විශේෂාංග

මහ රෑ ටැක්සි එළවන වසුන්දරා

වසුන්දරාට අහස අල්ලන්නට හීනයක් නැත. ඇයට ලෝකය දිනන්නට හීනයක් නැත. නමුත් ඇයට ජීවිතය දිනන්නට හීනයක් ඇත. ජීවිතේ බොහෝ සැප විඳි ඇය අද කුඩා මෝටර් රථයක් සමඟ ඔට්ටු අල්ලන්නේ රන් පදක්කමකට නොවේ. ජීවත් වන්නටය.

එච්.ඩී. වසුන්දරා ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන්නියකි. උසමහත් වුණු දීග ගිය දරුවන් දෙදෙනකුගේ මවක් වන ඇයට දැන් වයස අවුරුදු හැටදෙකකි. වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ බාල සහෝදරයින් තිදෙනෙක් අතරමැද ජීවත් වුණු වසුන්දරාගේ රියදුරු බලපත්‍රයට මේ වනවිට අවුරුදු තිස්අටක් සපිරේ. වසුන්දරා වසර 28ක් තිස්සේ පිටකොටුව මල්වත්ත පාරේ රෙදි සාප්පුවක් කරගෙන ගියාය. ඇය යටතේ සේවක සේවිකාවෝ බොහෝමයක් සේවය කළහ. වසුන්දරා පිටකොටුවේ එකල නොහඳුනන කෙනෙක් සිටියේ නැත. පිටකොටුවේ සිඟමන් යදින්නන්, නාට්ටාමිවරැන්, කඩසාප්පු හිමියන් පමණක් නොව වීදි ගණිකාවන් පවා වසුන්දරාට මිස් යැයි ආමන්ත්‍රණය කළෝය. ඇතැම් වීදි ගණිකාවන් “අනේ මිස් මට ගවුමක් දෙන්න යැයි පින්සේන්ඩු වෙද්දී වසුන්දරා ඇයට ගවුමක් දෙන්නටත් “අද තාම වැඩක් සෙට් වුණේ නැහැ…. බඩගිනියි මැඩම්. යැයි නට්ටාමිවරයෙකු බැගෑපත් වද්දී අසල කඩයකින් කහට කෝප්පයක්, බත් පැකට් එකක් ගෙන දෙන්නට තරම් කාරුණික වූවාය. මේ නිසාම වසර විසිඅටක් මල්වත්ත පාරේ සාප්පුවක් කළ වසුන්දරාට කොයි කවුරුත් ගරුකළහ. අදටත් ඉඳහිට මල්වත්ත පාරට යන වසුන්දරාට ඒ ගෞරවයත් ලැබේ.

වසර විසිඅටක් ඇය රෙදි ව්‍යාපාරය පවත්වාගෙන ගියාය. හැටන්, නුවර, තලවාකැලේ වැනි ප්‍රදේශවලට ඇය රෙදිපිළි සැපයූවාය. ඇය පිටකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකාවක වූවාය. ඒ අතර ඇය ගම්පහ ප්‍රදේශයේ තවත් රෙදි සාප්පුවක් ද පවත්වාගෙන ගියාය. එම සාප්පුවට ආසන්නයේම “ලර්නර්ස්* එකක් තිබුණි. වසුන්දරාගේ ජීවිතය වෙනස් කළේ එතැනිනි. ඇය එයින් රියදුරු බලපත්‍රයක් ගන්නේ අනාගත රැකියාවට අතවනමිනි.

වසර විසිඅටක් කරගෙන ආ ව්‍යාපාරයට කණකොකා හැඬවුණේ ඔය කාලේදීමය. කුලියට පවත්වාගෙන ගිය කඩ කාමරය අයිතිකරැවන් ඉල්ලද්දී වසර විසිඅටක්ම කළ කඩ කාමරය බාරදී වසුන්දරා පිටකොටුවට ආයූබෝවන් කීවාය. තවත් ටික කාලයක් ගම්පහ කඩසාප්පුවත් රෙදිපිළි ව්‍යාපාරයත් පවත්වාගෙන ගියද වසුන්දරාගේ ජීවිතයට මුහුණ දුන් බොහෝ ප්‍රශ්න හමුවේ ඒ සියල්ලට කඩා වැටුණාය. ඔය කාලේදී වසුන්දරා වාහන දෙක තුනක හිමිකාරියක වූවාය. ඇය ලොරි පැදවීමට ද දක්ෂකමක් දැක්වූවාය.

ගැහැනිය සියුමැලියැයි සමාජයේ බොහෝ දෙනකු තුළ මතයක් පැන නැගුණද වසුන්දරාගේ සිත ජීවිතයට ඇතිවුණ බොහෝ දුෂ්කරතා හමුවේ ශක්තිමත් වුණි. ඇය තනිවම තම ලොරිය පදවාගෙන මූත්තූර් ගියාය. එම ප්‍රදේශයේ ගව පට්ටි ආශ්‍රිතයට ගොස් තනිවම ගොම එකතු කළාය. ඒවා ලොරියේ පටවා ගත් ඇය වැලිවේරිය ප්‍රදේශයේ අන්නාසි ගොවිපළවල්වලට අලෙවි කළාය. මෙය ඉතා දුෂ්කර කටයුත්තක් විය. නමුත් ජීවත්වෙන්නට වෙර දරන වසුන්දරාගේ සිතට ඒ හයිය ලැබී තිබිණි.
ජීවිතේ ඇය අපූරු ගැහැනියක් වූවාය. ජීවිතේ බොහෝ ප්‍රශ්න ඇයගේ හිස මත පැටවෙද්දී අතේ, කරේ බැඳි රත්තරන් මාලවළලු එකින් එක උගස් කඩයට සින්න වෙද්දී බලාගෙන ඉඳිද්දීම ඇයගේ වාහන විකුණා දමද්දී ඇයට කරකියා ගන්නට දෙයක් නොතිබිණි. පසුම්බියේ ඇති සල්ලි කොළ එකින් එක නැති වෙද්දී අවසානයේදී ඒ පසුම්බියේ ඉතිරි වූයේ ඇයගේ රියදුරු බලපත්‍රය පමණි.

ඇය තීරණයක් ගත්තාය. අවසානයේදී ඇයට රැකියාවක් ලැබුණි. සේවක සේවිකාවන් පිරිවරා වෙළෙඳසැලක හිමිකාරියක වූ ඇයගේ ජීවිතය තවත් කෙනෙකු යටතේ රැකියාවක් කරන්නට තරම් දෛවය වෙනස් විය. ඇය ගම්පහ වෙනත් ව්‍යාපාරිකයෙකුගේ මෝටර් රථයක රියදුරකු ලෙස සේවයට බැඳුණාය. ව්‍යාපාරිකයාට දරුවන් තිදෙනෙක් වූහ. වසුන්දරාට පැවරුණු ප්‍රධානම රාජකාරිය වූයේ මේ දරුවන් තිදෙනාගේ රියදුරු ලෙස සේවය කිරීමය. සෑම උදෑසනකම ඇය ගම්පහ සිට කොළඹ ආනන්ද විදුහලටත්, කොළඹ දේවි බාලිකාවටත්, කොළඹ රාජකීය විදුහලටත් දරුවන් ගෙන ආවාය. දරුවන් අමතර පන්තිවලට ගෙනියන්නේ ද වසුන්දරාය. ඒ වෙනුවෙන් ඇයට කෑම බීම ඇතුළුව සැලකිය යුතු වැටුපක් ලැබිණි. වසරක කාලයක් ඒ රාජකාරියේ කටයුතු කළ ඇය එතැනින් ද ඉවත්වූවාය.

ඔය කාලයේදී ලංකාවට පෞද්ගලික “කැබ් සර්විස්” එකක් හඳුන්වා දෙනු ලැබීය. ඇය එයට එකතුවී එම ආයතනයේ මෝටර් රථයක් පැදවූවාය. ඔය අතරේදී වසුන්දරාගේ ඥාතිවරයෙකුගේ මෝටර් රථයත් ඇය මාසික කුලී පදනමට ලබාගත්තාය. ඒ ඇල්ටෝ වර්ගයේ කුඩා මෝටර් රථයකි. අද වනවිට ඇය එයට මසකට රැපියල් පනස්දහසක මුදලක් කුලිය වශයෙන් ගෙවයි.

අද ඇය එම මෝටර් රථයේ කුලී රියදුරාය. රියදුරු අසුනේ වාඩි වී ඇය අද ලංකාවේ විවිධ ප්‍රදේශවලට මගීන් රැගෙන යයි. වසුන්දරා කාන්තාවකි. බොහෝ කාන්තාවෝ රාත්‍රී කාලයේදී ගමන් බිමන් යාමටත් බියක් දක්වති. නමුත් වසුන්දරා සුක්කානම අතට ගත්තේ රාත්‍රී කාලයටය. එයයි ඇගේ විශේෂත්වය.

“මම මගේ වැඩ පටන්ගත්තේ රාත්‍රියටයි. රෑට පාර නිදහස්. දවල් පුදුම විදියට ට්‍රැෆික්. ඒක හිතටත් වදයක්. රෑට එහෙම නැහැ. පාර හරි නිදහස්. කරදරයක් නැහැ. මම සාමාන්‍යයෙන් වැඩ පටන්ගත්තේ හවස පහට විතර. හැබැයි ඒ වෙලාවටත් පාර ට්‍රැෆික් කියලා දැනෙනවා නම් මම අට වෙනකන් ඉන්නවා. ගොඩාක් වෙලාවට මම වැඩ පටන්ගත්තේ රෑ අටට විතරයි. ඊට පස්සේ ඉතින් පහුවදා අට විතර වෙනකන් මම වාහනය පදවනවා.

රාත්‍රී කාලයේදී මාර්ගය නිදහස්ය. නමුත් බොහෝ විට ඇයගේ හිතට නිදහසක් නැත. ඇයගේ මෝටර් රථයේ ඒ රාත්‍රියේදී ගමන් කරන්නේ විවිධාකාර චරිත වීම ඊට හේතුවය. ඇය තනිවම තම මෝටර් රථය ලංකාව පුරාම පැදවූවාය. වරක් ඇය මොණරාගල ගියාය. තවත් වරෙක හබරණ, දඹුල්ල, වැනි ප්‍රදේශවලද මහ රාත්‍රියේ රිය පැදවූවාය. ඇයගේ හයර් එක අවසානයේදී මහ කට්ට කළුවරේ මහරෑ ඇය නැවත කොළඹ බලා තනිවම රිය පදවාගෙන ආවාය. බොහෝ අය රාත්‍රි කාලයේදී තම නිවසේදීමත් තනිවම එහාමෙහා යාමට පවා බිය වෙති. මහරූක කළුවරේ තනිවම තම නිදන කාමරයෙන් වැසිකිළියටත් යාමට බිය වෙති. නමුත් වසුන්දරා මහ රූ කට්ට කළුවරේ තම මෝටර් රථය තනිවම පදවාගෙන ආවාය.

බොහෝ විට රාත්‍රිකාලයේදී මත්පැන් පානය කළ මිනිස්සු වසුන්දරාගේ මෝටර් රථයට ගොඩ වූහ. නමුත් කිසිමදාක ඔවුන් කිසිවකුගෙන් වසුන්දරාට කරදරයක් වී නැත. ඇය කතෝලික කාන්තාවකි. ඇය සෑමවිටම තම ආගම සිහිකරන්නීය. තම හිතේ හයිය මෙන්ම ආගමේ පිහිට ඇයට ඇතිබව ඇය හැමවිටම විශ්වාස කරන්නීය.

මහ රෑ කළුවරේ තම මෝටර් රථය පදවද්දී දැනෙන තනිකම නැති කරගැනීමට ඇය වාහනයේ කැසට් පටයක් මහ හයියෙන් වාදනය කරන්නීය. බොහෝ රියදුරෝ රාත්‍රි කාලයේදී රිය පදවද්දී දැනෙන නිදිමත ගතිය නැති කරගැනීමට සිගරට්ටුවක් දල්වා ගනිති. බුලත්විටක් හපතී. නමුත් ඒ කිසිවක් වසුන්දරා කරන්නේ නැත. ඇය රිය පදවද්දී නිදිමත අහලකවත් නැත. අඩුම තරමේ තම මෝටර් රථයේ ගමන් ගන්නා මගීන් දුම්වැටියක් දල්වා ගන්නවාටවත් ඇය කැමති නැත. එලෙස යම් කෙනෙකුට දුම්වැටියක් දල්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ඇය මෝටර් රථය පැත්තකට වන්නට නතර කර ඒ සඳහා ඉඩකඩ ලබා දෙන්නීය.

වරක් ඇයගේ ජීවිතයට මුහුණ දුන් අත්දැකීමක් ඇයට කිසිදා අමතක නොවේ. එය හබරණ ප්‍රදේශයට ලැබුණු හයර් එකකි. කුඩා දරැවන් දෙදෙනකු සමඟ තවත් දෙදෙනකු වාහනයේ සිටියහ. හබරණට යනවිට රාත්‍රී දහය හමාරට පමණ වන්නට ඇත. මුළු ප්‍රදේශයේම අන්ධකාරයෙන් වැසිගොස් තිබුණි. පාර පාළුය. එළියට තිබුණේ වාහනය ඉදිරිපස විදුලි බුබුළු පමණි. එක්වරම දුටු දෙයින් වසුන්දරා ගල්ගැසුණාය. ඒ වනවිටත් වාහනයේ සිටි පිරිස සැප නින්දේය. මහාමාර්ගයේ සද්දන්ත අලියෙකි. ඇයට ආපස්සට වාහනය ගන්නට බැරිය. තව කෙනෙකුගේ පිහිට පැතිය නොහැක. ඇය හිතට ධෛර්යය ගත්තාය. ටික වෙලාවකින් මහමාර්ගයේ සිටි අලියා අසල කැලයට රිංගා ගත්තේය. ඇය ඉතා ඉක්මනින් වාහනය ඉදිරියට ගත්තාය.

ඇයගේ වාහනයට ලංකාවේ දන්න කියන අය පවා ගොඩවැදී ඇත. වරක් ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා වසුන්දරාගේ වාහනයට ගොඩවැදුණේය. සුනිල් ඔහුගේ නිවසට ගෙනයන ලද්දේ වසුන්දරා විසිනි. අවසානයේදී වසුන්දරා සුනිල් සමඟ තම ජංගම දුරකතනයෙන් ඡායාරෑපයක් ද ගත්තාය.

පාන්දර වනතුරු රිය පදවන ඇය ඉන්පසුව නිවසට ගොස් ගෙදරදොරේ වැඩක නිරතවේ. පසුව ඇය පැයක් පමණ නිදාගනී. නැවතත් හවස ඇය සුපුරුදු රාජකාරියට සූදානම් වේ. ඇයට නින්ද දැන් ගාණක් නැත. නිදිමත ඇය අහලකවත් නැත.

වසුන්දරාට හීනයක් ඇත. ඒ තමන්ටම කියා වාහනයක් මිලදී ගැනීමය. තමන්ගේම වාහන දෙක තුනක අයිතිකාරියක වූ වසුන්දරා අද ඒ අතීතය මතක් කරන්නේ වේදනාවෙනි. ජීවිතය ඇයව පරීක්ෂාවට ලක්කළාය. ඇයට ජීවිතය නැවත නැගී සිටින්නට ශක්තියක් දුන්නාය. ඇය සැබැවින්ම ජීවිතය නැගිටින්නට උත්සහා කරනා දිරිය කාන්තාවකි. අත පුරා පැළඳි රත්තරන් අද ඇයට නැත. අද ඒ අත් පාළුය. නමුත්…. හිතේ හයිය ගතපුරා ඇයට ඇත. ඇය කිසිමදාක ගෙදරට වී සිටියේ නැත. රැකියාවක් නැති කාලයේදී ඇය සෙකියුරිටි රැකියාවක් ද කළාය. අද ඇය කාටවත්ම කරදරයක් නැතිව මෝටර් රථයක් ධාවනය කරයි. ඇයට අද සුක්කානම හොඳට හුරුය. අද ඇයට මහාමාර්ගය හොඳට හුරුය. එපමණක්ම නොව අද ඇයට රාත්‍රිය හොඳට හුරුය. ජීවිතයේ මැදිවියේ ගෙවන වසුන්දරාට හෙට දවසේ ඇත්තේ එකම එක හීනයක් පමණි. ඒ තමන්ගේම කියාගත් වාහනයක් මිලදී ගැනීම පමණි.


දිශානි ජයමාලි කරුණාරත්න
සේයා රූ – සුමුදු හේවාපතිරණ

දේශය පුවත්පත ඇසුරින්

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close