විද්‍යාව

කොලෙස්ටරෝල් ඖෂධ : ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසකගෙන් නව සොයා ගැනීමක්

BBC ඇසුරින්

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා වෙසෙන බාල, තරුණ, මහලු කෝටි සංඛ්‍යාත පිරිසක් ශරීරයේ කොලෙස්ටරෝල් වැඩි වීමේ තත්ත්වයෙන් පීඩා විඳිති.

ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ මට්ට්මක පැවතීම, හෘදයාබාධ (Cardiovascular disease (CVD)) හට ගැනීමට එය එක් ප්‍රධාන හේතුවක් බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

කොලෙස්ටරෝල් ශරීරය පුරා ගමන් කරන්නේ රුධිරයේ ප්‍රෝටීන මාර්ගයෙනි. කිසිවෙකුගේ ශරීරයේ ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වුවහොත් එමගින් මොළයට සහ ශරීරයේ අනෙක් කොටස්වලට ලේ සැපයීම සීමා විය හැකිය.

ශරීරයේ ඉහළ කොලෙස්ටරෝල් පිළිබඳ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති අතර, ඔබේ පවුලේ සාමාජිකයන් හෘදයාබාධ, ආඝාත, අධික රුධිර පීඩනය හෝ ස්ථුලභාවයෙන් පීඩා විදින්නේ නම් ඔබේ ශරීරයේ ද කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීමේ අවදානමක් තිබේ.

කිසිවෙකුගේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ නම් ආහාර පාලනය කිරීම සහ ව්‍යායාම වැනි ක්‍රමවලින් එය පාලනය කළ හැකිය. ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව පමණි.

ස්ටැටින්ස් (Statins) යනු ශරීරයේ කොලෙස්ටරෝල් පාලනය කිරීම පිණිස වෛද්‍යවරුන් විසින් බහුලව නියම කරනු ලබන ඖෂධයකි. විවිධ ඖෂධ නාමවලින් විවිධ වර්ගයේ ස්ටැටින්ස් වෙළෙඳපොළේ පවතී.

අතුරු ආබාධ

කොලෙස්ටරෝල් පාලනය කිරීම උදෙසා භාවිත කරන ස්ටැටින්ස් ඖෂධ හේතුවෙන් ද බොහෝ අතුරු ආබාධ ඇති විය හැකිය.

තාවකාලික දෘශ්‍යාබාධ, පෙනීම බොඳ වීමේ ස්වභාවයන්, තාවකාලිකව මතක ශක්තිය බිඳ වැටීම, අසාමාන්‍ය අක්මා ක්‍රියාකාරිත්වයන්, මාංශ පේශිවල ආබාධ සහ ඇතැම් විට පිළිකා සම්බන්ධ ආබාධවලට තුඩු දීම, සීනි පරිභෝජනය පාලනය කරගත නොහැකි වීම සහ දියවැඩියාව ඇති වීමේ අවදානම පවා එම ඖෂධවල අතුරු ආබාධ ලෙසින් වෛද්‍ය විශේෂඥයින් හඳුනාගෙන තිබේ.

එවැනි අතුරු ආබාධ හඳුනාගෙන තිබුණ ද, ස්ටැටින්ස් ඖෂධ භාවිත කිරීම හේතුවෙන් මෙතෙක් හඳුනාගෙන නොතිබුණ සාධනීය ප්‍රතිඵල ද ඇති විය හැකි බව සොයා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් පිරිසක් සමත් වී සිටිති.

ශරීරයේ සෛලවල ඇති වන ක්‍රියාදාමය පාලනය කරන (G protein coupled receptor (GPCR)) නම් ප්‍රතිග්‍රාහක ප්‍රෝටීනයේ ක්‍රියාකාරිත්වය ආශ්‍රයෙන් කරන ලද සිය සොයා ගැනීම, විද්‍යා සොයා ගැනීම් සම්බන්ධ ලෝ ප්‍රකට ප්‍රකාශනයක් වන Molecular Pharmacology සඟරාවේ ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටොලේඩො විශ්වවිද්‍යාලයේ (The University of Toledo)සහය මහාචාර්ය ආචාර්ය අජිත් කරුණාරත්නගේ(Dr Ajith Karunarathne) මග පෙන්වීම යටතේ මෙම පරීක්ෂණයේ යෙදුණේ, මිතිලා තෙන්නකෝන් (Mithila Tennakoon) ප්‍රමුඛ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිව් දෙනෙකි.

දිනේෂ් කංකානම්ගේ (Dinesh Kankanamge), කණිෂ්ක සෙනරත් (Kanishka Senarath) සහ සේරා ෆාසි (Zehra Fasih) අනෙක් තිදෙනාය. ඒ අතරින් තිදෙනෙකු ම ශ්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයකි.

“මේ G protein coupled receptor තියෙනව ඔබේ ඇහේ, ඔබේ දැකීම ලබා දෙන්න, ඔබේ හෘද ස්ඵන්දනය වැඩි කරන්න හෝ අඩු කරන්න, ඔබේ වකුගඩුවල, ඔබේ අක්මාවේ මේ හැම තැන ම මේ G protein coupled receptor ක්‍රියාත්මක වෙනවා,” ආචාර්ය අජිත් කරුණාරත්න තමන් ඇතුළු පිරිසගේ සොයා ගැනීම බීබීසී සිංහල සේවය සමග විස්තර කිරීම ආරම්භ කළේ එලෙසිනි.

“මේ ප්‍රෝටීන වර්ග කොතරම් අපේ ශරීරයේ දේවල් පාලනය කරනව ද කියනවා නම්, දැනට ඖෂධ වෙළෙඳපොළේ තියන ඖෂධවලින් 40% ක් ම විතර යොමු කරලා තියෙන්නේ මේ ප්‍රෝටීන පාලනය කරන්න.”

එබැවින් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීම තුළින් ඉහත කී ප්‍රෝටීන පවුලේ ක්‍රියාකාරිත්වය පාලනය කළ හැකි ද යන්න සොයා බැලීම මිතිලා තෙන්නකෝන් ඇතුළු පර්යේෂකයන් පිරිසගේ උත්සහය විය.

“මොක ද එහෙම අඩපණ කරනවා නම්, ඒ ස්ටැටින්ස් පාවිච්චි කිරීම තුළ ඇති වන අතුරු ආබාධ අපිට ඉතා පහසුවෙන් පැහැදිලි කරන්න පුළුවන්.”

පර්යේෂණයේ ප්‍රතිඵල

ස්ටැටින්ස් ඖෂධ මගින් ශරීරය තුළ තිබෙන G protein coupled receptor ප්‍රෝටීනය විශාල වශයෙන් අඩපණ කරන බව සොයා ගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන් පිරිස සමත් වූහ.

ආචාර්ය අජිත් කරුණාරත්න පවසන පරිදි G protein ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම තුළ එහි වාසිදායක මෙන් ම අවාසිදායක බලපෑම් ද සොයා ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ.

“මේ G protein පවුලේ ප්‍රතිග්‍රාහක අපේ ශරීරයේ පාලනය කරන එක ක්‍රියාකාරිත්වයක් තමයි සෛල ශරීරයේ එක තැනක ඉඳල තව තැනකට ගමන් කරන එක. ඒ ගමන් කරන අතර තියෙනවා ප්‍රතිශක්තිකරණ සෛලත්. ඒ වගේ ම පිළිකා සෛලත් ඒ විදියට ගමන් කරනවා,” ආචාර්ය අජිත් කරුණාරත්න පැහැදිලි කළේය.

කොලෙස්ටරෝල් පාලනය කරන ස්ටැටින්ස් ඖෂධ මගින් G protein පවුලේ ප්‍රතිග්‍රාහක පාලනය කිරීම මාර්ගයෙන් ප්‍රතිශක්තිකරණ සෛල සහ පිළිකා සෛල ශරීරය තුළ ගමන් කිරීමේ හැකියාව අඩු විය හැකි බව පර්යේෂණයේ ප්‍රධාන ම සොයා ගැනීමකි.

“ඒ අඩු කිරීම 80%ක විතර අඩු කිරීමක්. ඒ කියන්නේ මුලින් 100ක් ගමන් කළා නම් දැන් යන්නේ 20යි. ඒ කියන්නේ අපිට උපකල්පනය කරන්න පුළුවන්, පිළිකා පැතිරීම ස්ටැටින්ස්වලින් අඩු කරනවා කියල. හැබැයි අපි දන්නේ නැහැ ස්ටැටින්ස්වලින් ප්‍රතිශක්තිකරණ සෛලය අඩු කළොත් ඒ දෙකෙන් ප්‍රබල වෙන්නේ මොකක් ද කියල,” ඔහු විස්තර කළේය.

“ඉතින් මේ ගැන තවත් පර්යේෂණ කරන්න අවශ්‍යයි.”

එමෙන් ම හෘදයාබාධ රෝග පාලනය කිරීම පිණිස ද ස්ටැටින්ස් උපකාරී විය හැකි බව ශ්‍රී ලාංකික විද්‍යාඥ පිරිසගේ අනෙක් ප්‍රධාන සොයා ගැනීමය.

“අපි දැනට නිගමනය කරනවා කොලෙස්ටරෝල් අඩු කිරීමට අමතරව, හෘදයාබාධයක් වෙලාවේදී ඒකෙන් සුවය ලබන්න තියන හැකියාව ස්ටැටින්ස් ඖෂධ මගින් වැඩි කරනව කියන එක.”

මිනිස් සෛල ස්ටැටින්ස් ඖෂධයට නිරාවරණය කරමින් විද්‍යාගාරය තුළ සිදු කරන ලද සිය පර්යේෂණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් සතුන් හෝ මිනිසුන් යොදාගෙන තවදුරටත් පර්යේෂණ පැවැත්විය යුතු බව ද ආචාර්ය අජිත් කරුණාරත්න වැඩිදුරටත් පැවසීය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close