විශේෂාංග

මෛත්‍රී ගස් කපන යන්ත්‍ර වලට බද්දක් ගසයි

ඔබ දන්නවද දන්නේ නෑ අපේ රටේ ජනාධිපතිවරයාට සෘජුවම ලිපි යැවිය හැකි විදියක් තිබෙනව. ඔහු කෙතරම් කාර්‍ය බහුල වුවත් ඒවා කියවන බව පෙන්වනව. අඩුම තරමේ ඔහු එය කියවන බවට රඟ දැක්වීමක් හෝ සිද්ධ කරනව.

ඉතිහාසයේ ජනාධිපතිවරුන් සමඟ ලිපි ගණුදෙනු සිද්ධ වුණු කතාවන් අතරින් ආදරණීයම කතාවක් ඇහෙන්නේ ඒබ්‍රහම් ලින්කන්ගේ ලිපි ලේඛන ආශ්‍රයෙනුයි. ඔහු ඇමරිකානු ජනාධිපතිවරයෙක් වූවා. ඔහුගේ මුහුණ පුරා රැවුල වවන්න කියන ඉල්ලීම පැමිණෙන්නේ ලිපියක් හරහා දරුවෙකු කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව බව මම අසා තිබෙනව.

ඒ වගේම නිල නොවන නිල ආරංචි තුළ ලංකාවේ ජනාධිපතිවරුන් පවා දරුවන් සමඟ ලිපි ගණුදෙනු කළා. ඇතැම් අවස්ථාවල කුඩා කාලයේ මම පවා එවකට සිටි ජනාධිපතිවරුන්ට ලිපි යවා තිබෙනව. ඒක හරිම සුන්දර අත්දැකීමක් ! රටේ රාජ්‍යත්වය සමඟ සෘජුව අදහස් හුවමාරු කරගන්න ලැබෙන එකත්, ඔහුගෙන් පිළිතුරු ලිපියක් ලැබෙන තුරු මඟ බලාගෙන ඉන්න එකත් ඒ දවස් වල අපට සුන්දර අත්දැකීමක් ! පෑනේ මිතුරන් වාගේම රටේ රාජ්‍යත්වය එක්කත් දරුවන්ගේ කුඩා කල බැඳීමක් තියෙනව. ඒ බැඳීම එදා වාගේම අදත් ඒ විදියට තියෙන වග ගමයාගේ හදීසි ක්‍රියාත්මක වීම ඇතුළේ තියෙන කතාවෙන් තේරුම් යනව.

අපේ රටේ ජනාධිපතිවරයාට පසුගිය කාලයේ අවස්ථාවල ලිපි කිහිපයක් ලැබෙනව. පැන්සල් වලින් ලියපු බෝල අකුරු වලින් ! ඒවා එන්නේ පාසල් වයසේ ඉන්නා කුඩා දරුවන්ගෙනුයි.
ඒ හැම ලිපියකම කියවුණේ ලංකාවේ දවසින් දවස කැපෙන ගස් කොළන් ගැනයි. ඒ දේවල් නවත්වන්න කියලයි කුඩා දරුවන්ගේ ඉල්ලීම වුණේ..

මොකක්දෝ හේතුවකට ඒ කාරණයේදි ජනාධිපතිවරයා සංවේදි වෙනව. ඉතිං එක් අවස්ථාවකදි ජනාධිපතිවරයාට හිතෙනව මේ පාසලට යන්න. ඔහු එහේ ගියාම, දරුවන් නැවත ඉල්ලීම කරනව.

“අද පාරේ තියෙන ගහ, හෙට වෙනකොට දකින්න නෑ. කපන කෙනෙක් හොයාගන්නත් නෑ. ගහට සිද්ධ වෙන දෙයකුත් නෑ.. මේක නැති කරන්න..” දරුවන් වාචිකව ඉල්ලීමක් කරනව.

ඒ ඉල්ලීමෙන් පසුව රජය විසින් හදීසි ක්‍රියාත්මක වීමක් විදියට ජනාධිපතිවරයාගේ අණ ඇතුව ලංකාවේ තියෙන හැම ගස් කපන යන්ත්‍රයක්ම ලියාපදිංචි කළ යුතුයි කියා නීතියක් හදනව.
අපේ රටේ ගහක් කපනවානම් ඒ ගහ කපන්න ඕනේ නිසි ක්‍රමවේදයක් තුළය කියන නීති රීති රෙගුලාසි අතරට, මේ නව නීතිය ස්ථාපිත කරනව.

දැන් පොරවක් තිබුණත්, ගස් කපන යන්ත්‍ර තිබුණත් හිතුමතේට ගස් නම් කපන්න බෑ. එහෙම කැපුවොත් පවත්නා නීති වලට අනුව එය ප්‍රබල වරදක් වෙනව.

ඉතිං මේ ඉල්ලීම වැඩිහිටියන් සිදු කළ ඉල්ලීමක් නම් නෙමෙයි. මේ ඉල්ලීම කලේ පාසල් වයසේ පසුවෙන පුංචි දරුවෝ වගයක්.. ජනාධිපතිවරයා නැත්නම් අපි ආදරේට ගමයා කියලා විහිළු කරන මනුස්සයා ඒ ඉල්ලීමට කන් දීලා යම් කිසි ක්‍රියාත්මක වීමක් ඇති කළා.

ජනාධිපතිවරයා සමඟ සම්බන්ධකම් පවත්වන දරුවන්ට නම් මේක හරිම ආදරණීය ක්‍රියාත්මකවීමක් වෙන්න ඇති.


සඳරු දසනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button