ක්‍රීඩා

දිමුත් කවුරුත් නොගිය ගමනක් යයි

එංගලන්තයත් සමඟ මෙරට දී පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ක් විදිහටත් නවසීලන්තයට එරෙහිව එරටදී පැවති ටෙස්ට් තරගාවලිය 1-0 ක් විදිහටත් ඔස්ට්‍රේගියාවේ දීත් ඒ විදිහටම 2-0 ක් විදිහටත් එක දිගට පැරදිලා ඒ පරාජයෙන් හෙම්බත්වෙලා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අලුත් නායකයෙක්, අලුත් කණ්ඩායමක් එක්ක දකුණු අප්‍රිකාවට ගියේ අලුත් බලාපොරොත්තුත් එක්ක. නමුත් ලෝක ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම් වල දෙවන ස්ථානයේ හිටපු දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයක් ජය ගන්නවා කියන එකනම් ශ්‍රී ලංකා කණ්ඩායමට ටිකක් අමාරු ඉලක්කයක් වගේ තමයි පෙනුනෙ. මොකද ශ්‍රී ලංකාව මීට කලින් දකුණු අප්‍රිකාවේ දි දිනලා තිබුණෙ එකම එක ටෙස්ට් තරගයක් විතරයි. ඒ 2011 දි තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන්.

ඒ වගේම 1889 දි ලෝකයේ තුන්වෙනි ක්‍රිකට් රාජ්‍ය විදිහට ගමන් අරම්භ කරපු දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කරලා තිබුණෙ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව විතරයි.

කොහොම වුනත් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ලෝකයේ හොදම ටෙස්ට් ඉනිම විදිහට නම් කරපු කුසල් පෙරේරාගේ විශ්මය ජනක ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාව පළමු තරගය විශිෂ්ඨ විදිහට ජයග්‍රහණය කරනවා.

ජයග්‍රාහී මානසිකත්වයෙන් දෙවන තරගයට යන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා පළමු ලකුණු 222 කට සීමා කරමින් ජයග්‍රාහී මාවතට පිවිසෙනවා. නමුත් පළමු ඉනිමේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට සාර්ථක වෙන්න දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ දෙන්නෙත් නෑ. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 128 ට සීමා වෙනවා. තම පිතිකරුවන්ට එල්ල වූ පීඩනය තම ප්‍රතිවාදීන්ට ඒ විදිහටම යොමු කරපු සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බලඇණිය දකුණු අප්‍රිකා දෙවන ඉනිම ලකුණු 154 දී නවත්වන්නේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට ලකුණු 197 ක ඉලක්කයක් ලබා ගනිමින්. කුසල් මෙන්ඩිස්ගේ සහ ඕෂධ ප්‍රනාන්දුගේ පිත්තෙන් වාර්තා වන අර්ධ ශතක වලින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක අතිවිශිෂ්ඨ ජයක් කරා කැදවාගෙන යනවා.

ඒත් එක්කම දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ශ්‍රී ලංකා මෙන්ම ආසියානු නායකයා බවට දිමුත් කරුණාරත්න අමරණීය වාර්ථාවක් පිහිටුවවනවා.

මේ තරගාවලියෙ දී වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙන්නෙ ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා. ඒ තරග දෙකක දී ඉනිම 03 ක් තුළ ලකුණු 224 ක් රැස් කර ගනිමින්.  තරග දෙකකදී කඩුලු 12 ක් දවා ගත්ත විශ්ව ප්‍රනාන්දු තමයි වැඩිම කඩුලු ලාභියා.

ඒ වගේම මේ ජයග්‍රහණයේ දී කණ්ඩායමට අලුතින් ආපු ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පිත්තෙන් දීපු දායකත්වයත් කසුන් රාජිත, ලසිත් ඇඹුල්දෙනිය සහ සුරංග ලක්මාල් පන්දුවෙන් දීපු දායකත්වයත් අමතක කරන්න බෑ.

විශේෂ වාර්තා

  • මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු ආසියානු කණ්ඩායම බවට පත්වුණා. මීට පෙර ආසියානු කණ්ඩායම් 21 වතාවක් දකුණු අප්‍රිකාවේ සංචාරය කර ඇති අතර අවස්ථා 19 දීම හිමි වූයේ පරාජයයි. අවස්ථා දෙකකදී තරගාවලි ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වී තිබෙනවා. මේ ශ්‍රී ලංකාවේ 06 වන දකුණු අප්‍රිකානු සංචාරයයි.
  • මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 11 දෙනාගේ සමස්ථ තරග අත්දැකීම තරග 242 කි. ඊට සාපේක්ෂව දකුණු අප්‍රිකාවේ 555 කි. ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ නමට ඉදිරියෙන් ලියැවී තිබූ ශතක ගණන 21කි. දකුණු අප්‍රිකාවේ හෂීම් අම්ලාට පමණක් ශතක 28 කි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉනිමක කඩුලු 05 බැගින් දවා ගැනීම් 04කට හිමිකම් කියද්දී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එවැනි අවස්ථා 56කි.
  • පසුගිය වසර 06 තුළදී කාසියේ වාසිය පරාජය වී, පළමුව පන්දු රැක තරගයක් ජයග්‍රහණය කළ එකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව පසුගිය වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදීත් මේ දස්කම කළා.
  • මේ පරාජය ලැබීමට පෙර දකුණු අප්‍රිකාව තම රටේ දී පිට පිට ටෙස්ට් තරගාවලි 07 ක් ජයග්‍රහණය කර තිබුණා. අවසන් වරට ඔවුන් පරාජය වී තිබුණේ 2015-16 දී එංගලන්තය සමඟ පැවති තරගාවලියයි.
  • දකුණු අප්‍රිකාව කඩුලු 08 කින් හෝ ඊට වැඩි ගණනකින් තරගයක් පරාජය වූයේ 1994 වසරට පසුවයි.
  • ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම 10 ට වඩා ක්‍රීඩා කළ පිතිකරුවන් අතරින් සිව්වන ඉනිමේ දී හොදම සාමාන්‍යයට හිමිකම් කීමට කුසල් මෙන්ඩිස් සමත් විය. දැන් ඔහුගේ සිව්වන ඉනිමේ සාමාන්‍යය 52.33 කි. ඒ ඉනිම 15 දී අර්ධ ශතක 05 ක් සහ ශතකයක් සමඟින්.
  • කුසල් මෙන්ඩිස් සහ ඕෂධ ප්‍රනාන්දු අතර ඇති වූ ලකුණු 163 ක නොබිදුණු සබදතාවය, ලකුණු හඹා යෑම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් අතර ඇති වූ දෙවන හොදම සබඳතාවය යි. පළමු ස්ථානයේ තිබෙන්නේ අරවින්ද ද සිල්වා සහ අර්ජුන රණතුංග විසින් 1998 දී කොළඹ දී සිම්බාබ්වේට එරෙහිව 06 වන කඩුල්ලට පිහිටු වූ ලකුණු 189 ක සබඳතාවයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button