කලා

‘සඳලි’ මෙල්බර්න් නුවරට

“සඳලි” නමින් එළඹෙන මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන ශ්‍රී ලාංකිකයෙකුගේ ගී ප්‍රසංගයක් සහ ඔහුගේ කුළුඳුල් ගී තැටිය එළිදැක්වීම පිළිබඳව අපට ආරංචි වුණා. මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ධනුෂ්ක ප්‍රභාත් නම් මේ සොඳුරු කලාකරුවා ශ්‍රී ලංකාවේ උපන් අයෙක් වගේම ගායනය, සංගීත අධ්‍යක්ෂණය සහ ගී පද රචනය යන අංශ තුනෙන්ම රසික ආකර්ෂණය දිනාගත් අයෙක් ද වන නිසා අපි අද ඔහුට ආරාධනා කළා පුංචි කතාබහකට.

1) මුලින්ම කතා කරමු ඔබ ලංකාවේ කොහෙද, කොහොමද ඕස්ට්‍රේලියාවට යන්න මග හදාගත්තේ කියලා?

මම ලංකාවේ හෝමාගම. වැඩිදුර අධ්‍යාපනයට තමයි ඕස්ට්‍රේලියාවට ආවේ.

2) ඔබේ සංගීත ජිවිතේ ආරම්භ වෙන්නේ කොතැනින්ද?

පාසලේ විෂයයක් වශයෙන් සංගීතය හැදෑරුවා. සාමාන්‍ය පෙළින් පස්සේ ලොකු නිදහසක් දැනෙනවා හිතට, උසස් පෙළ ආයි පටන් ගන්නකම්. ඉතින් සංගීතයට දක්ෂතා දක්වපු නිසා ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක් එක්ක එකතු වුණා. ඔය අතර කාලේ සාමාන්‍ය පෙළත් ඉතා උසස් අන්දමින් සමත් වෙලා තිබ්බා. ඊට පස්සේ උසස් පෙළ සමග අධ්‍යාපන කටයුතු ආරම්භ කළත් සංගීතය දිගටම කරගෙන ගියා.

3) මේ වෙනකොට ගීත කීයක් විතර නිර්මාණය කරලා තියෙනවද?

මම ගොඩක් වෙලාවට මගේම ගීත තමයි නිර්මාණය කරගන්නේ. මගේ ගීත සියල්ලම වගේ මම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මගේ සීඩී තැටියේ තියෙන ගීත අතරින් ගීත 11ක්ම මගේ නිර්මාණ.

4) එළඹෙන මාර්තු 30 වෙනිදා මෙල්බර්න් නුවර පැවැත්වෙන ඔබේ ඒකපුද්ගල ගී ප්‍රසංගය මේ වනවිටත් සෑහෙන කතාබහකට ලක්වෙලා. ඇත්තටම මොකක්ද මේ “සඳලි” ප්‍රසංගය කියන්නේ?

ලංකාවේ සංගීතය පටන්ගත්තට මම ගොඩක් කල් ලංකාවේ හිටියෙ නෑ. මගේ තරුණ කාලේ වැඩි කොටසක් ගත කළේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මාව සංගීත ශිල්පියෙක් හැටියට ලංකාවෙ අයට වඩා වැඩිපුරම දන්නේ ඕස්ට්‍රේලියාවේ අය. මට වැඩිපුර යාළුවෝ ඉන්නෙත් ඕස්ට්‍රේලියාවේ. ඒ අතර ඕස්ට්‍රේලියන් ජාතිකයනුත් බොහෝමයක් ඉන්නවා. ඒ නිසා මං හිතුවා මගේ කුළුඳුල් සංයුක්ත තැටිය ඕස්ට්‍රේලියාවේදි එළිදක්වන්න. ඉතින් තිස් වෙනිදාට වෙන්නේ මගේ සංයුක්ත තැටිය එළිදැක්වීම සහ මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගය. මා බලාපොරොත්තු වෙනවා එය වෙනස්ම ආකාරයකින් ඉදිරිපත් කරන්න.

5) එදිනට එළිදක්වන අලුත්ම ගීතත් තියෙනවද?

ඔව්. මගේ සංයුක්ත තැටියේ තියෙන බොහොමයක් ගීත ලංකාවේ මාධ්‍ය හා සෝෂල් මීඩියාවලින් ප්‍රචාරය වෙනවා. ඒවා අහපු අයගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගීතවලට අමතරව මම බලාපොරොත්තු වෙනවා මගේ තවත් අලුත්ම ගීත ප්‍රසංගයේදී එළිදක්වන්න.

6) කොහොමද මෙවැනි කාර්යයකට මුලපුරන්නේ?

මම සීඩී එකක් කරන්නම කියලා හිතාගෙන ගීත නිර්මාණය කළේ නෑ. ජීවිතයේ විවිධ අවස්ථාවන්හි ලබපු අත්දැකීම්, සමාජයේ දැක්ක සිදුවීම් සම්බන්ධයෙන් මා පද රචනා නිර්මාණය කළා. පසුව ඒවාට තනු යොදා ගීත නිර්මාණය කළා. කාලයත් සමග එවැනි ගීත සැලකිය යුතු ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබුණා. ඉතින් මේ ගීත අහපු මගෙ යාළුවෝ මේ ගීත සම්බන්ධයෙන් මට හොඳ ප්‍රතිචාර ලබාදුන්නා. ඇයි සීඩී එකක් කරන්නෙ නැත්තෙ කියලා ඇහුවා. ඉතින් මමත් හිතුවා තෝරාගත් ගීත කීපයක් එකතු කරලා සංයුක්ත තැටියක් එළිදක්වන්න. ඒ විදිහට තමයි “සඳලි” නමින් මගේ ගීත එකතුව එළිදකින්නේ.

7) මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන විශේෂිත පුද්ගලයින් කවුද?

මම ඔස්ට්‍රේලියාවේදී නිර්මාණය කරන ගීත පටිගත කරන්න ලංකාවට එනවා. ඉතින් ලංකාවෙ ප්‍රවීණතම වාදකයින් තමයි මගේ මේ ගීතවලට වාදනයෙන් සහය වෙලා තියෙන්නෙ. ඒ අතර අපගේ ප්‍රවීණයන් වන මහින්ද බණ්ඩාර සහ නාලක අංජන කුමාර විශේෂයෙන් සඳහන් කරන්න ඕන. ඉතින් මේ ප්‍රසංගයේදී මේ ගීත සජීවීව වාදනය කළ යුතුයි. මුල් ගීතයේ හඬ සහ ගුණාත්මක භාවය රැඳෙන්න ඕන හින්දා මං හිතුවා මහින්ද අයියා සහ නාලක අයියා මේ ප්‍රසංගයට සම්බන්ධ කරගත්තොත් හොදයි කියලා. ඒ අනුව මහින්ද බණ්ඩාරයන් සහ නාලක අංජන කුමාරයන් ලංකාවෙන් මේ ප්‍රසංගයට සහභාගි වෙනවා.

8) මේ වන විට ප්‍රසංගය පිළිබඳව රසිකයන්ගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම මට සුබ පතනවා. ඔවුන් අනිවාර්යයෙන්ම සහභාගි වන බව සඳහන් කරනවා. ඉතින් මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මම තව තවත් උනන්දු වෙනවා මේ වැඩේ සාර්ථකව ඉදිරිපත් කරන්න.

9) මෙවන් ප්‍රසංගයකට ඔස්ට්‍රේලියාව තුළ තිබෙන ඉඩකඩ මොනවගේද?

ඇත්තම කියනව නම් ඔස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකික ප්‍රසංග ලංකාවටත් වඩා තියෙන රටක්. ඒ අතරින් මෙල්බන් නගරය තවත් විශේෂයි. ලංකාවට පස්සේ ශ්‍රී ලාංකිකයින් වැඩිම ඉන්න නගරයනේ මෙල්බර්න් කියන්නේ. එකම දිනයේ ප්‍රසංග දෙක තුන තියෙන අවස්ථාවනුත් තියෙනවා. එකම ශිල්පියා අවුරුද්දක් පාසාම මෙල්බර්න්වලට එනවා ප්‍රසංග සඳහා. සමහර ශිල්පීන් අවුරුද්දකට දෙතුන් වතාවකුත් එනවා. මගේ ප්‍රසංගය තියෙන 30 දා තව මොන ප්‍රසංග යෙදිලා තියෙනවා ද කියලා දන්නෙත් නෑ.

නමුත් “සඳලි” කියන්නේ මගේ කුළුඳුල් සංයුක්ත තැටිය එළිදැක්වීමේ ප්‍රසංගයනේ. ඉතින් මෙවැනි ප්‍රසංගයකට මගේ හිත මිතුරන් කොහොමත් සහභාගි වනවා.

10) “සඳලි” ප්‍රසංගයෙන් පස්සේ ඔබේ ඊළඟ පියවර කුමක්ද?

මේ දිනවල මම හිතන්නේ “සඳලි” ප්‍රසංගය ගැන. මා වෙනුවෙන් ප්‍රසංගයට පැමිණෙන මගේ හිත මිතුරන්ට රසික රසිකාවියන්ට හොඳ ප්‍රසංගයක් ලබාදෙන්න තමයි මම මේ දිනවල උත්සාහගන්නේ. ඉතින් “සඳලි” ප්‍රසංගයෙන් පසුව තමයි ඊළඟ පියවර ගැන හිතන්නේ.

එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා ඉදිරි සැලසුම් තිබුණට සංගීතය පැත්තෙන් ඊළඟ පියවර මොකක්ද කියලා තීරණය කරන්නේ මේ ප්‍රසංගයෙන් පසුව. නමුත් මගේ ගීත නිර්මාණ ඉඩක් ලැබෙන හැම වෙලාවෙම දිගටම කරගෙන යනවා.

11) ඔබ ගායනා කරන “සුළගේ දැවටීලා”, “අතීත කතාව” වගේ බොහෝ ගීතවල පද රචනය සහ සංගීතයත් ඔබගෙමයි. ඔබේ ඒ හැකියාවන් ගැනත් කතා කළොත්?

මම හොඳ රසිකයෙක්. විවිධ සංගීත ශෛලීන්වල ගීත මම අහනවා. ඉතින් මම ගීතයක් ලියලා ගිටාර් එක අතට ගත්තම ඒකට තනුවකුත් මගේ හිතේ මැවෙනවා. ඒ විදිහට තමයි මගේ පද රචනා ගීත බවට පත්වෙන්නේ. මගේ ගීත විවිධ ශෛලීන්වලින් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ නිසයි.

12) ඔබේ මේ ගමනට උදව් කරපු අය ගැනත් මතක් කරමු.

මට සංගීතයට අත්පොත් තියපු චමිල අයියා, කීර්ති අයියා , රාජු අයියා ආදරයෙන් මතක් කරන්න ඕනේ. එමෙන්ම මගේ නිර්මාණ පිළිබඳ අදහස් දක්වන සියලුදෙනාත් මට දෙන්නේ ලොකු ශක්තියක්.


ඉසුරු සුධාරක දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

සබැඳි ලිපි

Back to top button