ක්‍රීඩා

ගේල් යළි නැගිටියි

සර් ගාෆීල්ඩ් සෝබර්ස්, සර් විවියන් රිචඩ්ස්, බ්‍රයන් ලාරා පරපුරේ අන්තිමට කියැවෙන නම තමයි ක්‍රිස් ගේල්. ක්‍රිස් ගේල් ගැන ජාත්‍යයන්තර පිටිය පහුගිය දවස්වල වැඩිය කථා කළේ නෑ. ඒකට හේතුව තමයි ගේල් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කාලෙකින් නියෝජනය නොකිරීම. ගේල් බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියෙ හිටියත් කථාබහට ලක්වෙන විදිහෙ දක්ෂතාවයක් දක්වන්න ගේල්ට පුලුවන් වුණේ නෑ.

කොහොම වුණත් ලෝක කුසලානයත් කට මුල තියාගෙන ඊට කලින් තමන්ගෙ මව්බිමේ තියෙන අවසාන එක්දින තරගමාලාවට ගේල් ව කැදවන්න කොදෙව් තේරීම් කමිටුව තීරණය කරනවා. ගේල් තමන්ගෙ කැදවීමට සාධාරණයක් කරන්නෙ කාලෙකට පස්සෙ තමන් සහභාගී වෙන පළවෙනි තරගයම හයේ වැස්සකින් සරසමින්.

ඒ එංගලන්තයට එරෙහිව පසුගියදා (20) බාබඩෝස් හි කෙන්සින්ටන් ඕවල් පිටියේ පැවති පළමු එක්දින ජාත්‍යන්තර තරගය. කාසියේ වාසිය දිනා ගන්නෙ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්. ආරම්භක පිතිකරුවන් විදිහට පිටියට එන්නෙ ක්‍රිස් ගේල් සහ ජෝන් කෑම්ප්බෙල්. මුලු ලකුණු සංඛ්‍යාව 38 ක් වෙද්දි පන්දු 28 කින් ලකුණු 30 ක් ගත්ත කෑම්ප්බෙල් ක්‍රිස් වෝකස්ගේ පන්දුවකට මොයින් අලී අතට උඩපන්දුවක් දීලා ආපහු ක්‍රීඩා ගාරයට යනවා.

ක්‍රිස් ගේල් වැඩ පටන්ගන්නෙ එතැන ඉදලා. ඊළඟ පන්දු වාරය යොමු කරන්නෙ මාර්ක් වුඩ්. ඔහුගේ පන්දු වාරයේ තුන්වෙනි සහ හතරවෙනි පන්දු හතරේ සීමාවට යොමු කරන ගේල් අන්තිමට නවතින්නෙ 4 පහර 3 සහ 6 පහර 12 ක් එල්ල කරලා. ඒ 6 පහර වලින් බොහෝමයක් නවතින්නේ ක්‍රීඩා පිටියෙන් එලියේ.

කොදෙව් ඉනිමෙ 6වන කඩුල්ල විදිහට ගේල් දැවී යනකොට ඔහු පන්දු 129 දී 4 පහර 3ක් සහ 6 පහර 12 සමඟින් ලකුණු 135 ක් රැස් කරගෙන හිටියා. මේ ගේල්ගෙ 24 වන එක්දින ජාත්‍යන්තර ශතකය. ගේල් ගේ ශතකයෙන් ශක්තිමත් වුණ කොදෙව්වන් පන්දුවාර 50 තුළ කඩුලු 08 කට ලකුණු 360 ක් රැස් කළත් ඔවුන්ට ජයග්‍රහණය නම් ලැබුනෙ නෑ. ජේසන් රෝයි (පන්දු 85, ලකුණු 123) සහ ජෝ රූට් (පන්දු 97, ලකුණු 102) රැස් කළ ශතක නිසා පන්දුවාර 48.4 දී කඩුලු 04 දැවී ලකුණු 364 ක් ලබාගෙන එංගලන්තය තරගය ජයග්‍රහණය කළා.


සුධීර අයේෂ්මන්ත බණ්ඩාර
ජනයුගය – ක්‍රිකට් ක්‍රීඩා විශේෂාංග රචක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button