දේශීය

ලංකාවටත් අලි සිතියමක්

ලෝකයේ වැඩිම මිනිස් – අලි ගැටුම (අපට හුරුපුරුදු ලෙස අලි – මිනිස් ගැටුම) වාර්තා වනුයේ ශ්‍රී ලංකාවෙනි. එහෙත් අද වන විටත් ශ්‍රී ලංකාවේ කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ වල් අලි ව්‍යාප්තවීම පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක් හෝ සිතියම් ගත කිරීමක් කර නැත. එහෙයින් අලි ඇතුනගෙන් ජන ජීවිතයට වන පීඩා මෙන්ම මිනිස් චර්යාවන් නිසා අලි ඇතුනට වන හානි වැළකීමද සිදුවූවේ හුදු උපකල්පන, පූර්ව අත්දැකීම් ආදිය පදනම් කරගනිමිනි. එකී අඩුව පුරවාලමින් ශ්‍රී ලංකාවේ අලින්ගේ ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක කරුණු ඇතුළත් සිතියමක් පිළියෙල කිරීමට සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු ප්‍රමුඛ පර්යේෂකයෝ සමත්ව සිටිති.

ඉතා දිගු කලක් මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වූ සමීක්ෂණයක් පදනම් කරගෙන සැකසුණ මේ සිතියම මෙරට වනජීවි සංරක්ෂණයේ වැදගත් සිදුවීමකි. ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසනුයේ සමස්ත ශ්‍රී ලංකා භූමිය වර්ග සැතපුම් 25 කොටස්වලට බෙදාගැනීම මෙම කාර්යයේ මූලික පියවර වූ බවය.මේ සමීක්ෂණය ඉතා නිවැරදිව කරගත යුතු වුණා. ඒ හින්දා අපි ශ්‍රී ලංකාව වර්ග කිලෝමීටර් විසිපහේ කොටස්වලට බෙදාගත්තා. ඉන්පසු එකම ඒකකයක්වත් මග නොහැරෙන විදිහට අපේ පර්යේෂකයන් ඒ ඒකකවලට ගොස් තොරතුරු ලබාගත්තා ආචාර්ය පෘථිවි රාජ් පවසන්නේය.

එලෙස ඇරඹි සමීක්ෂණයේදී වර්ග කිලෝ මීටර් විසිපහේ ඒකකවලට ගිය පර්යේෂකයෝ එක ඒකකයක පදිංචිකරුවන් තිදෙනකුගෙන් තොරතුරු එක්රැස් කර ඇත. එකී පදිංචිකරුවන් ලබාදුන් තොරතුරු අනුව එම ප්‍රදේශයේ අලි ගැවසෙන්නේද, ඒ රංචු වශයෙන්ද, තනි තනිවද යන තොරතුරු ලබාගැනීමට සිදුවිය. එකී තොරතුරු විශ්‍ලේෂණය කිරීමේදී ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 18 ක් හැර අන් සියලුම ඒවායේ මිනිස් ජනාවාස පිහිටා ඇති බව සොයාගත හැකිවිය. ඉන් තහවුරු වන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 82 ක් මේ වන විටත් ජනාවාස වී අවසන් බවය.

එහෙත් වාර්තා වන පරිදි ශ්‍රී ලංකාවේ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු සතු රක්ෂිත බිම් ප්‍රමාණය මුළු බිම් ප්‍රමාණයෙන් 25 ආසන්න වේ. එහෙයින් 82 ජනාවාස වීම කොතෙක් දුරට සත්‍ය දැයි අපි විමසා සිටියෙමු.
මේ සමීක්ෂණයේදී අපි වර්ග කිලෝමීටර් 25 ප්‍රදේශයේ එක කිලෝමීටරයක මිනිසුන් පදිංචි වෙලා සිටියත් එම ප්‍රදේශයේ මිනිසුන් පදිංචි ලෙස සලකන්නට සිදුවුණා. ඊට අමතරව රක්ෂිත බිම්වල පදිංචිකරුවන් සිටින අවස්ථා තියෙනවා. ඒවා නීති විරෝධී ඒවාම නොවෙයි. නීත්‍යනුකූල පදිංචිකරුවනුත් ඉන්නවා. හේන් ගොවියෝ, ධීවරයෝ වගේ අය රක්ෂිතවලත් ඉන්නවා. එනිසා 25 රක්ෂිත බිම් කියන්නේ මුළුමනින්ම ජනමුක්ත කලාප නොවෙයි ආචාර්ය පෘථිවි රාජ් පවසන්නේය.

මෙම සිතියම මගින් තහවුරු වූ තවත් වැදගත් කරුණක් වෙයි. ඒ ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් 62 ක් අලි ඇතුන් වාසය කරන බවයි. එකී 62 සමන්විත වන්නේ මිනිස් ජනාවාස නොමැති 18 බිම් තීරුවද සමගය. ඒ අනුව පැහැදිලි වන වැදගත්ම කරුණ වනුයේ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් 44 අලි ඇතුන් සහ මිනිසුන් හවු‍ලේ වාසය කරන බවයි. මේ සංඛ්‍යා‍ලේඛන තවත් ආකාරයකට අර්ථ දැක්විය හැක. එනම් සමස්ත ශ්‍රී ලංකාවේ භූමියෙන් අලි ඇතුන් වාර්තා නොවන්නේ 38 බිම් ප්‍රමාණයක පමණක් බවයි.

ශ්‍රී ලංකාවේ මිනිස්-අලි ගැටුම මර්දනය කිරීමට අප උත්සාහ ගනිමින් සිටිනුයේ වසර හැටකට අධික කාලයක සිටය. එහෙත් එකී උත්සාහය අද වනතුරුත් සාර්ථක වී නැත. එමෙන්ම වාර්ෂිකව අලි සහ මිනිසුන් විශාල පිරිසක් මෙකී අරගලයේදී දිවි පුදති.

අලි සහ මිනිසුන් එකට වාසය කරන ප්‍රදේශවල රක්ෂිත බිම් පමණක් නොව ලඳු කැලෑ, බැඳි කුට්ටි ආදියේද අලි ඇතුන් ගැවසෙති. එහෙත් අප උත්සාහ දරනුයේ සියලු අලි ඇතුන් වනරක්ෂිතවලට කොටු කිරීමටය. එය කිසිසේත් ප්‍රායෝගික නොවන්නේ අලි ඇතුන්ගෙන් බහුතරය රක්ෂිත බිම්වල නොව හුදකලා ලඳු කැලෑ, බැඳිකුට්ටි ආදියේ වාසය කිරීම නිසාය.

මෙම සිතියම මගින් අලි ඇතුන් ව්‍යාප්තව සිටින ආකාරයද නිවැරදිව සිතියම් ගත කර ඇත. මිනිසුන් හා නිතර ගැටෙනා තනි අලි සිටින ප්‍රදේශද එමගින් හඳුනා ගත හැකි අතර කෙනරන් හා පිරිමි අලි වෙසෙන ප්‍රදේශද වෙන වෙනම සිතියම් ගත කර ඇත. මේ සියලු තොරතුරු පෙර කී වර්ග කිලෝමීටර් 25 හේ බිම් තීරුවල පදිංචිකරුවන් වෙත නිශ්චිත ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කිරීමෙන් ලබාගත් තොරතුරු මත සනාථ කරගෙන ඇති බව ආචාර්ය පෘථිවි රාජ් ප්‍රනාන්දු තහවුරු කරන්නේය.

1970 දශකයේ ආරම්භ කළ මහවැලි යෝජනා ක්‍රමයේ සිට පසුගිය කාලයේ නිමවූ හම්බන්තොට ගුවන් තොටු‍පොළ දක්වා වන සෑම සංවර්ධන ව්‍යාපෘතියකදීම අලි ඇතුනගේ චර්යා රටා පිළිබඳ නිසි ඇගයීමක් සිදු කොට නැත. එය අද වන විට මහා පරිමාණ පාරිසරික ගැටලුවකට හේතුවී ඇති බව නොරහසකි. ඊට ප්‍රධාන හේතුව වූයේ හස්ති චර්යා රටා යන විෂය පිළිබඳ රට තුළ වූ නොදැනුවත්කමයි. එහෙත් සංරක්ෂණ පර්යේෂණ ආයතනය මගින් කළ මේ සිතියම නිසා එකී අඩුව මුළුමනින්ම නිමවී ඇත. එහෙයින් ඉදිරියේදී කිරීමට යෝජිත මහා පරිමාණ කෘෂිකාර්මික කටයුතු, නව නගර, කම්හල් බිහිකිරීම වැනි සෑම සංවර්ධන කාර්යයකදීම රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද භාවිත කළ යුතු හොඳම අත් ‍පොත ලෙස සංරක්ෂණ පර්යේෂණ ආයතනය මගින් සැකසූ මෙකී අලි සිතියම් ‍පොත දැක්විය හැක.


අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close