විශේෂාංග

ඇයි කොන්ඩම් තිබ්බහම අවුල්ද….?

කොන්ඩම් එකට ලංකාවේ සමාජය කැළඹීය හැකිය. එය අපූරුය. සාදයකට සහභාගී වූ තරුණියන් එකෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ අත් බෑගයේ කොන්ඩම් තිබීම මෙරට එක්තරා මාධ්‍ය ආයතනයකට සහ පොලිසියට ප්‍රමුඛ පුවතක්ව තිබිණි.

කොන්ඩම් නැතිනම් උපත් පාලන කොපු වල ඉතිහාසය සියවස් ගණනක් පෙරට ඇදෙන්නකි. (ශ්‍රී ලංකා පොලිසියට හා මෙරට ඊනියා සංස්කෘතික ළිං ගෙම්බන්ට එය අලුත් වූවාට) ලිඛිත ඉතිහාසගත සාක්ෂි අනුව එය 15 වැනි සියවස තරම් පෙර සිට පවත එන්නකි. ඒ කාලයේද ලිංගාශ්‍රිත රෝග වලින් වැළකීමට සහ උපත් පාලනය යන ක්‍රියාවලිය සඳහා මෙම ක්‍රමව්දයන් භාවිත කොට තිබේ. 15 වැනි සියවසේ උපදංශය නම් ලිංගාශ්‍රිත රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පැවතුන බවත් ඊට පිලියමක් ලෙස යම් ආරක්‍ෂිත ක්‍රමයක් අවශ්‍ය නිසා මෙවැන්නක් නිර්මාණය කළ බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

මෙම ඉතිහාසය රටවල් කිහිපයකින් සොයාගෙන තිබෙන්නකි. පැරණි මිසරයේ, ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය වැනි රටවල් ඒ වනවිට “පුංචි පවුල” යන සංකල්පයට අනුගත වෙමින් සිටි බවත් එහෙයින් උපත් පාලන ක්‍රමවේදයක් අවශ්‍යව තිබු බවත් ඉතිහාස වාර්තා හෙළි කරයි. මේ වෙනුවෙන් ඔවුන් විවිධ උපත් පාලන ක්‍රම අනුගමනය කළ අතර “උපත් පාලනය” යන කාන්තාවන්ගේ වගකීමක් ලෙස සැලකු බවද සඳහන්ය. (15 වැනි සියවසේ කාන්තාවන් සතු වගකීමක් ලෙස සැලකු දෙයක් 2018දි සිරිලංකාව එලෙස සලකන්නේ නැත. තරුණියන්ගේ අත් බෑගයේ කොන්ඩම් තිබීම මෙතරම් අවුලක් ලෙස පෙනෙන්නේ එහෙයිනි) 15 වැනි සියවසින් පසුව Glans condoms පිළිබඳව සාක්ෂි හමුවන බව ඉතිහාස වාර්තා සඳහන් කරයි. පුදුමය නම් මේ glans condoms පිලිබඳ කරුණු හෙළිවන්නේ ආසියාතික රටවලිනි. චීනය සහ ජපානය මෙම ක්‍රමවේදයන් භාවිතා කළ බව පැවසේ. එම රටවල රදළ පැලැන්තියේ පිරිමින් අතර මෙය ජනප්‍රියව තිබිණ. Glans condoms යනු පිරිමියාගේ ශිෂ්ණයේ ඉහළ කොටස පමණක් ආවරණය කෙරෙන පරිදි සැකසුවකි. oiled silk paper එකකින් හෝ lamb intestines වලින් මෙය නිපදවා තිබු බව පැවසේ.

18 වැනි සියවසේ ඇමරිකාව පුරා දේශකයින් නගර වලට ගොස් දේශන පවත්වා තිබේ. මනෝ විද්‍යාත්මක කරුණු සහ ලිංගිකත්වය පිලිබඳ කෙරුණු මේ දේශන වලදී උපත් පාලනය පිලිබඳ ජනතාව දැනුවත් කළ බවත් දේශනයෙන් අනතුරුව condom අළෙවි කළ බවත් පැවසේ. මේ කණ්ඩායමට විවිධ වෘත්තීයවේදීන්ද ඇතුළත් වී තිබේ. පළමු ඇමරිකානු කාන්තා වෛද්‍යවරිය වන Elizabeth Blackwell මේ අතර විය. condom ප්‍රචාරණය සඳහා 1840 පළමු වෙළඳ දැන්වීම බ්‍රිතාන්‍ය සඟරාවක පළවූ අතර 1861 දී New York Times සඟරාවේ condom දැන්වීමක් පලවී තිබේ.
19 වැනි සියවසට පෙර රසායනිකව සැකසු ලිනන් වර්ගයකින් මේ කොන්ඩම් නිර්මාණය වී තිබිණ. නොඑසේනම් සත්ව පටක (intestine or bladder) වලින් මේවා නිර්මාණය කෙරිණ. 19 වැනි සියවසේ මැද වනවිට එය රසායනිකව සැකසු රබර් කොපු ලෙස නිෂ්පාදනය වන්නට විය. 20 වැනි සියවසට එළඹෙත්ම එය විවිධ තාක්ෂණික පර්යේෂණ වලට ලක්ව වඩා සුවපහසු ලෙසත් ආරක්‍ෂිත ලෙසත් සකස් කෙරේ.

1953 ශ්‍රී ලංකාවේ කොළඹ ද සොයිසා මාතෘ රෝහලේ පවුල් සැළසුම් ඒකකය ඇරඹීමත් සමග “කොන්ඩම්” මෙරටට හඳුන්වා දීම ඇරඹිණි. 1965 වසරේ මෙම පවුල් සැළසුම් උපකරණ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා අතරට එක් කරන සෞඛ්‍ය අමාත්‍යංශය ඒවා සායන වලදී නොමිලේ බෙදා දුන් බවද සඳහන් වේ. වර්තමාන තත්වය සැලකුව හොත් 2015 අංක 05 දරණ ජාතික වෛද්‍ය නියාමන පනත යටතේ Condom “අත්‍යවශ්‍ය ඖෂධ” අතරට එක්කොට තිබේ. නීතියේ කිසිදු ආකාරයක තහනම් භාණ්ඩයක් ලෙස වරනැගීමට කිසිවෙකුට හැකියාවක් නොමැත්තේ. පාදඩ ආඥා පනතට අනුව හෝ condom නීති විරෝධී උපකරණයක් ලෙස හඳුන්වා නොමැති හෙයිනි.

කොන්ඩම් ගැටළුව පැන නගින්නේ සාදයේ සිටි තරුණියන්ගේ අත් බෑගයෙන් කොන්ඩම් හමුවූ බව පොලිසිය පැවසුවේයැයි එක්තරා මාධ්‍ය ආයතනයක් වාර්තා කිරීමෙනි. මෙරට සියලු සිවිල් පුරවැසියන් තමා සතු “හිමිකම්” සහ සිවිල් නීතිය පිළිබඳව අවබෝදයක් ලැබීම දැන් හෝ කළ යුතුය. පොලිසියට කාකි සූට් එක ඇතුව හෝ නැතුව ඕනේ රෙද්ද අස්සක අත දමා අහවල් ඒවා තිබේදැයි බැලීමට ඉඩදිය යුතුද, තමාගේ අයතීන් මොනවාද, තමාට එරෙහි විය හැක්කේ කොතනදීද, ආදිය පිලිබඳ මහජනතාව දැනුවත් විය යුතුමය. නොඑසේනම් පොලිසිය මතු නොව ඕනෑ එකෙක් රෙද්ද අස්සට අත දමා අතගා බලනු ඇත. දෙවැන්න තමා කරන වෘත්තීය කුමක්ද, එහි නෛතික වරප්‍රසාද මොනවාද අචාර ධර්ම මොනවාද යන්න පිළබඳ නිසි පුහුණුවක් මේ වෘත්තිකයින්ට ලබාදිය යුතුය. තෙවැන්න අනුන්ගේ රෙද්ද අස්සේ ඇති කුණු ගොඩවල් රසකර කියන සක්කිලි මාධ්‍ය හොරිකඩයින්ට එරෙහි වීමට ජනතාවට ශක්තියක් තිබිය යුතුය. තියරිය ඕක වුවද ඒ එක උලවුවක්වත් මේ කපට නම් මේ දුපතේ සිදු නොවන බවද ඒකාන්තය.


නිසංක වෙහෙරදූව

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button
Close