවන් ජයතිලක. මුලින්ම වේදිකා පරිපාලකයෙක්. ඊට පස්සේ පුවත්පත් මාධ්‍යවේදියෙක්. වැඩිපුරම මගේ අතින් ලියවුණේ ගවේෂණාත්මක ලිපි. ඊළගට මම පුවත්පතක ජායාරූප ශිල්පියෙක්. ඊට පස්සේ දිවයින, ලංකාදීප, රාවය පුවත්පත්වල නිදහස් මාධ්‍යවේදියෙක්.

ඊටත් පස්සේ පැරණි මවුබිම පුවත්පතේ මාණ්ඩලික මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කළා. පස්සේ මම චිත්‍රපට හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදනය කරන ආයතනයකට සම්බන්ධ වෙනවා.

ඒ කාලයේදී විවිධ ඉසව්වල වැඩ කරමින් සහාය අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් විදියට ඒ ක්ෂේත්‍රයේ කටයුතු කරන අතරවාරයේ මම Viral Ad නමින් වෙළෙඳ දැන්වීම්කරණය සඳහා මගේම ආයතනයක් පටන් ගන්නවා. ඒකෙ මම නිෂ්පාදකවරයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරනවා. ඒ අතරතුරදී මම චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහාත් යොමු වෙනවා. වේදිකා පරිපාලකවරයෙක්ගේ සිට චිත්‍රපට අධ්‍යෂවරයෙක් දක්වා ආපු මේ කාලය අතරතුර මම කෙටි චිත්‍රපට ගණනාවකුත් නිර්මාණය කරනවා.

ඔබ ‘සිනමාව’ ලෙස හඳුනාගෙන සිටින්නේ කුමක්ද?

මේක සන්නිවේදන මාධ්‍යයක්. ඒක තමයි ඕනෙම කෙනෙක් මූලිකවම සිනමාව හඳුනාගන්න විදිය. හැබැයි මම මොකක්ද සිනමාව කියලා හඳුනාගෙන තියෙන්නේ කියන එක ඇත්තටම හරිම පෞද්ගලිකයි.

සිනමාව කියන එක රසාස්වාදය උදෙසා තියෙන මාධ්‍යයක් සහ ඇතැම් අවස්ථාවලදී ඒක ප්‍රචාරකවාදී සහ අණුකාරකවාදී වුණු අවස්ථාත් තියෙනවා. කිසියම් පරිකල්පනයක් නිර්මාණයක් තුළින් ඉදිරිපත් කිරීමට හැකියාව ඇති මාධ්‍යයක් විදියටත් මේක මම හඳුන්වන්න කැමතියි. නමුත් මගේ මේ මතය කාලානුරූපිව වෙනස්වෙන්න පුළුවන්.

සිනමාව නමැති විෂයට ඔබ ප්‍රවේශ වෙද්දි තෝරාගත් අනුභූතිය කුමක්ද සහ එබඳු අනුභූතියක් තෝරාගැනීම සඳහා බලපෑ විශේෂ හේතු තිබෙනවද?

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සත්‍යජිත් රායි, අකිර කුරසෝවා, ඉරානයේ ප්‍රකට අධ්‍යක්ෂවරයකු වුණු අබ්බාස් කිරොක්සාමි වාගේ අයගෙ පළවෙනි චිත්‍රපටය කුඩා දරුවන් හා පවුල වටා ගෙතුණු ජීවිත පුවතක් හා බැදුණු නිර්මාණයක්.

මගේ ආනුභූතිය තෝරාගැනීමේදී මම මේ ශානරයන් පිළිබදව දීර්ඝ කාලයක් අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලය වශයෙන් මමත් මගේ කුඩා කාලයත් මම අත්විඳි අත්දැකීම් සමූහයක එකතුවක් සමඟ කතාවක් නිර්මාණය කරනවා.

එය සාහිත්‍ය පිටපතක් වශයෙන් එළියට එනකොට අනුභූතිය ඉස්මතු වන ආකාරයට විවිධාකාර කොටස් කලාත්මකව එකතු කරමින් නිර්මාණයක අන්තර්ගත වියයුතු මූලික නීති රීති ප්‍රකාරව එය සකස් වුණා. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වශයෙන් මීමුරය, රිවර්ස්ටන්, හුන්නස්ගිරිය ආශ්‍රිත කරගත්ත ලංකාවේ නකල්ස් කදුකරයේ ජීවත්වෙන අවසාන දිගු තවලම වටා ගෙතුණු කතාවක් නිර්මාණය වෙනවා.


ඔබේ සිනමා නිර්මාණය තුළින් ඉදිරිපත් කෙරන්නේ මොනවගේ දෙයක්ද?

සරලව කෙටියෙන්ම කියනවා නම් මම ඉන්නෙ රසවින්දනය කියලා කියන කොටසෙ. මම කැමති ප්‍රේක්ෂකයන්ට රසවින්දනය කියලා එකක් ලබාදෙන්න. මොකද සිනමාව කියන්නෙ කර්මාන්තයක්. ඒ කර්මාන්තයේ මූලික සිද්ධාන්ත ටිකක් තියෙනවා. මූලික නීති රීති ටිකක් තියෙනවා.

කර්මාන්තයක් වීම අස්සෙම කර්මාන්තය විසින් උරුම කරගනු ලැබූ දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒකෙ තමයි මම ඉන්නෙ. සිනමාව කලාවක් විදියටත් තියෙන අවස්ථාවන් තියෙනවා. නමුත් ලංකාව වගේ රටක මම හිතන්නෑ කිසිම කෙනෙක් සිනමා කලාවේ නියැලෙනවා කියලා. ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව වගේ දියුණු රටවල්වල නම් සිනමාව කලාවක් විදියට කරන අය ඉන්නවා. නමුත් මං හිතන්නෙ නෑ ආසියානු රටවල්වල සිනමාව කලාවක් විදියට කරන කලාකරුවන් ඇති කියලා. මේක ගැඹුරින් කතා කළයුතු මාතෘකාවක්.

චිත්‍රපටය තවමත් ලංකාවේ ප්‍රදර්ශනය නොවුණත් එය විවිධ සම්මාන සඳහා බඳුන් වුණා?

නෙදර්ලන්තයේ ඇමර්ස්ටර්ඩෑම්වල තියෙන සිනෙකිඩ් කියන චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන සිනෙකිඩ් ස්ක්‍රීන් ක්ලබ් කියලා කියන තරඟකාරී වෙළෙඳපොළේ මේ චිත්‍රපටය මුලින්ම ජයග්‍රහණයක් ලබා ගත්තා.

ඒ හරහා මේ චිත්‍රපටයට ඩීවීඩී හෝ කේබල් තාක්ෂණයෙන් යුරෝපයට බෙදාහරින්න පුළුවන් විදියේ වරප්‍රසාදයක් ලැබෙනවා. ඊළඟට මේක හූන්ස්ටන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ බ්‍රොන්ස් රෙමී සම්මානය දිනාගත්තා. මේ උළෙල ලංකාවේ සිනමාකරුවන් අතරේ වගේම සිනමා ක්ෂේත්‍රයේ බොහොම ප්‍රසිද්ධ සම්මාන උළෙලක්.

ඊට අමතරව මේක ඉතාලියේ පාදුවාවල පැවැත්වෙන මෙත්‍රො කොමන්තො කොර්තො කියන රටවල් 165ක් පමණ නියෝජනය කරපු චිත්‍රපට උළෙලේදි ඔස්කාර් කාණ්ඩයේ පවා තිබුණු චිත්‍රපටි අභිබවමින් හොඳම චිත්‍රපටය බවට පත්වුණා.

මේ ප්‍රධාන ඇගයීම් තුනට අමතරව ලෝකයේ ප්‍රධාන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අටක් නියෝජනය කරලා ඒවායේ තරඟකාරී අවසාන අදියරේ හොඳම චිත්‍රපට අතරට නිර්දේශ වෙනවා. මීට අමතරව ලන්ඩන්, මෙල්බර්න්, ටොරන්ටො, මිලානො මේ වගේ නගරවල පැවැත්වුණු ප්‍රධාන චිත්‍රපට උළෙලවල්වල අපේ චිත්‍රපටය තිරගත වෙනවා. ඉතිං මේ ඔක්කොම ගත්තහම අද මගේ චිත්‍රපටිය ලෝකේ පුරාම දර්ශනවාර 68ක් විතර ප්‍රදර්ශනය වෙලා තියෙනවා.

හැම මහද්වීපයකම වගේ මේක පෙන්නල තියෙනවා. ඉතිං ඉතාම නුදුරු දවසක මේ දිවයින පුරා සිනමාහල්වලට එනවා. සිංහල අවුරුද්දට කලිං අපේ සිංහල සිනමාලෝලීන්ට මේ චිත්‍රපටය බලන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දවස්වල සිදුවෙමින් පවතිනවා.

වෙනත් දියුණු රටවල සිනමා කර්මාන්තයට සමපාත ලෙස සිනමා කර්මාන්තයේ යෙදීමට නම් රටක් ලෙස අපි කළ යුත්තේ කුමක්ද?

ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයට තියෙන ඉඩ හසර පුළුල් කරන්න නම් රසවින්දනය පිළිබඳව තියෙන හැඟීම ඉස්මතු කිරීම පාසල් අධ්‍යාපනයටම ගේන්න ඕනෙ. ශානරයෙන් ශානරයට මේ සිනමා නිර්මාණ රසවිඳින්නේ කොහොමද කියන එක අවබෝධ කරවීම අධ්‍යාපන ක්‍රමවේදයටම ගේන්න ඕනේ. ලෝකේ රටවල් ගොඩකට මම මගේ චිත්‍රපටය ප්‍රදර්ශනයට අරන් ගියාම එහෙදි මට මුණ ගැහුණා අපේ රටෙන් ඒ රටවලට ගියපු 80, 90, 2000 දශකවල අය. එයාලා විවිධ රැකියාවලට එහේ හිහින් තිබුණා. ප්‍රේක්ෂකයෝ හැටියට ඒ අයගෙන් ලැබුණු ප්‍රතිචාර, ලංකාවේ ප්‍රේක්ෂකයා ඉන්න තැන ගැන මට හොඳ නියැඳි අවකාශයක් හදලා දුන්නා.

ඒ තමයි, මේ අය සිනමා නිර්මාණයකින් බලාපොරොත්තු වෙන්නෙත් 8.30 ටෙලිනාට්‍යයක්. ඉතිං සිනමාව තුළිනුත් ඒ කෑල්ලම බලාපොරොත්තු වෙනවා. ගොඩාක් අය හිතන්න පෙළඹිලා තියෙනවා චිත්‍රපටවලින් මතු කරන සියල්ලක්ම ඇත්තම කතා කියලා. තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා අනුව බලලා ඒකෙ ගුණ අගුණ හිතන්න යනවා.දැන් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය වගේ රටවල සාක්ෂරතාව අපටත් වඩා අඩුයි.

හැබැයි ඒ රටවල පික්චර් එකක ප්‍රධාන පොලිස් නිලධාරියා මරණ, නඩුකාරයා මරණ, ඒ වගේ ක්‍රියාදාම චිත්‍රපට ඕනෑතරම් තියෙනවා. නමුත් ඒවා තිබුණා කියලා ඒ මිනිස්සු හෝල් ගිනිබත් කරන්නවත්, අධ්‍යක්ෂවරයාට මඩ ගහන්නවත්, චිත්‍රපටය වාරණය කරන්නවත් යන්නෙ නෑ.

නමුත් ලංකාවෙ ඔබ නිකමට හිතන්නකෝ භික්ෂූන්වහන්සේ නමක් ගැන හරි, එහෙම නැත්තං පල්ලියක ඉන්න ෆාදර් කෙනෙක් ගැන හරි, හමුදා සොල්දාදුවෙක් ගැන හරි, නඩුකාරයෙක්, දේශපාලකයෙක් ගැන හරි චිත්‍රපටයක් ආවොත්, මේවා සෑහෙන බරපතළ කාරණා වෙලා, තහනමට ලක් වෙනවා. ඇයි ඒ? මිනිස්සු හිතන්න පුරුදු කරලා තියෙනවා මේවා ඇත්ත කියලා.

පහුගිය කාලෙ ලංකාවෙ තහනමට ලක් කරපු චිත්‍රපට බලන්න ගොඩාක් වෙලාවට කාටහරි ඒක පෞද්ගලිකව බලපාලා තියෙනවා. මෙන්න මේ අවුලෙන් චිත්‍රපට මුදාගන්න නම් මේ දැන් ජීවත් වෙලා ඉන්න ප්‍රේක්ෂකාගාරයට කීයටවත් මේ වැඩේ කරන්න බෑ. මේක එක වසරෙන් පටන් ගන්න අධ්‍යාපනයේ සිට රසාස්වාදය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක්, පද්ධතියක් සහිතව ඇතුළත් කළ යුතුයි.

ඊළගට ලෝක මට්ටමින් අපි සිනමාව ජය ගන්න නම්, අපි පරිස්සමින් බලන්න ඕනෙ අපි වගේම දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල චිත්‍රපට ලෝක වෙළෙඳපොළට ගිහිං තියෙනවා නම් ඒ කොහොමද කියලා. මේක කර්මාන්තයක්. අපේ අනෙක් ඇඟලුම්, මැණික්, සුළු බෝග, වගේ මේකත් කර්මාන්තයක්. මේකෙ ලාබ ප්‍රයෝජන ලබන්න නම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන විදියෙ චිත්‍රපට නිෂ්පාදනය කරලා, ජාත්‍යන්තරයේ තියෙන ලොකු චිත්‍රපට වෙළෙඳපොළට මේවා ඉදිරිපත් කරන්න ඕනෙ.

හරියට අපි ලංකාවෙ මැණික් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙනියනවා වගේ. වැඩේ කියන්නේ අන්න ඒ ප්‍රමිතියට චිත්‍රපටයක් හදන සුදුසුකම අපේ ලංකාවෙ නෑ. අර මං කලිනුත් කිව්වා වගේ මේක පාසල් අධ්‍යාපනයෙන්ම හදලා මුල ඉඳන්ම සිස්ටම් එකක් හදලා ගෙනාවොත් අපිට ජාත්‍යන්තරය අත්පත් කරගන්න එක ඒතරම් දුර වෙන එකක් නෑ.

කර්මාන්තයක් විදියට මේ චිත්‍රපට නැවත වතාවක් ප්‍රේක්ෂකාගාරය දිනාගන්න නම්, මේක නඟා සිටුවන්න විධිමත් පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් හෝ රාජ්‍ය අංශයෙන් මැදිහත් වෙලා කළ යුතුයි. ලෝකයේ අනෙක් රටවලත් අපේ රටේ වගේම අද වෙද්දී සිනමාවෙන් ප්‍රේක්ෂකයා සෙමෙන් සෙමෙන් ඈත් වෙමින් යනවා. නමුත් මේක වෙන්නෙ ඇයි කියලා ඒ රටවල අය ඒවාට පරීක්ෂණ කරමින් පිළියම් සොයනවා.

අනෙක් එක තමයි මේ චිත්‍රපට බෙදා හැරීමේ කිසියම් ක්‍රමවේදයක් හදන්න ඕනෙ. ඒ වගේම හදන චිත්‍රපට සංරක්ෂණය කරන්න කිසියම් සංරක්ෂණාගාරයක් අපිට අවශ්‍යයි.


අනුපමා ගල්කඩවල

උපුටා ගැනීම – රැස පුවත්පත

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button