ක්‍රීඩා

“සමපෝෂ Football ශූරයෝ අපි….”

පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය සහ කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය වයස අවුරුදු 14න් පහළ ජය අත්කරගනී

සමපෝෂ අන්තර් පාසල් පාපන්දු කුසලානය

2018 වසරේ 14න් පහළ අන්තර් පාසල්  පාපන්දු ශූරතාවලිය අඛණ්ඩව දසවෙනි වසරටත්  සමපෝෂ අනුග්‍රහයෙන් නොබෝදා පැවැත්වු අතර ශ්‍රී ලංකාව පුරා බාලක පාසල් 500 හා බාලිකා පාසල් 150ක සිසු සිසුවියන් 12 000ක් එම කුසලානය සදහා තරග වැදුණි.  දිස්ත්‍රික් මට්ටමේ තරගවලින් ජයගත් බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම් 25ක්, පෙබරවාරි 5 – 8 දක්වා කොළඹ නගරයේ ස්ථාන හතරක පැවැති තරග සඳහා එක්වූ අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර පිටියෙහිදී අවසාන වටයේ තරග පැවැත්වුණි.

පොල්ගහවෙල පරාක්‍රමබාහු විදුහල සමග පැවති ඉතා තීව්‍ර තරගයකින් පසු පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය 10 – 9 ක් ලෙස දඬුවම් පහර මගින් බාලිකා ශූරතාවය දිනාගැනීමට සමත්විය. තුන්වන ස්ථානය ලබා ගත්තේ මලියදේව බාලිකා විදුහලයි.  බාලිකා කණ්ඩායම් අතරින් දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ, එම්.එල්. සෙනුල්මි හිමාෂා තෝරා ගැනුණු අතර හොඳම දැල් රකින්නිය ලෙස  එම විද්‍යාලයේම, ඒ.පී. එරන්දිකා හර්ෂණී ක්‍රීඩිකාව නම් කෙරිණි.

කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත හෙන්රීස් විද්‍යාලය අතර පැවැති බාලක අවසාන මහා තරගයේදී 2-0 ලෙස විශිෂ්ට ජයක් ලැබීමට කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත්විය. එහි තෙවැනි ස්ථානය දිනාගැනීමට කින්නියා අල් අබ්දුල් මජීඩ් විදුහලට හැකිවිය. බාලක කණ්ඩායම් අතුරින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කළුතර මුස්ලිම් මධ්‍ය මහා විදුහලේ එම්.එෆ්.එම්. ෆරහස් ක්‍රීඩකයාට හිමි වූ අතර එම විද්‍යාලයේම එම්.එන්. අහමඩ් ක්‍රීඩකයා බාලක කාණ්ඩයේ හොඳම දැල් රකින්නා ලෙස සම්මාන ලැබීය.

මෙවර ශූරතාවලියේදී කැපීපෙනෙන සිදුවීම් රැසක් දක්නට ලැබුණු අතර කුරුණෑගල මලියදේව බාලිකා විදුහල අඛණ්ඩව හත්වැනි වරටත් සමපෝෂ පාසල් පාපන්දු ශූරතාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ෂම්මි කරුණාරත්න මහතා මෙසේ පැවසීය. “අපේ රටේ දරුවන්ගේ සෞඛ්‍යයත් ශාරීරික සුවතාවත් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරවේලක් ලබාගැනීමේ වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින නිෂ්පාදනයක් ලෙස සමපෝෂ හැඳින්විය හැකියි. ඒ වගේම මෙරට තාරුණ්‍යයට ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට ළඟාවීමටත් සක්‍රීය ජීවන රටාවක් පවත්වා ගැනීමටත් ලබාදෙන දිරිය සම්බන්ධයෙනුත් සමපෝෂ ආඩම්බර වෙනවා. එම පසුබිම තුළ වයස අවුරුදු 14න් පහළ අන්තර්පාසල්  පාපන්දු ශූරතාවලිය සඳහා අඛණ්ඩ 10 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීම අපට විශාල සතුටක්. ඒ අතරම මෙවර ශූරයින්ට සුබ පැතීමටත්, දිවයිනේ නන් දෙසින් පාපන්දු ලෝලීන් ආකර්ෂණය කරගැනීමට සමත්වූ දශකයක අභිමානය රැගත් මෙම පාපන්දු ශූරතාවලිය සැමරීමටත් මෙය අවස්ථාව කරගැනීම සුදුසුයි”.

උතුරුමැද පළාත් ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත අබේකෝන් මහතා ද අදහස් දැක්වීය. “ගෙවුණු දශකය තුළ අඛණ්ඩව සමපෝෂ හා සිලෝන් බිස්කට්ස් සමාගම මෙම පාපන්දු ශූරතාවලියට අගනා අනුග්‍රාහකත්වයක් දැක්වූවා. ඒ පිළිබඳ අපේ හෘදයාංගම කෘතවේදීත්වය පළකිරීමට කැමතියි. එමගින් අපේ රටේ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙනුත්, නීරෝගිමත් ජාතියක් ගොඩනැඟීම වෙනුවෙන් පාසල් ළමුන් ක්‍රීඩාව සඳහා යොමුකිරීමෙනුත් දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට එම සමාගමට හැකිව තිබෙන බව මගේ විශ්වාසයයි” ඔහු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා ශූරතාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අතර අනුග්‍රාහකයන් නියෝජනය කරමින් CBL ප්ලේන්ටි ෆූඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වන අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී  ශම්මි කරුණාරත්න හා CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී  ජයංග පෙරේරා, සමපෝෂ නිල කළමනාකරු වී.පී. ගෝවින්න, ප්‍රවර්ධන කළමනාකරු සිසිර ගුණවර්ධන යන මහත්වරු සහභාගී වුහ.

තවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල විජේවර්ධන සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ මහ ලේකම් එන්.එස්.බී. දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ළමා පරපුරට යහපත් ක්‍රීඩා ක්‍රියාකාරකම් ප්‍රවර්ධන පිලිබඳ සමපෝෂ ආඩම්බර වන අතර සමපෝෂ යනු සෞඛ්‍ය හා යෝග්‍යතාව ප්‍රවර්ධනය කරන ළමුන් අතර ජනප්‍රිය ඉතා පෝෂ්‍යදායී ධාන්‍යමය උදෑසන ආහාරයකි.

Boys Championship (Muslim – Kalutara)
Boys 1st Runnerup (St. Heny Collage)
Girls Champions (Bendiwewa MV Polonnaruwa)
Girls 1st runner up (Parakramabahu MV Polgahawela)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button