සමාජ

පිරිමි ළමා අපයෝජනය, දූෂණය ගැන සමාජය මුනිවත රකින්නේ ඇයි?

රටක ළමා පරපුර නිර්වචනයකට හසු කළ නොහැකි වටිනා සම්පතකි. රටේ ලෝකයේ අනාගතය බාර ගැනීමට සිටින, රට ලෝකය පමණක් නොව එයිනුත් එහාට යාමට සිටින දක්ෂයින් බිහිවන්නේ ඔවුන් අතුරෙනි. ළමයා යනු ළපටි පැළයකි. එම පැළය නිසි ලෙස වැඩීමට අඩිතාලම වැටෙන්නේ නිවසින් සහ බාහිර සමාජයෙනි. මුදලින් මිල කළ නොහැකි මෙම සම්පත් අකාලයේ මිලින වීමට නොදී මහා වෘක්ෂයක් සේ සමාජගත කරවීමට නම් ගසකට පොහොර සේ යහපත් ගුණ ධර්ම ලැබිය යුතුමය. රකුසන්ට බිලි වීමට නොදී ආරක්ෂා කරගත යුතුය. ශ්‍රී ලංකාවේ ළමා පරපුර ආරක්ෂා කරගැනීම සඳහා නීතිමය වශයෙන් හා සමාජමය වශයෙන් යම් යම් ක්‍රමවේද ක්‍රියාත්මක වේ. නමුත් දිනෙන් දින වැඩිවන අපරාධ සලකා බලන විට එම ක්‍රමවේද යාවත්කාලින විය යුතුව ඇති බව පෙනී යයි.

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ළමා ආරක්ෂණ පනත යටතේ වගන්ති කිහිපයක් තිබුන ද, එම වගන්ති මගින් පිරිමි දරුවන් නිසි ලෙස ආවරණය වේද යන්න ප්‍රශ්නකාරී වේ. එහෙත් මිනිස් පරපුරක මුල් පුරුක් මෙසේ අසාධාරණ ලෙස මිලින වීමට ඉඩ නොදීම ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා වෙහෙස වන අප විසින් අත් නොහැරිය යුතු වගකීමක් බව සිහි තබා ගනිමින් ඔවුන්ට ආරක්ෂිතය ජීවත් වීමට හැකි පරිසරයක් සකස් කිරීම අපගේ වගකීමකි.

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රබලතම ලියවිල්ල වන 1995 අංක 22 දරණ දණ්ඩනීති සංග්‍රහය (සංශෝධන) පනත මගින් අපරාධ වරදවල් ලෙස නිර්වචනය කර ඇත්තේ ළමයින් කෲර වධහිංසා වලට භාජනය කිරීම, ළමයින්ගේ අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම, අපචාරයන් සදහා ළමුන් සැපයීම, අසත්‍යය හෝ අශ්ලීල දර්ශනයකට හෝ ප්‍රකාශනයකට ළමයකු යොදා ගැනීම හෝ ඒ සදහා අනුබල ලබා දීම, එවැනි ප්‍රකාශනයක් සන්තකයේ තබා ගැනීම, විකිණීම බෙදා හැරීම හෝ ඒ සදහා අනුබල දීම යනුවෙනි.

1998 අංක 27 දරණ අධිකරණ (සංශෝධන) පනත

මෙම පනත මගින් ව්‍යවස්ථාපිත, ස්ත්‍රී දුෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතුවලදී මූලික සාක්ෂි විභාගය යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත. මෙමගින් ළමා අතවර පිළිබද නඩු කඩිනම් කිරීමටත්, අතවරයකට ලක් වූ ළමයාට නැවත නැවත ස්වකීය සාක්ෂිය ඉදිරිපත් කිරීමේ කටුක අත්දැකීම් අවම කිරීමටත් හැකියාව ලැබී ඇත.” මෙහි ස්ත්‍රී දුෂණය හෙවත් වයස අවු 16ට අඩු ළමයකු දුෂණය කිරීම සම්බන්ධ නඩු කටයුතු වලදී මූලික සාක්ෂි විභාගය යන අවශ්‍යතාවය ඉවත් කොට ඇත යනුවෙන් සඳහන් වුවද පිරිමි දරුවෙකු සඳහා නඩු විභාගය සිදු විය යුතු ආකාරය සඳහන් වී නොමැත. ප්‍රමුඛතාවය ලැබී ඇත්තේ ගැහැණු දරුවාටය. එය වරදක් නොවුව ද පිරිමි දරුවකු අපයෝජනයට හෝ දුෂණයට ලක් වූ අවස්ථාවක ද මෙවැනි ප්‍රමුඛතා වගන්ති තිබීම ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් වාර්තා වන්නේ ගැහැණු ළමයින් සම්බන්ධ අපචාර සහ දුෂණ නඩු ය. පිරිමි ළමුන් ට සිදුවන අපයෝජන, දුෂණ, ලිංගිකමය හිරිහැර පිළිබඳ වාර්තා වීම් ගැහැණු ළමුන් ට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනී. ශ්‍රී ලංකාව තුළ පිරිමි ළමුන් අවුරුදු 18ට අඩු වයසේදී ලිංගික අපයෝජනයට ලක් වීම් ඉතා බහුල වශයෙන් පවතී, නමුත් පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක්වීම වාර්තා කිරීමේ ක්‍රමවේදයේ අඩුපාඩු හා එවැනි ලිංගික අපයෝජන සඳහා පවතින නීතිවල හා දඬුවම්වල අඩුපාඩු නිසාවෙන් පිරිමි දරුවන් ලිංගිකව අපයෝජනය වීමේ සිද්ධි වාර්තා වීම අඩු මට්ටමකින් පවතී. දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 356 ආ වගන්ති ළමා ආරක්ෂණ පනත මගින් ද ආවරණය වූ නමුත් එම වගන්ති මගින් සැබෑ ලෙසම අදහස් වන්නේ කුමක් ද යන්න පැටලිලි සහගතය.

ශ්‍රී ලංකාව තුළ පිරිමි දරුවන් දුෂණය හා අපයෝජනය වීම් පිළිබඳ පර්යේෂණ හා තොරතුරු මුලාශ්‍ර ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි. එයින් අදහස් වන්නේ පිරිමි දරුවන් දූෂණය වන්නේ නැතැයි යන්න හෝ අපචාරයට හසුවන්නේ නැතැයි යන්න නොවේ. දරුවෙකුට ආරක්ෂිතම ස්ථානය යැයි සැලකෙන පවුල, පාසලේ සිට විවිධ සමාජ ආයතන වලදී විවිධා ස්වරූපයෙන් හා විවිධ ප්‍රමාණයෙන් දූෂණය වීම් සිදුවේ. බොහෝ අවස්ථාවලදී තමන් දූෂණයකට හෝ අපචාරයකට ලක් වූ බව පිරිමි දරුවන්ට තේරෙන්නේ නැත. කුඩා කාලයේ සිට ගැහැණු දරුවෙකුට ස්පර්ශය සම්බන්ධයෙන් අවවාද හා අනතුරු ඇඟවීම් ලබා දුන්න ද පිරිමි දරුවන්ට එලෙස අවවාද ලබා දීමක් හෝ දැනුවත් කිරීමක් සිදු නොවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අපදාරය සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නොමැති අතර, අපචාරයක් සිදු වුවද දෙමව්පියන්ට පවසන්නේ නැත.

පිරිමි ළමුන් ගැන මුනිවත රකින්නේ ඇයි?

පසු ගිය අවුරුද්ද මුල් කාලයේ ඉරණවිල නව හැවිරිදි පිරිමි දරුවකු පොල් කඩන කම්කරුවකු විසින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර මරා දමා තිබේ. නමුත් සේයා දැරියට යුක්තිය ඉල්ලා කෑ ගැසූ සමාජය පිරිමි දරුවා වෙනුවෙන් මුනිවත රැක්කේ කුමන හේතුවක් මත ද යන්න ගැටලුවකි. කාන්තාව හා ගැහැණු ළමයා තරම් පිරිමි ළමයා සම්බන්ධ සිදුවීම් මාකට් නො වීම මෙය වැදගත් සිද්ධියක් නො වීමට ප්‍රධාන හේතුව විය හැකි ය.

ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් සිටින පවුලක පිරිමි දරුවා පිළිබඳ සොයා බැලීමේ අඩුවක් සමහර පවුල් තුළ පවතී. ආර්ථික මට්ටමෙන් දුප්පත් පවුලක දරුවන් පිළිබඳ නො සොයා දෙමාපියන් බඩගෝස්තරය රැක ගැනීමට හා දරුවන් උස මහත් කිරීමට රැකියා බලා පිටත් වේ.එවැනි පවුල් තුළ තනි වන පිරිමි දරුවා නිසි රැකවරණයක් නොමැතිව අයාලේ යා හැකිය.සෙල්ලම් කිරීම සඳහා පිට්ටනියට යා හැකිය. කතන්දර ඇසීම සඳහා අල්ලපු නිවසේ සීයා ලඟට ගොස් සිටිය හැකිය, ආගමික ස්ථානවල වැඩ කටයුතු සඳහා උදව් වීමට පන්සලට , පල්ලියට , කෝවිලේ සාමිගේ ගෙදර ගොස් සිටිය හැකිය. පිරිමි දරුවකුට කුඩා කාලයේදීම මෙවැනි ගමන් බිමන් යාම ඉතා සාමාන්‍ය ක්‍රියාවකි. නමුත් මේ සියලු අවස්ථාවන්ට ගැහැණු දරුවකුට දැඩි සීමා පවතී. එසේ වුවද මෙවැනි ඕනෑම අවස්ථාවක තම පිරිමි දරුවා ද දුෂණයකට හෝ අපයෝජනයකට ලක් විය හැකි බව සමහර දෙමව්පියන් සිහිනයකින් වත් සිතන්නේ නැත. පිරිමි දරුවන් තවත් පිරිමියෙකු හෝ ගැහැනියක සමග ලිංගික ක්‍රියාවකට යොමු වීමෙන් පසු එයට කැමැත්තක් දක්වන්නේ නම් කෙසේ හෝ රහසක්ව තබා ගැනීමට ද උත්සහ කළ හැකිය. එසේත් නැති නම් දුෂණය සිදු කළ තැනැත්තා විසින් එය ඉතා සාමාන්‍ය දෙයක් ලෙස දරුවාට හැඟවීමට කටයුතු කළ හැකිය. ‘මේක කාටවත් කියන්න එපා, ඔයා වගේ අනිත් අයත් මෙහෙම කරනවා ඒත් කියන්නේ නැහැ හොරෙන් තමයි කරන්නේ,’ යනුවෙන් දරුවන් රැවටීමට හා දරුවා සමග විශ්වාසය ගොඩනගා ගැනීමට පෙළඹිය හැකිය.

මෙසේ දීර්ඝ කාලයක් රහසිගතව පිරිමි දරුවකු දුෂණය වීමේ සම්භාවිතාවක් පවතී. සමාජයෙන් මෙන්ම පවුල තුළින් ද පිරිමි දරුවන් දුෂණය හෝ අපයෝජනයකට වීමට ඉඩකඩ බොහෝ පවතී. පවුල තුළ ළමා කාමය ඇති පුද්ගලයෙකු සිටී නම් හෝ බාහිරින් එවැනි සාමාජිකයකු එකතු වී තිබේනම් තම පියා වුව ද සහෝදරයකු වුව ද මස්සිනා කෙනෙකු වුව ද ඔහු අතින් පිරිමි දරුවකු දුෂණය වීමේ හෝ අපයෝජනය වීමේ සම්භාවිතාවක් පවතී. එවැනි අවස්ථාවක එම සිද්ධිය හෙළි වුව ද තම පවුලේ ගරුත්වය හා සමාජමය ප්‍රශ්න හමුවේ එම දුෂණය වාර්තා නොවීමට හැකියාව ඇත. මනුෂ්‍ය හැඟීම් බාහිරට සියල්ල විවෘත වන්නේ නැත. ඕනෑම පුද්ගලයකු තුළ සඟවාගත් ළමා කාමය තිබිය හැකිය. කුරිරු ලෙස එම කාමාශාවන් ඉටු කරගැනීමට දරුවන් යොදා ගැනීම තුරන් කළ හැකි එක් බලවත් සාධකයක් වන්නේ රටේ පවතින නීති පද්ධතිය යි. රටක් තුළ අපරාධ සිදුවන ආකාරය විවිධාකාර විය හැකිය. එනිසා රටක නීති පද්ධතිය අනිවාර්යයෙන්ම යාවත්කාලින විය යුතු වේ. දරුවන් යනු ඍජුවම රටේ අනාගතයට බලපාන ප්‍රධාන සාධකයක් බැවින් ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීම සමාජයට නිතර සිහිපත් කළ යුතු වේ.

ආදිල් සුරාජ්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button