දේශීය

ඔපල්ගල රක්ෂිතය ඉඩම් මංකොල්ලකරුවන් නිසා අනතුරේ

- 'දුම්බර අපේ' පරිසර සංවිධානය හෙළිකරයි

ශ‍්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස අනාදිමත් කාලයක් තිස්සේ සංවාදයට ලක් වෙමින් පවතී. එම කරුණ සටන්පාඨයක් කරගනිමින් සංවර්ධනයට මුවා වී ස්භාවික වනාන්තර, රක්‍ෂිත ඉඩම් කුණු කොල්ලයට විකිණීම හා ව්‍යාපාරිකයින්ට බදු පදනම මත ලබා දිම කාලයක් තිස්සේ සිදුවෙමින් පවතී. පාලකයින් මෙන්ම සමහර නිළධාරින්ද තමන්ට ලැබෙන කොමිස් කුට්ටියේ ප‍්‍රමාණයට අඩුවැඩි වශයෙන් තම දායකත්වය ලබා දේ. මාතලේ – නාඋල ඕපල්ගල රක්‍ෂිත ඉඩම්වලටද ඉඩම් මංකොල්ලකරුවන් බැල්ම හෙළීමට පටන්ටන්ගෙන ඇත.

ඕපල්ගල, වැල්ගාල, ගලබොඩ, සේනාගම, ආඳාවල, කොටගල, යන ගම්මානවලින් වටවූ ඌරුමිගොල්ල රක්‍ෂිත භූමියට යාබද ‘‘ආනමලේ වත්ත’’ සෙකුම්බිවත්ත අක්කර 96ක් පමණ ජා ඇල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට අයිති බව පැවසේ. මෙම ව්‍යාපාරිකයා විසින් ඉඩම සංවර්ධනය කර සංවාරක කළාපයක් ඉදිකිරිම මුවාවෙන් රක්‍ෂිත භූමියේ පිහිටි මනරම් කඳුගැටයක් වන ඌරුමියගොල්ල කඳු මුදුන සහ රක්‍ෂිත ඉඩම් සීමා මායිම් වෙනස් කරමින් තම ඉඩමට ඈඳාගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර මැදිහත් වී ඇති බව එම රක්‍ෂිත භූමියේ නිරික්‍ෂණ චාරිකාවකට ගිය ‘‘දුම්බර අපේය’’ ‘‘මාතලේ පරිසර මිතුරෝ’’ යන පරිසර සංවිධානත්, නාඋල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන සුනිල් ශාන්ත මහතාද ආඳාවල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරුභවතුන් සහ ගම්වාසීන්ගෙන් ලැබුණ නිරික්‍ෂණ තොරතුරු මත මෙම ඉඩම් අත්පත් කරගැනීමට ඇති සූදානම සාක්‍ෂි සහිතව සනාථ කරගැනීමට හැකිවිය.

විදුහල්පති හේමන්ත මහතා

මේ පිළිබඳ අදහස් දක්වන ආඳාවල මහා විද්‍යාලයේ විදුහල්පති හේමන්ත මහතා…

“මම ඕපල්ගල ගමේ අවුරුදු 45ක පමණ අත්දැකීම් ඇති කෙනෙක්. ඕපල්ගල මහා විද්‍යාලයේ විදුහල්පති හැටියට වැඩ කරන අතර ඕපල්ගල ගම්මානයේ මේ ඌරුමීගොල්ල රක්‍ෂිත ඉඩම් ජා ඇල ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් විසින් එළිපෙහෙලි කරමින්, කුකුළ් අඩි සහිත මායිම් ගල් වෙනස් කරමින් රක්‍ෂිත ඉඩම් අයිති කරගැනීමේ උත්සහයක යෙදි සිටින බව අපි මේ ආව නිරික්‍ෂණ චාරිකාවේදි තහවුරු වුණා. මෙම කඳු මුදුනේ සිට බලන විට මොරගහකන්ද ජලාශයත්, බෝවතැන්න ජලාශයත් ඉතා හොඳින් පේනෙනවා. මෙම භූමියේ හෝටලයක් ඉදිකිරිමක් ගැන ගමේ අයට තොරතුරු ලැබී තියෙනවා. අපි බලධාරින්ගෙන් ඉල්ලාසිටින්නේ කුඹුරු අක්කර 100 කට පමණ ජලය සපයන පාලාගොල්ල ඔය ආරම්භවෙන්නේ රක්‍ෂිත භූමියෙනි. ජලපෝෂක ප‍්‍රදේශයක් වන මෙම රක්‍ෂිත භූමිය ව්‍යාපාරිකයන්ට පවරා නොදි පතු පරපුර වෙනුවෙන් රැක දෙන ලෙසයි.”

රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා

මාතලේ පරිසර මිතුරෝ සංවිධානයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා…

“මාතලේ පරිසර මිතුරෝ හැටියට ගම්වාසීන් එක්ක ඕපල්ගල රක්‍ෂිත භූමියේ සිදුවන සංවර්ධන කටයුත්තක් ගැන නිරික්‍ෂණ චාරිකාවට අද අපි එකතුවුණේ මෙම රක්‍ෂිත භූමිය පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් සංවර්ධන කටයුතු මුවාවෙන් තම පුද්ගලික ඉඩමේ සීමා වෙනස් කරමින් රක්‍ෂිතය අල්ලාගැනීමට දරන උත්සහය සාක්‍ෂි සහිතව නිරික්‍ෂණය වුණා. අපි බලාපොරොත්තු වෙනවා සිය නිළධාරින් දැනුවත් කර පරිසරවේදින් දැනුවත් කර මෙම රක්‍ෂිත ඉඩම් අත්පත් කරගැනීම කෙසේ හෝ නතර කරගැනීමට. එයට අවශ්‍ය ඕනෑම ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අපි සූදානම්.”

සුනිල් ශාන්ත මහතා

නාඋල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (ජ.වි.පෙ) සුනිල් ශාන්ත මහතා…

“මහජන නියෝජිතයෙක් ලෙස මෙම නිරික්‍ෂණ චාරිකාවට අද අපි ආවෙ ඕපල්ගල රක්‍ෂිතය විනාශ කරමින් ඉඩම් කොල්ලකෑමට සූදානම් වන ජා ඇල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු රක්‍ෂිත භූමිය අත්පත් කරගැනීමට දරන උත්සහය නිරික්‍ෂණය කිරිමටයි. මීට පෙරත් ගම්මුන් විසින් ප‍්‍රාදේශීය ලේකම් තුමා, වන සංරංක්‍ෂණ නිළධාරින් දැනුවත් කර ඇති අතර මේ වන තෙක් නිසි පියවරක් නොගෙන ඇති බව පෙනී යයි. රක්‍ෂිතයේ කොන්ක‍්‍රීට් කණු දමා එළිපෙහෙළි කර ඇති බව පෙනී යයි. කෙසේ හෝ මේ සියල්ල නොසළකා,රක්‍ෂිත ඉඩම් අත්පත් කරගැනීම කාලයක් තිස්සේ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින් ජනතාවගේ ජීවිත නොසළකා පෞද්ගලික උවමණාවන් වෙනුවෙන් මැදිහත් වන බව විටින් විට පළවන පුවත්පත් ප‍්‍රවෘත්ති මගින් තහවුරු වේ. මෙම ක‍්‍රියාමාර්ග පරාජය කිරිමට සියලූදෙනාම පාට, පක්‍ෂ, බේධයකින් තොරව ඒකරාශී විය යුතු බව පෙන්වා දෙන අතර ඕපල්ගල රක්‍ෂිතය විනාශ කිරිමට එරෙහිව ගත හැකි සියලූම ක‍්‍රියාමාර්ග ප‍්‍රදේශයේ ජනතාවගේ සහභාගීත්වයෙන් සිවිල් ක‍්‍රියාකාරිකයින්ගේ මැදිහත්වීමෙන් එක්ව කෙසේ හෝ පරාජය කරන බව සහතික කරනවා.”

සිසිර කුමාර මහතා

දුම්බර අපේය පරිසර සංවිධානයේ කැඳවුම්කරු සිසිර කුමාර…

“නාඋල ඕපල්ගල මොරගහකන්ද ජලාශයට මායිම් ව දුම්බර කඳුවැටිය පේන මානයේ ඉතා මනරම් පාරිසරික කළාපයක් වන ඌරුමීගොල්ල රක්‍ෂිත භූමිය නකල්ස් රක්‍ෂිත භූමිය තරම්ම වැදගත් පාරිසරික ලක්‍ෂණ පෙන්නුම් කරන රැුක ගත යුතු, සංරක්‍ෂණය කළ යුතු පරිසර කළාපයකි. නකල්ස් පරිසර කළාපයේ දක්නට ලැබෙන තුරු යනත්, එයට ආවේණික සත්ව, ශාඛ ප‍්‍රමාණයකුත් මෙම රක්‍ෂිත භූමියට උරුමකම් කියයි. ආණ්ඩුව මේ වන විට සංචාරක ප‍්‍රවධන වැඩසටහන් ඇතුළේ ආදායම් මාර්ග ලෙස රක්‍ෂිත ඉඩම් හා වටිනා පරිසර පද්ධතීන්, ලාභ ලබන ව්‍යාපාර බවට පත් කිරීමට කටයුතු කිරීම ආරම්භ කර ඇත.

මෙම රක්‍ෂිතය වගේම නකල්ස් රක්‍ෂිතයේත් සංචාරක කළාප ඉදිකිරීමට පෞද්ගලික ව්‍යාපාරිකයින්ද සම්බන්ධ කර සමහර ආණ්ඩුවේ නිළධාරින්ගේද එකඟතාවය මත ක‍්‍රියාත්මක වන වැඩසටහන් ගැන අපිට සාක්‍ෂි සහිතව තොරතුරු ලැබී ඇත. අපි ආණ්ඩුවට බල කර සිටින්නේ කෙසේ හෝ රක්‍ෂිත ඉඩම්, වන වගා, වන භූමි, රක්‍ෂිත වනාන්තර වලට අත තැබීම වහාම නතර කරන ලෙසයි. ආණ්ඩුව මෙම මහජන අදහස් නොසළකා පරිසර සංවිධාන නොසළකා, පරිසර වේදීන් නොසළකා අත්තනෝමතික සංවර්ධනයට යටවී සිදු කරන පරිසර විනාශය වහාම නවතා දැමිය යුතුයි. එසේ නොමැති වුවොත් එයට වන්දි ගෙවීමට මෙම ඉඩම් මංකොල්ලයට හවුල් වූ සියලුදෙනාට අනාගතයේදි සිදුවන බව ඉතා වගකීමෙන් අවධාරණය කර සිටිමු.”

පරිසර විනාශය පිළිබඳව අදහස් දක්වන ඔපල්ගල පදිංචි රම්බණ්ඩා මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button