දේශීය

ඩුබායි පොලිසිය මධුෂ් අල්ලයි

මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන මධුෂ් ලක්‍ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ප්‍රබල පාතාල නායකයන් පිරිසක්, ජනප්‍රිය ගායකයකු හා ඔහුගේ පුත්‍රයා සහ ජනප්‍රිය නළුවකු ඇතුළු 25 දෙනකු ඩුබායි රාජ්‍යයේ තරු පහේ හෝටලයකදී එරට රහස් පොලිසිය මඟින් පෙරේදා (4දා) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා වන නදීමාල් පෙරේරා සහ මේ දිනවල පෞද්ගලික නාළිකාවක විකාශය වන ප්‍රසිද්ධ ටෙලිනාට්‍යයක ක්‍රීඩා පුහුණුකරුවකු මෙන්ම ගුරුවරයකුගේ චරිතයට පණ පෙවූ රයන් රෝයන් නමැති ප්‍රසිද්ධ නළුවා යන තිදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව මෙරට ආරක්‍ෂක අංශ තහවුරු කරයි.

ප්‍රබල පාතාල නායකයන් වන කංචිපාන ඉම්රාන්, කෙසෙල්වත්තේ දිනුක, අංගොඩ සුද්දා යන අයද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බවද එම ආරක්‍ෂක අංශ පවසයි.

මෙරට මහත් ආන්දෝලනයට ලක්වූ පාතාල ක්‍රියාකාරකම් සිදු කරමින් සිටින මාකඳුරේ මධුෂ්ගේ පුත්‍රයාගේ උපන් දින සාදයක් පෙරේදා (4දා) රාත්‍රියේ මෙම තරු පහේ හෝටලයේ පවත්වා ඇත.

මධුෂ්ගේ ළඟම හිතවතුන්ට මෙම සාදය සඳහා ආරාධනා ලැබී තිබූ අතර දින කිහිපයකට ඉහතදී ලද ඇරැයුම් මත අමල් පෙරේරා, නදීමාල් පෙරේරා, රයන් වැන් රෝයන් ඇතුළු කිහිපදෙනකු ඩුබායි රාජ්‍ය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බවද ‘මව්බිම’ කළ විමසීමකදී ආරක්‍ෂක අංශ ප්‍රධානියෙක් පැවැසීය.

මාකඳුරේ මධුෂ්ට සය හැවිරිදි පුත්‍රයකු සිටින බවත්, ඔහුගේ උපන් දින සාදය මහ ඉහළින් සැමරීම සඳහා ඩුබායි රාජ්‍යයේ තරු පහේ සුපිරි හෝටලයක් වෙන්කරගත් මධුෂ් සිය සගයන්ට විනෝදවීම සඳහා හෙරොයින්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොග රැගෙන විත් ඇතැයිද මෙරට ආරක්‍ෂක අංශ පවසයි.

මහ ඉහළින් සමරන මෙම උපන් දින සාදයට මෙරටින් අමල් පෙරේරා ප්‍රමුඛ කණ්ඩායමක් යන බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරු ලැබී තිබිණි.

එම තොරතුරු පසුපස හඹා ගිය එම අංශ මෙරට පිහිටි ජාත්‍යන්තර පොලිසියේ ශාඛාව හරහා එරට ආරක්‍ෂක අංශ දැනුවත් කර තිබේ.

ඒ අනුව එරට රහස් පොලිසිය මෙම සාදය පිළිබඳ අවදියෙන් සිට පෙරේදා (4දා) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර ඇත.

මෙම වැටලීම කරන අවස්ථාව වන විට එහි තිබී කොකේන් ග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් තොගයක් සොයා ගෙන ඇති බවද මෙරට ආරක්‍ෂක අංශ සඳහන් කරයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට මාකඳුරේ මධුෂ්ගේ සහ කංචිපාන ඉම්රාන් සතුව තිබී ඇත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා බලපත්‍ර බවද අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 25 දෙනාගෙන් එරට ආරක්‍ෂක අංශ ඊයේ වන විට ප්‍රශ්න කරමින් තිබිණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව මාකඳුරේ මධුෂ්ගේ නමද ගෑවී තිබිණි. දකුණු පළාත් සභා ඇමැති ඩැනී හිත්තැටිය ඝාතනයෙන් කරළියට පැමිණි මධුෂ් මීට පෙර ප්‍රභූ ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මාස 18ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සිදුකර තිබිණි.

ඝාතන සහ මංකොල්ලකෑම් නඩු 18ක් සම්බන්ධයෙන් පසුව ඇප නියම වූ මාකඳුරේ මධුෂ් 2015දී පමණ මෙරටින් පලා ගියේය.

පසුගිය කාල සීමාවේ මෙරට සිදුවූ බිහිසුණු ඝාතන අතර 2017 පෙබරවාරි මාසයේ කළුතර එතනමඬල ප්‍රදේශයේ සිදුවූ පාතාල නායක සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම, කොස්මල්ලි නමැත්තාගේ හිස කඳින් වෙන්කොට අලුත්කඩේ අධිකරණය ආසන්නයට රැගෙන ඒම යනාදී ඝාතන රැසක් සිදුවූයේ මධුෂ්ගේ උපදෙස් මතය.

2017 වසරේ මැයි මස පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායම ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදුකරන ලද්දේද මධුෂ්ගේ උපදෙස් මතය. ඉන් එම කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු මෙන්ම දැරියක ජීවිතක්‍ෂයට පත්වූහ.

ඔහුගේ හෙරොයින් තොග පුත්තලම සහ මාතර ප්‍රදේශවලින් සොයා ගැනීමට පසුගිය කාල සීමාවේ පොලිසියට හැකිවිය.

ඇතැම් පොලිස් නිලධාරීන්ට පවා දුරකථනය හරහා මරණ තර්ජනය කළ මාකඳුරේ මධුෂ් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය නිල් නිවේදනයක්ද නිකුත් කරනු ලැබීය.
මාකඳුරේ මධුෂ්ගේ දකුණු අත වැනි කංචිපාන ඉම්රාන් නමැති පාතාල නායකයා පසුගිය කාල සීමාවේ කොළඹ සිදුවූ වෙඩි තැබීම් රැසකට සම්බන්ධ අයකු බව පාතාල මර්දන ඒකකය පවසයි. ඔහුද මෙරටින් ඩුබායි රාජ්‍යය බලා පලා ගොස් තිබුණේ මධුෂ් එරටට පලා ගිය කාල සීමාවේදීමය.

මෙම ප්‍රබල පාතාල නායකයෝ එක්ව මෙරට හෙරොයින් ජාවාරම මහ ඉහළින් කරගෙන ගියහ.

මාකඳුරේ මධුෂ් මීට මාස කිහිපයකට ඉහතදී සිය පියාගේ අවමංගල්‍යයට හෙලිකොප්ටරයකින් පවා මල් ඉසීමට කටයුතු කළේය.

මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත ඊයේ (5දා) උපදෙස් ලබාදී ඇත.
මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.


චාමර අමරසූරිය

උපුටා ගැනීම – මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button