විශේෂාංග

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය අවම කිරීමේ වැඩසටහන හෙවත් මෙල් මැදුර නවතම කලා චිකිත්සන ක්‍රමවේදයක් හඳුන්වාදෙයි

සුමිත්‍රයෝ ආයතනයට අනුබද්ධ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය අවම කිරීමේ වැඩසටහන හෙවත් මෙල් මැදුර ව්‍යාපෘතිය 1984 වසරේදී ආරම්භ වූයේ සමස්ත සියදිවි නසාගැනීම් සංඛ්‍යාවෙන් 30%ක් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය හේතුවෙන් සිදුවන බව අවබෝධ කරගැනීමත් සමඟිනි. එතැන් පටන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් මිදිය නොහැකිව ළතැවෙන බොහෝ දෙනෙකු පුනරුත්ථාපනය කිරීමේ කාර්යයේ පෙරමුණ ගැනීමට මෙල් මැදුර සමත්ව සිටී.

මෙල් මැදුල පසුගියදා විවිධ අසාමාන්‍ය හැසිරීම් සඳහා ඇබ්බැහිවීම් ඇති පුද්ගලයන්ට සහාය වීමේ නව සේවාවක් ද ආරම්භ කළේය. ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපාංග, අන්තර්ජාලය, වීඩියෝ ක්‍රීඩා, අසභ්‍ය චිත්‍රපට නැරඹීම, සමාජ මාධ්‍ය භාවිතය, සූදු කෙළීම ඇතුළු විවිධ ඇබ්බැහිවීම්වලින් බැහැරවීමට සහාය වීම එමගින් සිදුකෙරේ. එවන් ඇබ්බැහිවීම් වලින් මිදීම සඳහා යොමුවිය හැකි සේවාවක රික්තකය මනාව පිළිබිඹු කරමින් මෙම නව සේවාව සඳහා ඉහළ පිළිගැනීමක් මේ වන විටත් හිමිව තිබේ.

ඒ සමඟම මැල් මැදුරේ සහාය අපේක්ෂාවෙන් එහි පැමිණෙන පුද්ගලයන්ට වචනයෙන් විස්තර කළ නොහැකි තම හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශනය කිරීමට අවස්ථාව සලසන විශේෂ කලා චිකිත්සන ඒකකයක් ද පසුගියදා විවෘත කෙරුණි. විශේෂයෙන්ම යම් යම් ඇබ්බැහිවීම්වලින් මිදීම සඳහා ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයින්ට මෙවැනි කලා චිකිත්සන ක්‍රම අතිශය ප්‍රයෝජනවත් වේ. ඒ තමන්ගේ ඇබ්බැහිය නිවැරදිව අවබෝධ කරගැනීමට එමගින් පහසුවක් සැලසෙන බැවිනි. සාමාන්‍ය චිකිත්සන ක්‍රමයකදී සිදුවන්නේ, පුද්ගලයන්ට ආත්මාවලෝකනයකට ඉඩ සැලසීම සහ මනෝ විශ්ලේෂණ කුසලතා වැඩිදියුණු කිරීම ය. එහෙත් කලා චිකිත්සන ක්‍රමවේදය ඔස්සේ සාමාන්‍ය අයුරින් විස්තර කර දිය නොහැකි ජීවිත වටිනාකම් අවබෝධ කරගැනීමට අවස්ථාව උදාවේ. කලාවේ ඇති නෛසර්ගික සුවපත් කිරීමේ හැකියාවට අමතරව, කලාව සංකේතාත්මක සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කිරීම ද මෙහි ඇති විශේෂත්වයකි. මෙම නිර්වාචික ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයෙකුට අදහස් සහ හැඟීම් ප්‍රකාශනයට හැකිවන අතර ම සාමාන්‍ය සංවාදයක් හරහා සාකච්ඡා කිරීමට මැළිකමක් දක්වන ජීවිතයේ ගැටලු හඳුනාගැනීමටත්, අවබෝධ කරගැනීමටත්, විසඳුම් සැපයීමටත් අවස්ථාව සැලසේ.

“මූලික වශයෙන් අපි චිත්‍ර ඇඳීම, වර්ණ ගැන්වීම සහ ලේඛනය වගේ කලාවන් හඳුන්වාදුන්නා. නුදුරේදීම මැටි රූ ඇඹීම, අත්කම් සහ සංගීතය වැනි කලා ප්‍රකාශන මාධ්‍ය හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා” යැයි මෙල් මැදුර ආයතනයේ නිර්වේතනික අධ්‍යක්ෂක ජෝමෝ පැවසීය.

මෙල් මැදුරෙදි නිර්වේතනික උපදේශකයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ශමිල් වනිගරත්න ය. එහි කලා චිකිත්සක ඒකකය භාරව කටයුතු කරන්නේ සිංගප්පූරුවේ ලැසේල් කලා විදුහලේ කලා චිකිත්සන උපාධිධාරිනියක මෙන්ම ඕස්ට්‍රේලියානු, නවසීලන්ත සහ ආසියානු නිර්මාණාත්මක කලා චිකිත්සන සංගමයේ ලියාපදිංචි කලා චිකිත්සකවරියක වන ෂිමාලි පෙරේරා ය.

නොමිලේ පිරිනැමෙන මෙල් මැදුර සේවාවන් හරහා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ලැබෙන අහිතකර බලපෑමට හාත්පසින්ම වෙනස් සුබවාදී වෙනසක් ජීවිතය තුළ ඇතිකරගැනීමට මඟ පෙන්වීමක් ලැබේ. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් පෙළෙන අයෙකුට ඉන් මිදීම සඳහා ආත්ම ගෞරවය, ශක්තීන්, පෞද්ගලික තීරණගැනීම්, ඉලක්ක යනාදී ලක්ෂණ පැවතීම අතිශය වැදගත් ය. මේ අතර දිවා කාලයේ නේවාසික වැඩසටහන් පවා පැවැත්වෙන අතර එමගින් ඇබ්බැහිවීම් සඳහා නැවත යොමුවීම් වළක්වාගැනීමටත් එමගින් අදාළ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතා අවම කරගැනීමත් අපේක්ෂා කෙරේ.

මෙල් මැදුර යනු සම්පූර්ණයෙන්ම නොමිලේ පිරිනැමෙන සේවාවකි. අංක 60, හෝර්ටන් පෙදෙස කොළඹ 7 යන ස්ථානයේ පිහිටි මෙල් මැදුර වෙත පැමිණීමෙන් හෝ 269 4665, 269 3460 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය භාවිත කිරීමෙන් හෝ එහි සේවාවන් ලබාගත හැක. මෙල් මැදුර සඳුදා සිට සෙනසුරාදා තෙක් පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා විවෘත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button