විදේශීය

ළමා ලිංගික අපචාර වලට වරදකරු වූ ඇමරිකාවේ හිටපු ප්‍රබල කාදිනල් අගරදගුරුවරයා පූජකතත්වයෙන් පහ කෙරේ

ඇමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ්‍රාමික අගරදගුරු (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් පූජකත්වයෙන් ඉවත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 16) තහවුරු කළේය.

එදින නිකුත් කළ නිවේදනයක් මගින් වතිකානය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. “පාපොච්චාරණ සක්‍රමේන්තුව සම්ප්‍රයාචනය කිරීම (solicitation), සහ බාල වයස්කාරයන් සහ වැඩිහිටියන් සමග සවැනි දේව පනතට විරුද්ධ පාප සිදුකිරීම හා ඒ තුළ වඩා බරපතල ආකාරයෙන් බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්” මැක්කෙරික් ගේ පූජකත්වය ඉවත් කරන ලද බව එම නිවේදනය ප්‍රකාශ කරයි.

පූජකවරයකු සහ රදගුරුවරයකු ලෙස සිටි කාලය තුළ බාලවයස්කාරයන් සහ වැඩිහිටි යොවුන් දෙව්සත්හල් සිසුන්ට ලිංගික වශයෙන් අතවර කිරීම සහ ඒවාට ඔවුන් පොළඹවා ගැනීම සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු වරයා වූ තියඩෝර් මැක්කෙරික්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

මෙම වැරදි සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති බව ඒ පිළිබඳව විභාග කළ වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් පර්ෂදය ජනවාරි 11 වැනිදා තීරණය කළේය. එහෙත් මැක්කෙරික් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය විශ්වාස ධර්ම පර්ෂදය විසින් පෙබරවාරි 13 වනදා ප්‍රතික්ෂේප කෙරිණි. එම තීරණය මැක්කෙරික් වෙත දැනුම් දෙන ලද්දේ පෙබරවාරි 15 වනදා ය. ඒ සමගම “එම තීරණය නීතියට අනුකුලව ගන්නා ලද නිශ්චිත තීරණයක් ලෙස” ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පිළිගනු ලැබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් යළිත් වරක් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව මැක්කෙරික්ට අහිමි විය.

පූජක තත්වයෙන් පහ කිරීම යනු….

“පූජක තත්වයෙන් පහකිරීම” නොහොත් ඉවත් කිරීම යන්න පැහැදිලිව තේරුම් ගත යුතුව තිබේ. කතෝලික සභාව උගන්වන ආකාරයට පුදැදුරුවරය හෙවත් පූජාත්වරය යනු ප්‍රසාද ස්නාපනය බඳු ජීවිතය පුරාම ආත්මයේ විශේෂ මුද්‍රාවක් සලකුනුවන සක්‍රමේන්තුවකි. පුදැදුරුවරයකු කිසියම් හේතුවක් මත පූජකතත්වයෙන් ඉවත් වූවද එම සලකුණ ඔහු වෙතින් ඉවත් වන්නේ නැත. එම සලකුණ ඉවත් කිරීම ද කිසිදු මනුෂ්‍යයකුට කළ නොහැකිය. මේ අනුව මැක්කෙරික් පූජක තත්වයෙන් පහ කිරීමේ දඬුවමේ අරුත වතිකානය විසින් පැහැදිලි කරනු ලැබ තිබේ.

පුදැදුරු තත්වයෙන් පහ කිරීම හේතුවෙන් පුදැදුරු වරයකු වීමට සම්බන්ධ සියලු අයිතිවාසිකම් සහ වගකීම් ඔහුට අහිමි වේ. ඔහුට පුදැදුරුවරයකු ලෙස පෙනී සිටිය නොහැකිය. කිසිදු ප්‍රසාද නිධානයක් දානය කිරීම හෝ සැමැරීම තහනම් වේ. ක්ෂණික මරණාසන්න මොහොතේ සිටින තැනැත්තකුට පව් සමාව දානය කිරීම හැරුණු කොට වෙනත් කිසිදු ප්‍රසාද නිධාන කාර්යයක් කල නොහැකිය. පූජකවරයකු සතු ගරු නාම භාවිත කිරීම ද කල නොහැකිය.

නූතන සභා ඉතිහාසය තුළ පුදැදුරු වරයෙන් ඉවත් කිරීම තරම් ඉහළ දඬුවමක් ලද සභාවේ ඉහළම ධුරයක් දැරූ තැනැත්තා ලොව නම් දැරූ ප්‍රබලම කාදිනල් වරකු මෙන්ම අගරදගුරු වරයකු ද වූ තියඩෝර් මැක්කෙරික්ය.

ඉතිහාසය

මැක්කෙරික් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වූයේ තමන් වයස අවුරුදු 16 පූජා උදව් දරුවකු ලෙස සිටියදී මීසම් සේවක පියතුමා වූ මැක්කෙරික් තමන්ට ලිංගික අපචාරයක් සිදු කරන ලද බවට එක් පුද්ගලයෙක් චෝදනා කිරීමත් සමග ය. එම චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ දී එය “පදනමක් සහිත, විශ්වසනීය” එකක් ලෙස තීරණය කල නිව් යෝර්ක් අගරදගුරු පදවිය වැඩිදුර කටයුතු සඳහා එය වතිකානයට යොමු කළේය. ඒ සමගම මැක්කෙරික් පිළිබඳව එතෙක් ප්‍රසිද්ධ රහස් ලෙස තිබුණු අපචාර චෝදනා රැසක් ද හෙළිදරව් වන්නට පටන් ගත්තේය.

මෙම තත්වය තුළ වතිකානයේ ඉල්ලීම මත 2018 ජූලි මාසයේදී මැක්කෙරික් කාදිනල් පර්ෂදයෙන් ඉල්ලා අස්විය. එම අස්වීම පිළිගත් සුදොතුම් පියතුමා “යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපයෙන් යුත් හුදෙකලා ජීවිතයක්” ගත කරන ලෙස ඔහුට නියම කළේය.එදින සිට ඔහු මෙතෙක් ජීවත් වූයේ තාපසාරමයක හුදෙකලාවයි.

අගරදගුරු කාලෝ විගානෝ චෝදනාව

තියඩෝර් මැක්කෙරික් පුදැදුරු සමයේ සිටම බාල වයස්කාරන් මෙන්ම යොවුන් දෙව්සත්හල් සිසුන් ද ලිංගික අපචාවරලට යොදා ගත්බව ප්‍රසිද්ධ රහසක් ව තිබූ බවට මේ වන විට තොරතුරු ලැබී තිබුනේය. මේ නිසා ඔහු පුදැදුරු වරයකු ගේ සිට රදගුරු, අගරදගුරු මෙන්ම ලොව ප්‍රසිද්ධම සහ ප්‍රබලම ස්ථානයක් වන වොෂින්ටන් නුවර අගරදගුරු-කාදිනල් ධුරය දක්වා සභා ධුරාවලියේ ඉහලට ගමන් කලේ කෙසේදැයි ප්‍රශ්න නැගෙන්නට විය.

1977 දී පුදැදුරුවරය ලද මැක්කෙරික් 1981 දී නිව් යෝර්ක් හි සහායක රදගුරු ලෙස පත්කරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසිනි. 1981 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා නිව් ජර්සි ජනපදයේ අලුතින් පිහිටුවන ලද මෙටුචෙන් පදවියේ ප්‍රථම රදගුරුවරයා ලෙස ඔහු පත් කළේය. පස්වරසකට පසුව නෙවාර්ක් පදවියේ අගරදගුරුවරයා ලෙසත්, වසර 2000 දී වොෂින්ටන් නුවර අගරදගරු ලෙසත් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් ඔහු පත්කරන ලදී. 2001දී ඔහු කාදිනල් ධුරයට පත්කරන ලද්දේ ද එතුමන් විසිනි.

මේ අතර, තියඩෝර් මැක්කෙරික් ගේ ලිංගික අපචාර චෝදනා ගැන කටයුතු නොකිරීම ගැන වගකිව යුත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බවට චෝදනා කරමින් 2011 සිට 2016 දක්වා වොෂින්ටන් නුවර වතිකාන තානාපතිව සිටි කාලෝ මරිය විගානෝ අගරදගුරු තුමා 2018 අගෝස්තු මාසයේ පුවත්පත් කිහිපයකට නිකුත් කල ප්‍රකාශයක් මගින් චෝදනා කළේය. ඔහු පවසා තිබුනේ මැක්කෙරික්ට එරෙහිව සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් පනවා තිබූ තහංචි කිහිපයක් ප්‍රන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉවත් කරන ලද බවයි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා අස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබුණේය.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. “එම දීර්ඝ ලියුම කියවා ඔබේ හැකියාව නුව පරීක්ෂණ සිදු කර ඒ ගැන ඔබම තීරණයකට එන්නැයි” මේ ගැන විමසු වාර්තාකරුවනට එතුමා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button