දේශීය

E-Health කාඩ්පත ජනගත කිරීමට සූදානම්

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් (E-Health) කාඩ්පත හදුන්වාදීම ලබන 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඒ අනුව, අමාත්‍ය දන්ත වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරු 9.00ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හදුන්වාදීමට නියමිතයි.

විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන අතර, පළමු අදියරේ දී රෝහල් 200 කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිතය. මේ වන විට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ආරම්භ කර ඇත. 2019 වසර අවසන් වන විට රෝහල් 300 ක් පමණ පරිගණක ගත කිරීම අපේක්ෂාවයි.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල මිලියන 21 ක් වූ ජනතාවට ම ඊ-හෙල්ත් කාඩිපත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

මෙම කාඩ්පත මගින් කිසියම් රෝගියෙකුගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇත. රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙනවා. මාස 02 ක පමණ කාලයක් ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරීමේ දී මතුවන ප්‍රශ්න ගැටලු විසදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා ද උපදෙස් ලබා දී ඇත. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වී ඇත.

පෞද්ගලික සායන සහ පෞද්ගලික රෝහල් වලට ද ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීමෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට රෝගියාට හැකියාව ඇත.

මෙම වැඩපිළිවෙලට සමගාමීව පවුලේ වෛද්‍යවරයා සංකල්පය ද හදුන්වාදීමට නියමිතය. එහිදී පුද්ගලයින් 10,000 කට එක් වෛද්‍යවරයෙකු පත් කර වසරක් තුල ඔවුන් පරීක්ෂා කිර රෝග හදුනා ගත යුතුය. ඉන් පසු සැම පුද්ගලයෙකුම මාස 06 කට වරක් පරීක්ෂා කිරිම අනිවාර්ය වෙයි. මෙම පරීක්ෂා කිරීම් වල වෛද්‍ය වාර්තා ද ඊ-හෙල්ත් කාඩ්පතට ඇතුලත් කිරීමට නියමිතය. ඊ-හෙල්ත් කාඩ්පත තුල කිසියම් පුද්ගලයෙකුට අදාල තොරතුරු සහ වෛද්‍ය වාර්තා තොරතුරු ඇතුලත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button