දේශපාලන

කොකේන් ප්‍රශ්නයට “ලේ පරීක්ෂණ ඕනෙ නෑ. ජනතාව දන්නවා අපි කවුද කියලා….”

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, යලිත් වතාවක් කියයි

යමෙක් නිකම්ම චෝදනා කළ පළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනා රුධිර පරීක්ෂණ සිදුකරවා ගත යුතු නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යළි පවසයි.

තමන් කවුද, විපක්ෂයේ සිටින අය කවුද යන්න ජනතාව දන්නා බවයි මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

රංජන් රාමනායක මහතා මුලින්ම පැවසුවේ කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිතා කරන ඇමතිවරුන් 24 දෙනෙකු සිටින බව යැයි පැවසූ රාජපක්ෂ මහතා ඔහු පසුව එම කතාව වෙනස් කර දැන් විපක්ෂයේ පැත්තට හරවා ඇති බව ප්‍රකාශ කළේය.

තමන්ගේ පැත්තේ කුඩුකාරයින් හෝ කොකේන් භාවිතා කරන අය නොමැති බව තමන් හොඳාකාරව ම දන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

සියලුම මන්ත්‍රීවරුන් රුධිර පරීක්ෂාවක් සිදු කරගෙන කොකේන් භාවිතා නොකරන බව තහවුරු කරන්නැයි පාර්ලිමේන්තුවේදී යෝජනා වූ අවස්ථාවේදීත් මහින්ද රාජපක්ෂ මහතා ඊට එරෙහි විය. ඒ මහතා පැවසුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ DNA පරීක්ෂා කිරීමක් අවශ්‍ය නොවන බවත් රංජන් රාමනායක මහතා චෝදනා එල්ල කරන අය පමණක් එම පරීක්ෂාව සිදුකර ගැනීම ප්‍රමාණවත් බවත්ය.

කොකේන් චෝදනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තරමක අමුතු හැසිරීමක් පෙන්නුම් කරන ආකාරයක් දිස් වන්නේ රංජන් රාමනායක මහතා කැබිනට් මණ්ඩලයේ 24 දෙනෙකු කොකේන් භාවිතා කරන බවට මුලින්ම පැවසීයැයි පුන පුනා සඳහන් කිරීමෙනි. රාමනායක මහතා මුලදී පැවසුවේ කැබිනට් මණ්ඩලයේ පස් දෙනෙකු කොකේන් භාවිතා කරන බවකි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළුව කැබිනට් මණ්ඩලයේ සිටින්නේම 30 දෙනෙකි. එයින් 24 දෙනෙක්ම කොකේන් පානය කරන බවක් රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ නැත. එවැන්නක් පැවසුවේ නම් එය විශ්වසනීයත්වයෙන් තොර වනු ඇත. 24 දෙනෙකුගේ කතාව ආවේ 225ක සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවෙනි.

කෙසේවෙතත් සමහර වයෝවෘද්ධ දේශපාලන නායකයින් වේදනා නාශකයක් ලෙස කොකේන් භාවිතා කරන බවක් ද රාමනායක මහතා පෙරේදා ප්‍රකාශ කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button